පසුගිය සතියේ අති උත්කර්ශවත් අයුරින් කොළම්බො නයිට් රේස් උත්සවය පැවැත්විණි. මෙවරත් ඒ සම්බන්ධයෙන් විවිධ කතා රාශියක් අපට අසන්නටත් දකින්නට ලැබුනි. දිගන් දිගටම රාජපක්ෂ රේජිමයට අභියෝග කරන ඇතැම් වෙබ් අඩවි පළ කළේ කාර් රථ දෙකක් තරගාවලිය ආරම්භ වීමට පෙරම අනතුරට භාජනය වූ නිසා මේ උත්සවය බකඩොප් වූ බවයි. එහි ව්‍යයංග අර්ථය නම් මේ අනතුර සිදු නොවුනේ නම් මේ තරගය අසාර්ථක නොවන බවද? එයින් ගම්‍ය වන තවත් අර්ථයක් වන්නේ අපි සවිඥාණකව කාර් පදිනවාට විරුද්ධ වූවාට අවිඥාණිකව අපට කරන්නට බැරි වැඩ වෙනත් අයෙකු විසින් අප වෙනුවෙන් කරන නිසා ඒ මගින් අපේ විනෝදය සහතික වන බවද?

දෛනික ජීවිතයේ අපට හමුවන අති බහුතරයන් මිනිසුන් උත්සහ කරන්නේ අනෙකාගේ ආශාවේ සහ විනෝදයේ චමත්කාර වස්තූන් වීමටය. මේ නිසා සිදු වී ඇත්තේ පොදු අවතාශයට අදාල කතිකාවේ යටින් ඇති නීති විරෝධී උල්ලංඝණයට අදාල ෆැන්ටසීන්ට අප දක්වන අනුරාගික භක්තිය නීතිගත සමාජයේ තහවුරු වීමයි. අපි උදාහරණයකට යමු.නියුරෝසිකයෙකු (තමන් ආශා කරන දෙය යටපත් කරන්නා-එය රහස් තැනකට තල්ලු කරන්නා)සිහිනෙක් ප්‍රාර්ථනා කරන දේවල් විපරිතයෙකු (pervert )ප්‍රසිද්ධියේ රග දැක්වයි. සාමාන්‍ය මිනිසුන් නීතිය නිසා ප්‍රසිද්ධියේ කිරීමට මැළිවන විවිධ ක්‍රියාකාරකම් ඔවුන්ගේ ෆැන්ටසි ලෝකයට තල්ලු වන්නේ ඒවා ප්‍රසිද්ධි‍යේ කිරීම තහනම් නිසාය. උදාහරණ වශයෙන් ගතහොත් මහපාරේ අපට හිතුමතයේ වාහනයක් වේගයෙන් ධාවනය කළ නොහැක. නැතහොත් අප කැමති කැමති ආකාරයට අපගේ සතුරන්ව ඝාතනය කළ නොහැක. පොදු භාවිතයට යොදා තිබෙන අරමුදල් අපට සිතෙන විදිහට හොරකම් කළ නොහැක. ඒ නිසා කවුරු හෝ ඒ දේවල් කරනා නම් අපට කරන්නට බැරි නමුත් අප කරන්නට (අවිඥාණකව) ආශා කරන දේවල් වෙනත් අයෙකු විසින් කිරීම හරහා අපට අතිරේක විනෝදයක් භුක්ති විදින්නට අවස්ථාවක් හමුවෙයි.

කොළඹ ජීවත් වන බහුතරයක් දෙනා දෛනිකව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ අධික වාහන තදබදයයි. මේ නිසා දවසේ කාලයෙන් වැඩ් වේලාවක් නිකරුණේ මහමග ගත කරන්නට සිදුවීම නිසාම ගොඩක් දෙනා ඉන්නේ දැඩ් ආතතියකින්. ඒ වගේම පාර පැහැදිලි වෙලාවක වුනත් වේගයෙන් යන්න බැහැ පදුරු අහස්සේ හැංගිලා පොලිස් නිළධාරීන් ඉන්නව. ඉතිං එහෙම එකේ එකපාරටම අධික වේගයෙන් දවසක් හරි වාහන පදින ලැබෙනව කියන්නේ තමන්ට දෛනිකව ආරක්ෂා කරන්නට වෙලා තියෙන කරදරකාරී නීතියක් වෙනත් අයෙකු විසින් උල්ලංඝණය කිරීම හරහා තමන්ට විනෝදයක් ලැබෙනව කියන එකයි. ලංකාවේ ගොඩක් අය නයිට් රේස් බලන්න යන්නේ සංස්කෘතියක් විදිහට මෝටර් රථ තරගාවලි බලන්න යන අර්ථයෙන් නෙවි. අපට එහෙම කාර් රේස් බලලා සතුටු වෙන්න පුලුවන් වටපිටාවක් තියෙනවද? හාල්,පරිප්පු,අල ලුණු වල ඉදන් බියර් විදුවක් සහ දුම්වැටියක් දක්වා සියළුම පාරිභෝගික භාණ්ඩ වලට අධික බදු මුදලක් ගෙවන රටක් විදිහට ඇත්තටම අපිට විනෝදාශ්වාදය සදහා වෙන් කරන්න අතිරික්ත ආදායම් උපයන්නට හැකියාවක් නැහැ. මොකද අපේ අතිරික්ත ආදායම විතරක් නෙවි මූලික ආදායමත් අපිට වක්‍ර බදු විදිහට ගෙවන්න වෙලා තියෙනව.

පොහොසත් මිනිසුන් ගෙන් අය කරන සෘජු බදු ක්‍රමක් ක්‍රමයෙන් අඩුකර (ආදායම් බදු) පොදු මහත් සමාජ-ආර්ථික දේහයටම අදාල වන වක්‍ර බදු ක්‍රමයක් ( අදියරෙන් අදියර විශාලනය වන පරිදි) හදුන්වාදීමෙන් රාජ්‍්‍ය යේ සහ සුභසාධනයේ වියදම පොදු ජනයාට සමානව පටවා පොහොසත් මිනිසුන් ගේ ‘ප්‍රාග්ධනය’ (Capital) විශාල කිරීම. එමගින් අපේක්ෂා කරන ලද්දේ පොහොසත් අය තම අත රාශිවන ‘ප්‍රාග්ධනය’ (Capital) යළි ප්‍රතිආයෝජනය කරනු ඇත කියාය. නමුත් සිදු වූයේ ඒ අය විදේශීය බැංකු හා ව්‍යාපාර වල එකී අතිරික්ත ප්‍රාග්ධනය තැන්පත් කිරීම නිසා අපට කබලෙන් ළිපට වැටෙන්නටය. මෙය උදාරහණයකින් තේරුම් ගන්නවා නම් ලැබ්බෝ ගිණි සහ තවත් රේස් දුවන කාර් සහදා සම්පූර්ණ බදු සහන පමණක් නොව ලියාපදිංචි ගාස්තු සහනද ලබා දෙන විට කිරිපිට ඇතුළු අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය මත අධික බදු බරක් පැටවීමය.

ජනතාව මේ සියල්ල ඉවසා සිටින රහස ඇත්තේ කොතැනද? එහි රහස ඇත්තේ ආණ්ඩුව විසින් ජනතාව වෙත ලබා දී ඇති දේශප්‍රේමීත්වය තුළය. මේ නිසා බොහෝ දෙනෙක් පවසන්නේ දැන් කන්න නැතත් නිදහසේ පාරේ බැහැල යන්න පුළුවන් රටක් අපට තියෙනව කියලයි. ජාතියේ මුරදේවතාවුන් යැයි පැවසූ අපෙන් එකෙක් වූ ඒ මිනිසා උතුරේ දෙමළ වැසියන් හතලිස් දහසකට අධික ප්‍රමාණයක් ඝාතනය කර රැක දුන් රටේ දේශප්‍රේමී ජනතාවට බඩගින්නේ සිට නයිට් රේස් බලන්නට ලැබීම යනු ජාතියේ විජයග්‍රහණයක් බව සහතිකය.

ජේම්ස් පැකර්ලා ලංකාවට පැමිණ කැසිනෝ ව්‍යාපාරය අරම්භ කරන්නේ සහ ඒ සදහා බදු සහන ලබා දෙමින් ජනතාව මත තව තවත් බදු බර පටවන්නේ ආණ්ඩුව හිතාමතා ජනතාවට අරියාදු කරන්නට නොවේ. ආණ්ඩුව බලාපොරාත්තු වන්නේ පැකර්ලා මේ ව්‍යාපාර මගින් ලබන අතිරික්ත ලාභය යළි මේ රට තුළම ආයෝජනය කරනු ඇති බවයි. නමුත් වෙන්ට නියමිත වන්නේ ඒ අතිරික්ත ලාභ කොටස උපයෝගී කරගනිමින් තවත් අප වැනිම තුන්වැනි ලෝකයේ රටකට ඒ මුදල් ආයෝජනය කිරීමයි. ඒ නිසා ධනවාදය ගැන හරි අවබෝධයක් ඇති ඕනෑම අයෙකුට තේරෙන සරළ යථාර්ථය වන්නේ ප්‍රාග්ධනයේ ගමන් පථය තනි රාජ්‍යයකට හෝ තනි පුද්ගලයෙකුට නතර කරන්නට බැරි බවත් ප්‍රාග්ධන සංසරණ ක්‍රියාවලිය යනු අඛණ්ඩ සහ අනවරත ක්‍රියාවලියක් වන බවත්ය. මේ නිසා නයිට් රේස් වලට,කැසිනෝ වලට හුදකලාව විරුද්ධ වීම හෝ එරෙහිවීමට වඩා අප අවබෝධකර ගත යුත්තේ මේවා ගේ ගමන් පථයන්ය. දියුණු ධනවාදී රටවල මෙවැනි තරග කියන්නේ කැසිනෝ ව්‍යාපාරය වගේම ප්‍රාග්ධන සංරණ ක්‍රියාවලිය හා සම්බන්ධ ලාභය මුල්කර ගත් අඛන්ඩ වැඩ සටහනක්. නමුත් අපේ වගේ රටකදී මේවා කියන්නේ ඉවෙන්ට් මැජේර්ලාට,ලයිට් කුළියට දෙන්නන්ට, අයිස්ක්‍රීම් වෙළෙදන්ට, බුලත් විට කාරයන්ට අමතර ගතමන්ට් එකක් හොයා ගන්නට තියෙන ආවස්ථාවක් හා මෙහි සංවිධායකයන්ට අමතර මුදලක් හොයා ගන්නා ගමන් තමන් ශ්‍රේෂඨ බව රටට පෙන්වන්නට ලැබෙන අවස්ථාවක්ය. ධනවාදයේ පශ්චාත්-නූතන ගමන් පථය නිවරදිව ග්‍රහණය කර නොගෙන තව දුරටත් සමාජ විප්ලවයක් කිරීමේ සිහින දකින වාමාංශිකයන්ට මේ වගේ උත්සව කියන්නේ හයේ පහරවල් ගහන්නට ලැබෙන පුල්ටෝස් පන්දුය. එත් මේ වාමාංශිකයන්ට අවසානයේ කරන්නට ඉතිරි වන්නේ අමුඩ ඇදන් පාරේ ගමන් කිරීම හෝ පළාත් සභා ඡන්ද වල මහඇමති අපෙක්ෂකයන් වන ගමන් විප්ලවාදීන් වන්නටය.

උපුටා ගැනීම – ත්‍රිමාන වෙබ් අඩවිය | Image Credit: cricturf.com