Image Credit: srilankaguardian.org

ශ‍්‍රී ලංකාවේ සංවේදී කොටස්වලට, වසරේ ‘ක‍්‍රෑරතම’ මාසය ජුලි මාසය විය හැකිය. මේ සංවේදී අතලොස්සෙන් වැඩිහිටි පරම්පරාවට අයත් වන අයට 1983 කළු ජුලියේ ඛේදනීය අත්දැකීම ආවර්ජනා කිරීමෙන් වැළැකී සිටීම අපහසු ය. එය, ශ‍්‍රී ලංකාවේ සමාජ-දේශපාලනික ඉතිහාසයේ ශෝකී හැරවුමකි.

මේ බිහිසුණු සහ ක්ෂතිමය අත්දැකීම තවදුරටත් ස්මරණය කිරීම ‘දේශපාලනිකව වැරදි’ ක‍්‍රියාවකැ යි ඇතැමෙකු සිතන්නට පුලූවන. එහෙත්, සිතන පතන අපට එය අමතක කිරීම පහසු කටයුත්තක් නොවේ. වඩාත්ම එසේ වන්නේ, ඒ ඛේදනීය ජාතික වින්නැහියෙන්, වාර්ගික මිත‍්‍රත්වය සඳහා වන පාඩම් ගැනීමට ලංකාවේ සමාජය අසමත්ව ඇතැ යි පෙනෙන්ට ඇති නිසා ය. ඇති වූ කැරලි කෝලාහල කේන්ද්‍රයේ පැවති අරටු ගැටළුවලට සංයුක්ත සහ සාධනීය ක‍්‍රියාමාර්ගයන් හරහා දේශපාලනික විසඳුම් සෙවීම පැත්තකින් තිබ්බත්, අඩු වශයෙන් ජාතීන් අතර මිත‍්‍රත්වයක් ගොඩනගා ගැනීමටවත් පොහොසත්ව ඇති බවක් නොපෙනේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය හමුදාමය වශයෙන් පරාජය කෙරුණි. ඊළඟට, ආණ්ඩුවට සහ අදාළ අංශවලට තිබුණේ, ගැටුම සඳහා වන දේශපාලනික විසඳුමක් ක‍්‍රියාත්මක කිරීම ගැඹුරින් සැලකිල්ල යොමු කිරීමයි. අනන්‍යතා දේශපාලනය නිසා ප‍්‍රධාන වශයෙන් මතුවන මෙවැනි අර්බුදයක විසඳුමක, සමහර විට දෙයාකාරයක අඩංගුවක් තිබිය හැකිය. එනම්, හමුදාමය අඩංගුව සහ දේශපාලනික අඩංගුවයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය හමුදාමය වශයෙන් පරාජය කිරීමෙන් ක‍්‍රියාත්මක කෙරුණේ ඉන් පළමුවැන්නයි. දෙවැන්න, ලංකා ආණ්ඩුව තවමත් බැ?රුම්ව සැලකිල්ලට ගෙන නැත. එය ක‍්‍රියාත්මක වන තුරු, සැබෑ අර්ථයේ සාමයක් ශ‍්‍රී ලංකාවට ලැබෙතියි සිතිය නොහේ.

දේශපාලනික විසඳුමක ඇතුළත් විය යුතු සමස්ත සාරය පිළිබඳ එකඟතාවක් කෙසේ වෙතත්, ඒ පිළිබඳ ප‍්‍රධාන ආකෘතීන් දැනටමත් අප ඉදිරියේ තිබේ. ගත වූ 30 වසර තිස්සේ පැවැති අනන්තවත් ‘සාම සාකච්ඡා’, සම්මන්ත‍්‍රණ, සාකච්ඡා මණ්ඩප සහ සංවාද සැසි ආදිය මගින් ඒවා ගැන සාකච්ඡා කොට වර්ධනය කොට තිබේ. මින් සමහරකට ලංකාවේ රාජ්‍යයද කොටස්කරුවකෙු විය. උදාහරණයක් වශයෙන්, ජනාධිපති චන්ද්‍රකා කුමාරණතුංග පාලනය කාලයත්, රනිල් වික‍්‍රමසිංහගේ කෙටි අගමැති කාල පරිච්ෙඡ්දයත් දැක්විය හැකිය. දේශපාලන විසඳුමක් පිළිබඳ දැඩි උනන්දුවක් එකල තිබුණි. ඔවුන්ගේ පාලන කාලයන් තුළ අඬබෙර ගසා ආරම්භ කළ ඇතැම් සාම කතිකාවන්හි අසාර්ථකත්වයන් ද අප පසුකොට ඇත. මේ විවිධ අදහස් උදහස් එක් වීමෙන් නිපැදවුණු විශාල වශයෙන් ගොඩගැසුණු සාහිත්‍යයක් ඇතත්, ඒවා පුස්තකාලවල හෝ ලේඛනාරක්ෂක ගබඩාවල පුස්කකා තිබේ. ඊට අමතරව, මේ ආණ්ඩුව පටන් ගත් ඉතා වැදගත් ‘සර්වපාක්ෂික නියෝජිත සමුළුව’ මගින් ඉදිරිපත් කරන ලද යෝජනා ද සැලකිල්ලට නොගෙන තිබේ. මේ නිර්දේශ, දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද බොහෝ දෙනාගේ ප‍්‍රශංසාවට ලක්විය.

මේ නිසා, යම් සිහිකල්පනාවක් ඇති පිරිස් මතු කරන ප‍්‍රශ්නයක් තිබේ: ‘‘ලංකාවේ ප‍්‍රශ්නයට අදාල ‘දේශීය’ දේශපාලන විසඳුමක් සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට ඇති කරුණු කවරේද?’’ මේ ආණ්ඩුව, මේ කාරණය අරභයාම ‘පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකුත්’ නැවත පත්කොට ඇති තත්වය තුළ ඉහත කී ප‍්‍රශ්නය නැගීම තවත් අර්ථවත් වෙයි. එම කාරක සභාවේ අරමුණ යැයි කියන්නේ ද, අර කී අනන්තවත් කතා කොට ඇති විසඳුම් ගැන නැවතත් කතා කිරීමයි. දේශපාලන විසඳුමක මූලික පරාමිතීන් දැනටමත් අප ඉදිරියේ ඇති තත්වය තුළ, විසඳුමක් සඳහා නැවත සාකච්ඡා කිරීමක තිබිය හැකි අර්ථය කුමක්ද?

මේ ගැන අවධානයෙන් සිටින කොටස් අතරේ පොදු එකඟතාවක් තිබේ. එනම්, ඒකීය රාජ්‍ය ක‍්‍රමයක් තුළ ඇති කෙරෙන බලය බෙදා හැරීමක්, දේශපාලන විසඳුමක පදනම විය යුතු බවයි. හැම දේටම නෑ බෑ කියන ඝෝෂාකාරයන් හැරුණු කොට, මෙරටේ ජීවත් වන විවිධ ප‍්‍රජාවන්ගේ මූලික අභිලාෂයන් ඉටු කරන යම් ආකාරයක බලය බෙදා හැරීමේ මාදිලියකට විරුද්ධ නැත. ඊටත් වඩා, උතුරු සහ නැගෙනහිර පළාත් සභා දැනටමත් ක‍්‍රියාත්මක වෙයි. ඔවුන්ගේ පළාත්වල අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා ඔවුන්, බොහෝ බාධක සහ කරදර මැද යම් උත්සාහයක් ගනී. කෙසේ වෙතත්, පොලිස් සහ ඉඩම් වැනි ඇතැම් බලතල බෙදා හැරිය යුතු ද නැද්ද යන්න ගැන මතභේදයක් තිබේ. මේවා විසඳාගත යුතු ගැටළු ය. බොහෝ භේදභින්න ඇති කිරීමට ඒවා ඉවහල් වෙයි. ජාතික අභිවෘද්ධිය පමණක් ගැන සිතා සත්භාවයෙන් සාකච්ඡුා කළොත්, එම ගැටළු නිරාකරණය කර ගැනීමට බැරි කමක් නැත.

මීට මාස කිහිපයකට පෙර උතුරු පළාත් සභා මැතිවරණයේ දී එම පළාතේ ජනතාව ‘දෙමළ ජාතික සන්ධානය’ ඉහළින්ම ජයග‍්‍රහණය කැරැවීමෙන් පෙන්නුම් කෙළේ, දේශපාලන විසඳුමක් සඳහා ආණ්ඩුව කිසි සංයුක්ත පියවරක් ගන්නා බවට තමන් තුළ විශ්වාසයක් නැති බවයි. කෙසේ වෙතත්, ‘දෙමළ ජාතික සන්ධානය’ පැත්තෙන් බෙදුම්වාදී බිල්ලෙකු එන්නේ නැත. ඒ නිසා ඔවුන් සහ වෙනත් අදාළ පාර්ශ්ව සමග එකට වාඩි වී, සාකච්ඡාමය විසඳුමකට පැමිණීමට ආණ්ඩුව සැබෑ උනන්දුවක් ගත යුතුව තිබේ. විසඳුමක් සඳහා වන මූලික පරාමිතීන් වසර තිහක් තිස්සේ සාකච්ඡා කොට, කිරාබලා ඇති නිසා, දැන් මේ අදාළ පාර්ශ්ව කළ යුත්තේ, ක‍්‍රියාත්මක කළ හැකි යෝජනා ගැන තීරණයකට පැමිණ, නිශ්චිත කාල රාමුවක් තුළ අවසානයකට පැමිණීම සඳහා, වැඩට බැසීමයි. ඒ මූලික අවශ්‍යතාවන් සඳහා ‘දෙමළ ජාතික සන්ධානය’ එකඟ විය යුතු අතර, එම සාකච්ඡාවලට සහභාගී වීම සඳහා අනේකාකාර කොන්දේසි නොපැනවිය යුතුය.

මේ නිරීක්ෂණ පදනම් වන්නේ, ආණ්ඩුව සහ ඊට පිටුබලය සපයන්නන් දේශපාලන විසඳුමක් සඳහා සත්භාවයෙන් කටයුතු කරති යි යන පිළිගැනීම මතයි. ආණ්ඩුව කෙරෙහි එවැනි විශ්වාසයක් තබා ගැනීම වරදක් වන්නට බැරි නැත. මන්ද යත්, නොයෙක් වර ලංකාවේ ආණ්ඩු බහුතර ජනතාවගේ හැඟීම් යැයි ඔවුන් සිතන පරිසරයකට නිවටව යට වෙමින්, ‘සාම සාකච්ඡුා’ කරන්නන් වාලේ කරගෙන ගොස් ඇති බැවිනි.

අනාගතයේ පැවැත්වෙන මැතිවරණ දකුණේ ජනතාව මත පදනම් වන පක්ෂ විසින් තවදුරටත් ජය ගැනීමට පුලූවන. බහුතර ජනතා කැමැත්ත යැයි අපේ දකුණේ දේශපාලඥයන් හඳුන්වන්නේ එයයි. එහෙත්, වර්ගවාදය විසින් ජාතීන් භේදභින්න කරන ප‍්‍රවණතා ශ‍්‍රී ලංකාවේ සමාජයට එක දිගටම පාරාවළල්ලක් වෙමින් එම සමාජය කඩා ඉහිරවීමටත් හේතුකාරක විය හැකිය. දකුණු ශ‍්‍රී ලංකාවේ මෑතකදී ඇති වූ ජාතිවාදී කෝලාහල ඊට මනා නිදසුනකි.

මේ අනුව, ‘සාමය ජය ගැනීම’ ගැන සළකන කල ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව අංගවිකල භාවයකින් පෙළෙන බව කිව හැකිය. බහුතර ප‍්‍රජාවේ ඕනෑඑපාකම් යැයි දකුණේ දේශපාලඥයන් සිතන ඉල්ලීම්වලට යොමුවීම හරහා අත උඩින් මැතිවරණ ජය ගැනීම එම දේශපාලඥයන්ගේ අපේක්ෂාව වන්නේ නම් සහ ජාතීන් අතර ගොඩනැගිය යුතු සාධනීය සාමය ඔවුන් පසුවට කල් දමන්නේ නම්, එයින් කෙරෙන්නේ බරපතල වැරැද්දකි. මන්ද යත්, නැවතත් මැතිවරණයකදී ජාතිවාදයේ වාසිය ගන්නට ගියොත්, ලංකාවේ සමාජය දැනට බෙදී ඇති වාර්ගික විරසකය එයින් තවත් ඔද්දල් කෙරෙන බැවිනි. එවිට මුහුණදීමට සිදුවන සමාජය, ඊට පෙර පැවතියාට වඩා භේදභින්න වූ සමාජයක් වනු ඇත. එපමණක් නොව, බහුතර ප‍්‍රජාවේ ඇතැම් කොටස් සාකච්ඡාමය සාමයකට තව තවත් පසමිතුරු වනු ඇත.

ඒ නිසා, ‘කල් මැරීම’ ලංකාවේ ආණ්ඩුවට මොන අතකින්වත් හිතකර වෙන එකක් නැත. සාමය ගැන සාකච්ඡා කිරීම රටේ ඇතැම් කොටස්වල විවේචනයට සහ අප‍්‍රසාදයට ලක්විය හැකිය. එහෙත්, රටේ පොදු යහපත සඳහා නිවැරදි තීරණ ගැනීමට තරම් රටේ පාලකයන්ට ධෛර්ය තිබිය යුතුය. එසේ කළහොත්, ඉතිහාසය ඔවුන්ට කාරුණික වන්නට පුලූවන. එසේ නොකළොත්, දැනුම් තේරුම් ඇති අනාගත පරපුරක් ඔවුන්ව දකිනු ඇත්තේ රටට අයහපතක් කළ පාලකයන් වශයෙනි.

සෑම අංශයකින්ම, ප‍්‍රතිපත්තිමය වශයෙන් මෙන්ම ප‍්‍රායෝගිකව ද, සමානාත්මතාව වෙනුවෙන් කැප වීම මිස අන් මගක් ලංකාවේ පාලකයන්ට නැත. අන්තර්-වාර්ගික සම්බන්ධතා සම්බන්ධයෙන් අතීතයේ පෙන්නුම් කොට ඇති පරිදි, එය නොතකා හැරීම හේතු වී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ හානියටමයි. ශ‍්‍රි ලංකාවේ අනාගතය සුරක්ෂිත වීමට නම් අන්තර්-වාර්ගික සම්බන්ධතා හැසිර වූ ඒ අතීත භාවිතාවන්ගෙන් සහමුලින් කැඩිය යුතුව තිබේ.

ලින් ඕකෙර්ස් | Lynn Ockersz

*2014 අගෝස්තු 7 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ “Winning Peace” Taking A Back Seat නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්