දකුණු ඉන්දියානුවන් අතරේ අර්ධ-දේවතාවියක සේ වැජඹෙන, ශ‍්‍රී ලංකාවේ දේශපාලන දේහය තුළ ඇණයක් සේ ගැනෙන, බල සම්පන්න තමිල්නාඩු මහ ඇමතිනී ජෙයරාම් ජයලලිතා හිරේ යවමින් ඉන්දියානු අධිකරණයක් දුන් තීන්දුව, ශ‍්‍රී ලංකාවේ බහුතරයකට ආශ්වාදනීය ප‍්‍රවෘත්තියක් වූවාට සැක නැත.

මීට කලින්, 1991-1996 බලය හෙබැවූ කාලය තුළ, විශාල ධනස්කන්ධයක් යටමඩි ගසා ගැනීම සඳහා බලය අපහරණය කර ඇති බවට ඇය අධිකරණය ඉදිරියේ වැරදිකාරිය වූවාය. මෙහි දී වඩාත් වැදගත් වන්නේ, මෙසේ ඇයව වැරදිකාරියක බවට පත්කරනු ලබන්නේ, ඉතා බලසම්පන්න තමිල්නාඩු ප‍්‍රාන්ත මහ ඇමති පදවිය ද ඇය දරමින් සිටියදී වීමයි. ඇයට එරෙහි නඩු විභාගය පවත්වාගෙන යාමටවත්, එම නඩු විභාගයෙන් ඇයව වැරදිකාරිය කිරීමටවත්, දේශපාලඥවරියක වශයෙන් ඇගේ වැදගත්කම හෝ ඡන්දදායකයන් කෙරෙහි ඇය අභ්‍යාස කරන අධිකතර බලය, අධිකරණයට බාධකයක් වුණේ නැත.

ඒ තත්වය තුළ, මේ අධිකරණමය තීන්දුවේ හරය සියලූ ශ‍්‍රී ලාංකිකයන් නිවැරදිව වටහා ගැනීම ඉතා වැදගත් ය. මේ රටේ උස් වේදිකාවල සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය සහ නීති ගරුකත්වය ගැන වර්ණනා කෙරෙන අනේක වහසි බස්වලට වඩා, මේ තීන්දුව බොහෝ දේ අපට කියා දෙයි. නීතියේ ආධිපත්‍යය අකුරට ක‍්‍රියාත්මක වන බව අපේ දේශපාලඥයන් බොහෝ විට කියනු අපට ඇසේ. සියල්ලන්ම එක සමාන බවටත්, එකිනෙකාගේ තරාතිරම හෝ නිලතල කුමක් වෙතත් නීතියට ඉහලින් කිසිවෙකු නොසිටිය යුතු බවටත් ඔවුහූ අපට බණ වදාරති.

මේ තීන්දුව මගින් අපට නොවලහා පෙන්නුම් කරන්නේ, අපේ යෝධ අසල්වැසි රටේ ක‍්‍රියාත්මක වන අධිකරණ පද්ධතිය භුක්ති විඳින ස්වාධීනත්වයේ තරමයි. පවතින නීති සංග‍්‍රහයේ ප‍්‍රතිපදාවන් උත්කෘෂ්ට කොට සළකමින්, අදාල පුද්ගලයන්ගේ සමාජයීය හෝ දේශපාලනික තාන්නමාන්න නොසළකමින්, සිය ව්‍යවස්ථාමය නියමයන් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට ඉන්දියාවේ නීතිවේදීන්ට ඇති නිදහස සහ ශක්තිය මේ තීන්දුව මගින් කියාපායි. ඒ වූ කලී, ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්තවාදී රට ලෙස සැළකෙන ඉන්දියාවේ යහපාලනයේ දීප්තිමත් ක‍්‍රියාකාරීවයයි. එසේම, යුක්තිය පසිඳලීම පහසු කරවනු වස්, අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලින් තොරව, නීති පද්ධතියේ ක‍්‍රියාවලියෙන් ඈත් වී සිටීමට එරට ව්‍යවස්ථාදායකය කැමැත්තක් දක්වන බව ද මෙහි දී කෙනෙකුට පෙනෙන්ට තිබේ.

එසේම, ‘‘යුක්තිය පසිඳලනවා පමණක් නොව, එසේ පසිඳලන බව නිසැක වශයෙන්මත්, ප‍්‍රකාශිතවමත්, පෙනෙන්ටත් තිබිය යුතු’’ බවට නිගනමය කරන ලද ප‍්‍රසිද්ධ ඉංග‍්‍රීසි නඩු තීන්දුවක හරය ද, මේ තීන්දුව මගින් අපට මතක් කර දෙයි. බොහෝ අවස්ථාවලදී, එකිනෙකා අතර ගැටුම් ඇති කරගෙන තිබෙන ලංකාවේ දේශපාලන සංස්ථාවට සහ අධිකරණ පද්ධතියට, ජයලලිතාගේ නඩුව ඇස් අරවන සුළු එකක් විය යුතුය. තමන් සතු දේශපාලනික බලය සහ ආයතනික බලය අනිසි ලෙස පාවිච්චි කරමින් ධනය එක් රැස් කර ගැනීම ගැන අධිකරණය මගින් ජයලලිතා වැරදිකාරියක කිරීම පිළිබඳ එකී පරීක්ෂණයට, නිදහස් ලංකාවේ බලයට පත් ආණ්ඩු අතරින් කීයකට සාර්ථකව මුහුණදිය හැකි වේ ද යන්න මේ අවස්ථාවේ සළකා බැලිය යුතු වැදගත් ප‍්‍රශ්නයකි. එසේම ඉහත කී ඉංග‍්‍රීසි ආප්ත පදයට එකඟ වීමට ලංකාවේ වර්තමාන අධිකරණ පද්ධතිය කොතෙක් දුරට සමත් වේද යන්නත් තවත් වැදගත් ප‍්‍රශ්නයකි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක විය යුත්තේ කෙසේදැ යි සළකා බැලීම සඳහා තමන්ගේ අසල්වැසි රටෙන් යම් ඉඟියක් ලබා ගැනීමට ලංකාවේ බලය හොබවන දේශපාලනික සංස්ථාවට දැන් අවස්ථාව පැමිණ තිබේ. පොදු ජනතාවගේ පුළුල් සුභසිද්ධිය සඳහාත්, නාස්තිකාර වියදම් සඳහා මහජන මුදල් අපහරණය නොකරනු සඳහාත්, රටේ අවශ්‍යතාවන් පිළිබඳ වැරදි ප‍්‍රමුඛතාවන් කෙරෙහි යොමු නොවීම සඳහාත්, පෙර නොවූ විරූ ආකාරයකින් ජීවිතේ ගැටගසා ගැනීමට දඟලන ජනතාවක් ඉදිරියේ ඔවුන්ගේ ජාතික සම්පත් කාබාසිනියා නොකරනු සඳහාත්, යහපාලනයේ මූලික ධර්මතාවන්ට අනුගත වෙමින් ද, නීතිය හා සාමය සුරකිමින් සහ යුක්තිය පසිඳලමින් ද කටයුතු කළ යුත්තේ කෙසේද යන්න ගැන මේ හරහා අපේ පාලකයන් සිතට ගැනීමට කාලයයි, මේ.

ලලිත් ධම්මික මෙන්ඩිස් | Lalith Dammika Mendis

*2014 සැප්තැම්බර් 30 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Taking A Vital Cue from Our Giant Neighbour නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්