චාවේස්ගේ මරණය CIA ගේමක්ද ?

Nilanthailangamuvaනිලන්ත ඉලංගමුව | Nilantha Illangamuva

___________________________________________________________________________________________________________

තනි මිනිහෙක් සියලුම බලයන් ඒක රාශිකරගෙන ඉන්න රටකින් පැනයන්න, මන්ද එය වහලුන්ගේ දේශයක් –
සයිමොන් බොලිවර්(ලතින් ඇමෙරිකානු විමුක්තිදායකයා)

Charvesh 350
ඔහු මිය ගියේය. දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර ගැනීමෙන් පසු ජනාධිපති හියුගෝ චාවේස් අභාවප්‍රාප්ත විය. ඔහුගේ මරණය පිළිබඳව පමණක් නොව ඔහුගේ පිළිකා රෝගය පිළිබඳව බරපතල සැක සංකා වෙනිසියුලානු ආණ්ඩුවම මතු කරනු ලැබීය. ඔහු ස්වභාවිකව වැළඳුනු පිළිකාවක් නිසා මිය ගියේද එසේත් නොමැතිනම් හිතා මතා සිදු කරනු ලැබූ විෂ එන්නත් කරවීමක් නිසා සිදු වූයේද යන්න පිළිබඳව පිළිගත් පර්යේෂණයක අවශ්‍යතාවය එහිදී මතු කරනු ලැබීය. ජනාධිපති චාවේස්ගේ මරණය වාර්තා වීමත් සමඟම වොෂින්ටන් හී පිහිටි මානව අයිතිවාසිකම් උදෙසා වන සංවිධාන රැසක් ඇමෙරිකානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ආදාල මරණය ගැන පිළිගත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි. මෙය ස්වභාවික මිය යාමක්ද එසේත් නොවේනම් ඇමෙරිකානු ආණ්ඩුවේ මෙහෙවීම මත සිදුකරනු ලබුවක්ද යන්න පිළිබඳව සැක ඇති බවත්, මෙවැනි මරණ මීට පෙරද ඇමෙරිකානු ආණ්ඩුවේ මැදිහත් වීම මත සිදු වූ බවත් අදාළ සංවිධාන අවධාරණය කරනු ලැබීය.

සී අයි ඒ සංවිධානය ඇමෙරිකානු ප්‍රතිපත්ති වලට එරෙහිවන අවංක නායකයින් ඉලක්ක කරගනු ලැබුවේ අද ඊයෙක නොවේ. ඊට දීර්ඝකාලීන ඉතිහාසයක් තිබේ. ඇමෙරිකානු ප්‍රතිපත්ති වලට විරුද්ධ වීම වූ කලී තම ජනතාවගේ මනාපය හූරා ගැනීමට බොරු දේශප්‍රේමයක් මවාගෙන තම සියලුම පෞද්ගලික ආර්ථික විස්වාශයන් ඇමෙරිකාව සමඟ තර කරගන්නා සහ තම රට සහ ජනතාව ගැන කිසිම විස්වාශයක් නොකරන දුෂ්ඨ දෙපත් නයින්ට කළ නොහැකිය. ඇමෙරිකාව මෙසේ ඝාතනය කිරීමට සැලසුම කළ නායකයින් අතර කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ, රෆායෙල් ට්‍රු ජිල්ලෝ, ජනරාල් රෙනේ චේරු යන අයවලුන් ප්‍රසිද්ධ වූයේ තොරතුරු වලට ඇති අයිතිය නමැති පනත යටතේ ප්‍රසිද්ධ කිරීමට සිදුවීමෙන් පසුය. තවත් බොහෝ දෑ සී.අයි. ඒ. සංවිධානයේ රහස් ලිපිගොනු අතර සැඟවී තිබේ.

පලස්තීන නායක යසර් අර්ෆට් මියයාමෙන් වසර කිහිපයකට පසු හෙතම ක්‍රමානුකූලව සිදුකරනු ලැබූ විෂ එන්නත් කිරීමෙන් මියගිය බව වාර්තා විය. ජනාධිපති චාවේස්ගේ මරණයද සැක සහිත එකක් බව උප ජනධිපති නිකොලොස්ද කියා සිටියේ, චාවේස්ගේ පිළිකාව සතුරන්ගේ ප්‍රහාරයක ප්‍රතිපලයක් බව අර්ථ දක්වමිනි. කෙසේ වෙතත් ඔහුගේ අනුවේදනීය මරණය පිළිබඳව තවමත් තහවුරු කර නොගත් බොහෝ දෑ ඉදිරියේදී තහවුරු වනු ඇත. එය සී. අයි. ඒ. සංවිධානය සිදු කළ එකක්ද එසේත් නොවේනම් ස්වභාවිකව හටගත් එකක්ද යන්න සිදුවීම් ගැලපීමෙන් සහ ඒවාට අදාළ සාක්ෂි මුලාශ්‍ර හමු වුවහොත් හෙළිවනු ඇත. ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි මරාදැමීම පිළිබඳව මුල් කාලයේදී කියුබාවට චෝදනා කිරීමට ඇමෙරිකාවට ඉතා පහසුවෙන් හැකි වුවද නමුත් ඊට ඇමෙරිකානු ආණ්ඩුවේ සහ ඔත්තු සේවා වල තිබු සම්බන්ධය ගැන පසුව හෙළි විය. කෙසේ වෙතත් චාවේස්ගේ මරණය පිළිබඳවද කියුබාව පවා යම් දේශපාලන කාරනා මත සඟවා තබා ගැනීමට තීරණය කළ සිදුවීම් හෙළිවීමට තවත් කාලයක් යනු ඇත. විශේෂයෙන් ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවාව ඇති කියුබාව චාවේස් සුව කිරීමට හැකි උපරිම උත්සාහය ගැනීම පැසසිය යුතු කාරණයක් වේ. නමුත් සියලු උත්සාහයන් පරාජය කරවමින් ජනාධිපති චාවේස් අප අතරින් වෙන්විය.

ජගත් දේශපාලනය තුළ මතුව ආ ආකර්ශනීය නායකයෙකු ඉතා කෙටි කාලයකදී මිය යාම එරට ජනතාවට පමණක් නොව මුළු ලෝකයටම අනුවේදනීය හැඟීමක් මතු කරන සිදිධියක් වේ. චාවේස්ගේ මරණය පළමුව මාධ්‍යට පැමිණියේ වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලනඥයින් ආධාරයෙනි. ඉන් පසු එය රාජ්‍ය මාධ්‍ය මඟින් නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය. නිවේදනයක් නිකුත් කළ වොෂින්ටන් හී පිහිටි වෙනිසියුලානු තානාපති කාර්යාලය, ඊයේ පස්වරුවේදී එරට දේශපාලන සහ හමුදා නායකයින් හදිසියේ රැස් වූ අවස්තාවේදී වෙනිසියුලානු උප-ජනාධිපති නිකොලොස් මඩුරෝ ජනාධිපති චාවේස් ඊයේ සවස 4.25 ට අවසන් හුස්ම හෙලු බව නිල වශයෙන් නිවේදනය කළ බව වාර්තා කරනු ලැබීය.

” මෙම අයිතිහාසික ඛේදවාචකයේදී අපි අපේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සමාකමිව සහ ජාතියට ගරු කරමින් කටයුතු කරන ලෙසයි. අපේ ගෞරවාන්විත ජනතාව සමඟ එකතු වී මෙරට ආරක්ෂක හමුදාවන් මෙන්ම අනෙකුත් දේශපාලන නායකයින් එතුමන්ගේ උරුමය, අභියෝගය සහ ඔහුගේ වැඩපිළිවෙල ඉදිරියට රැගෙන යාමට පොරොන්දු වෙමු. ඔබ සැමට බොහොම ස්තුතියි,” කෙටි එහෙත් ඉතාම තියුණු පණිවිඩයකින් උප ජනධිපති නිකොලොස් ජනතාව දැනුවත් කරනු ලැබීය. දේශපාලනික වශයෙන් පරාජය කිරීමට නොහැකි වූ මෙම හිටපු හමුදා නායකයා පිට පිටම සිව්වැනි වරත් ජයගනු ලැබුවේ පසුගිය ඔක්තෝම්බර් 07 වැනිදා පැවති මැතිවරණයෙනි. ඒ ඔහු තම පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදීය.

චාවෙස්ගෙන් පසු වෙනිසියුලාව ආර්ථික මෙන්ම දේශපාලන අතින් පිරිහීම නියතයක් බව බොහෝ දෙනෙකු මේ වන විටත් අනුමාන කළ සහ කරමින් සිටින කාරණයක් වේ. ඇමෙරිකාවට තෙල් සපයන මුලිකයා ලෙස වෙනුසියුලාවට උචිත ක්‍රමෝපායික වශයෙන් වඩාත් දේශීය සහ ජාත්‍යන්තර ප්‍රතිපත්ති සකස් කිරීමට චාවේස් සමත් විය. ඔහු ධනවාදයට මැලිකමක් දැක් වූ නමුත් එහි ඇති යහපත් කාරනා එනම් තම ප්‍රමුඛ සතුරාට මැදිහත් වීමට හැකි හිඩැස් වසා දැමීමට ඔහු සමත් විය. “අපි සර්ව සම්පූර්ණ නැතිවෙන්න පුළුවන්, නමුත් මෙය ප්‍රජාතන්ත්‍රවාදයයි,” යයි හෙතම වරක් සඳහන් කළේය. ඔහු ඉරාකයේ සදාම් හුසේන් අල් ටික්රිට් හී ගුලකින් මීයෙකු මෙන් ඇමෙරිකානු හමුදාව විසින් එලියට ගෙනවිත් බුෂ්ගේ කැකිල්ලේ නඩු තීන්දුවෙන් පසු මරා දැමූ අයුරුත්, ඊට පෙර සදාම් හුසේන් ඇමෙරිකානු රූකඩයක් ලෙස කුවේට් ආක්‍රමණය වැනි දෑ මෙන්ම තම රටේම මුස්ලිම් භක්තිකයන් ඇමෙරිකානු වුවමනාව නිසා විනාශ කළ අයුරුත් දුටුවේය. ලිබියාවේ ගඩාෆි විසින් ගෙනගිය දෙබිඩි දේශපාලනයද ඔහු අවබෝධ කර ගත්තේය. එසේම ලතින් ඇමෙරිකානු කලාපයේ පිහිටි කොලොම්බියාවේ දුෂිත ආණ්ඩුවේ හැසිරීම ගැන මනාව නිරීක්ෂණය කළ හෙතම එරට ෆාර්ක් ගරිල්ලන්ට ලබාදිය හැකි සෑම සහයක්ම දීමට තීරණය කළේය. එපමණක් නොව චාවේස් තම දේශපාලන ව්‍යාපෘතිය තනිව රැගෙන නොගිය අතර සෑම විටම කාලාපීය සහයෝගීතාවය මෙන්ම තම දේශපාලන දර්ශනය අයත්වන මන්තීරුවට අයත් අනෙකුත් දේශපාලන නායකයින් සමඟ දේශපාලන සහයෝගයක් ගොඩ නැගීය. එය ඔහුට මනා පිටුවහලක් වූයේ ජගත් දේශපාලන භූමිකාව තුළ තීරනාත්මක බලවේගයක් ලෙස මතුව ඒමටය. “මිහිපිට ඉන්න ලොකුම හතුරා තමයි උතුරු ඇමෙරිකානු අධිරාජයාවාදය,” යැයි හෙතම වරක් ඇමෙරිකාවට ඍජුව චෝදනා කළේය.

විශේෂයෙන්ම ඔහු තම සාර්ථක හමුදා කුමන්ත්‍රණය දිනීමට පෙර පළමු හමුදා කුමන්ත්‍රණය පරාජය වීමෙන් පසු සිටම මේ දක්වාම ප්‍රභල අවංක ඇමෙරිකානු විරෝධයක් දක්වනු ලැබීය. මෙම හිටපු හමුදා නායකයා පසුව පුද්ගලික නිදහස සහ සමාජවාදයේ ප්‍රගමනය වෙනුවෙන් මෑත කාලයේ බිහි වූ අතිශය තීරණාත්මක නායකයා විය. ඔහුගේ තීරණාත්මක බාවය යම් ආකාරයකින් බ්‍රසීල ජනාධිපති ලූලාද සිල්වා සමඟ ගැලපිය හැකිය. එසේම තම ජීවිතේ අවසාන කාලය දක්වා ඔහුට කියුබානු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ මහඟු පිටුවහලක් විය. චාවේස්, සී. අයි. ඒ. සංවිධානය විසින් බොලිවියාවේදී අමානුෂික මරා දමනු ලැබූ චේ ගුවේරා මෙන් තම දේශපාලන කටයුතු ඇමෙරිකානු බාධා කිරීම් වලින් මුක්ත කරගැනීම සඳහා ඉතා කිට්ටුවෙන් කස්ත්‍රෝ ආශ්‍රය කරනු ලැබීය. එසේම බොලිවෙයානු ජනාධිපති ඉවෝ මොරාලෙස් පමණක් නොව ඉක්වදෝර් ජනාධිපති රෆායෙල් කොරෙයාද ඔහුට හැකි පමණින් තම ශක්තිය ලබා දීම සඳහා කටයුතු කරනු ලැබීය.

චාවේස් සතුරාගේ දුර්වලතාවයන් මෙන්ම සතුරාට කළ හැකි හානියේ විශාල බව දැන සිටියා පමණක් නොව, ඔහු තම මිතුරාට කළ හැකි උපරිමය ගැනද දැන සිටියේය. එසේම මිතුරාට ඉතිහාසයේදී වැරදුන තැන පිළිබඳ ඔහුට සැලකිය යුතු මට්ටමේ ගැඹුරු අවබෝධයක් තිබුණි. ඔහුගේ අහිමි වීම හුදෙක් වෙනිසියුලාවට පමණක් නොව මුළු ලෝකයටම අතිශය තීරණාත්මකව බලපානු ඇත. ලෝකයට අහිමි වූයේ සැබෑ නායකයෙකි. බොලිවරයාලු සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කරනු ලැබූ හෙතම ලෝකයට ඉගැන්වූ පාඩම් බොහෝය. ලතින් ඇමෙරිකානු එකමුතුභාවය දීර්ඝ කාලයක් පවතීවා, යන්න ඔහුගේ මුලික දේශපාලන අභිප්‍රාහය විය. චාවේස් මෙන්ම කස්ත්‍රෝ විසින් ලතින් ඇමෙරිකානු පිබිදීමට ලබාදුන් ජීවය රැගෙන යාම බලයට පත්වන අයගේ මුලික වගකීම වේ. එය අතිශය තීරණාත්මක අභියෝගයක්ද වේ.