Colombo, Featured Articles, Features, Politics and Governance

දූෂණයට එරෙහිව උද්ඝෝෂණය කරන්නන්ට අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය යුක්ති සහගත කළ හැකි ද?

IMG_0817

කුප‍්‍රකට ද්වේෂ සහගත උද්ඝෝෂකයෝ පිරිසක් රාජ්‍ය මාධ්‍යය තුළ දෝෂාභියෝගයට මහත් ප‍්‍රසිද්ධියක් ලබා දුන්හ. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය දූෂණයට එරෙහි සටනේ දී ගත් නිවැරදි පියවරක් බවත්, එවැනි දෝෂාභියෝගයක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට ආඩම්බර විය හැකි බවත් ඔවුහු පැවසූහ. අපි මෙම කුරුස යුද්ධ මාලාව ගැන කිසි සේත් පුදුමයට පත් නොවෙමු. ඒවා සිදු වූයේ අප රට ඉතිහාසයේ තීරණාත්මක කාලයක ය. විශේෂයෙන් ම, සිය කළු සල්ලි සහ මානව සම්පත් යොදා ගැනීමට ආණ්ඩුව කළ හැකි හැම දෙය ම කරන කාලයක ය.

විනිසුරුවරයෙකුට එරෙහි කවර චෝදනාවක් පිළිබඳව වුව පරීක්ෂණ පැවැත්විය යුතු ය යන කරුණට සිහි නුවණ ඇති කිසි ම පුද්ගලයෙකු එකඟ නොවනු නැති බව පළමුව කිව යුතු ය. එහෙත් එවැනි චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්විය යුත්තේ අපක්ෂපාතී සහ ස්වාධීන මණ්ඩලයක් විසින් සහ නීතියේ පාලනයේ රාමුව තුළ ය. අගවිනිසුරුවරිය පිළිබඳ වත්මන් දෝෂාභියෝගයට විරුද්ධත්වය පළ කරන නීතිඥයන් සහ අනෙක් අය කියා සිටින්නේ, මුළු මහත් දෝෂාභියෝග ක‍්‍රියාවලිය ම දේශපාලනිකව මෙහෙයවෙන්නක් බව සහ ස්වභාවික යුක්තියේ හෝ නීතියේ පාලනයේ මූලික මූලධර්ම අනුගමනය නොකරමින් සිදු කර ඇත්තක් බව ය.

දෙවනුව කිව යුත්තේ, ආණ්ඩුවේ සාමාජිකයන් හත් දෙනා දෝෂාභියෝග පරීක්ෂණය මෙහෙයවූ ආකාරය පිළිබඳව සාක්ෂි ඇති බව ය. එමෙන් ම, පරීක්ෂණය රැවටිල්ලක් ය, අගවිනිසුරුවරියට තමන් වෙනුවෙන් කරුණු කීමට කිසිදු සැලකිය යුතු අවස්ථාවක් ලබා නොදුන්නේ ය යන කරුණට සිහි නුවණ ඇති කිසි ම පුද්ගලයෙකු එකඟ නොවනු නැති බව ය. ඇයට අවමන් කරන ලද අතර, පරීක්ෂණය සඳහා කිසිදු විවෘත ක‍්‍රියා පටිපාටියක් යොදා නොගන්නා ලදි. අංක 78ඒ දරණ සැක කටයුතු ස්ථාවර නියෝගයේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ කරුණ අපි මොහොතකට අමතක කරමු. ආණ්ඩුව සහ එහි ප‍්‍රචාරක මෙවලම්, එනම් මුද්‍රිත සහ විද්‍යුත් රාජ්‍ය මාධ්‍යය, පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දීත් අගවිනිසුරුවරියට සහ නීතිඥයන්ට එරෙහිව පුළුල් ද්වේෂ සහගත උද්ඝෝෂණයක් ගෙන ගියේ ය. පරීක්ෂණයෙන් ඉවත් වීමට අගවිනිසුරුවරියට සිදු විය. විපක්ෂ සාමාජිකයන් හතර දෙනාට ද ඉන් ඉවත් වීමට සිදු විය. අවසානයේ, තනි දිනක් තුළ පැවැත්වූ පරීක්ෂණයක දී, අගවිනිසුරුවරිය ඇතැම් චෝදනාවන්ට වැරදිකරු බව ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හත් දෙනා තීන්දු කළේ ය! අනෙක් සාමාජිකයන් හතර දෙනාට අඩු ගණනේ කෙටුම්පත් වාර්තාව වත් සලකා බැලීම සඳහා ලබා නොදුන් බව අපි දැන් දනිමු. ඒ වෙනුවට සිදු වූයේ, සාමාජිකයන් හත් දෙනාගෙන් දෙදෙනෙකු රාජ්‍ය මාධ්‍යය තුළ අගවිනිසුරුවරියට එරෙහිව විවෘත නිර්ලජ්ජිත ප‍්‍රහාරයක යෙදී ගැනීම යි.

සියලූ ජාතික සහ ජාත්‍යන්තර මූලික නියමයන්ගෙන් කියැවෙන්නේ, ඕනෑ ම පරීක්ෂණයක දී, එනම් දූෂණ චෝදනා පිළිබඳ පරීක්ෂණයක දී වුව, නීතියේ පාලනය පිළිබඳ මූලික මූලධර්ම අනුගමනය කළ යුතු ය යන්න බව තෙවනුව කිව යුතු ය. උදාහරණයක් ලෙස, ශ‍්‍රී ලංකාව ද අනුමත කර ඇති දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය (යූඑන්සීඒසී), දූෂණ චෝදනා පිළිබඳ පරීක්ෂණවල දී සහ නඩු විභාගවල දී නීතියේ මූලික නියමයන් අනුගමනය කළ යුතු බව පිළිගනී. එම ප‍්‍රඥප්තිය හඳුන්වා දී තිබෙන්නේ නීතියේ පාලනය පිළිබඳ සංකල්පය හිළව් කිරීමට නොවන බැවින්, කිසි යම් පුද්ගලයෙකු දූෂණය සම්බන්ධයෙන් වැරදිකරු වුණු විට ඔහු එල්ලා මැරීමේ හෝ ඔහුගේ දෑත් කපා දැමීමේ හැකියාවක් නැත. මක් නිසා ද? මානව හිමිකම් ව්‍යාපාරය මෙන් ම දූෂණයට එරෙහි ව්‍යාපාරය ද පවත්නේ නීතියේ පාලනය ප‍්‍රවර්ධනය කිරීමට මිස නීතියේ පාලනය වැළලීමට නොවන බැවිනි. දූෂණයට එරෙහි ව්‍යාපාරයෙන් අපේක්ෂා කෙරෙන්නේ, කැළෑ නීතියට නො ව නීතියේ පාලනයට ගරු කරන සුරක්ෂිත සමාජයක් ඇති කිරීම යි. දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය, නඩු විභාග හෝ පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ සම්මුතියක් නො ව, දූෂණය සහ තවත් බොහෝ දෑ වැළැක්වීම සඳහා පවතින පුළුල් රාමුවකි. දූෂණයට එරෙහි ව්‍යාපාරය වූකලි ප‍්‍රගතිශීලී ව්‍යාපාරයකි. පෙර කී ප‍්‍රඥප්තියේ බොහෝ අංශ සම්බන්ධයෙන් වගකීම දරන්නේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (යූඑන්ඕඞීසී) යි. නීතියේ පාලනය සහ දූෂණයට එරෙහි වීම සම්බන්ධයෙන් වගකීම දරන්නේ නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් නීතියේ පාලනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒකකය යි. එහි දැක්ම ද යූඑන් ඕඞීසීයේ දැක්මෙන් කිසි සේත් වෙනස් නැත. එය මෙසේ කියා සිටී:

”අපරාධවලට, මත්ද්‍රව්‍යවලට සහ ත‍්‍රස්තවාදයට එරෙහිව විසඳුම් සෙවීම සඳහා දරන ජාත්‍යන්තර පරිශ‍්‍රමයන්හි ප‍්‍රධාන තැන හිමි වන්නේ, නීතියේ පාලනයට ගරු කිරීම සහ ඊට බැඳී සිටීම පෝෂණය කිරීමට යි. ලොව පුරා නීතියේ පාලනය ප‍්‍රවර්ධනය කිරීම සඳහා යූඑන් ඕඞීසීය කරන වැඩ කටයුතුවල ප‍්‍රධාන අංශ වන්නේ, යහපාලනය සහ දූෂණයට එරෙහි වීම, අධිකරණ ක‍්‍රියාවලි ශක්තිමත් කිරීම සහ ආරක්ෂාව සහ සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම යි.”

දූෂණයට එරෙහිව ස්වාධීන මණ්ඩලවලින් කෙරුණු පරීක්ෂණ ගැන ලොව නන් දෙසින් උදාහරණ දැක්විය හැකි ය. ඒ අතරින් වඩාත් ම සාර්ථක මණ්ඩලය හොංකොං දූෂණ විරෝධී කොමිසම වීමට පිළිවන. මෙකී කොමිසම සියල්ලන්ගේ ගෞරවයට පාත‍්‍රව ඇත්තකි. එය ඕනෑ ම සැකකරුවෙකුට සාධාරණ පරීක්ෂණයකට මුහුණ දීමේ සියලූ අවස්ථා ලබා දෙයි. ඒ අතර හොංකොං නීති පද්ධතිය සැකකරුවාට පූර්ණ සහ අපක්ෂපාතී නඩු විභාගයක් ලබා දෙන බව සහතික කරයි. සැකකරුවාගෙන් කිසිදු අයිතිවාසිකමක් උදුරා නො ගැනෙයි. මක් නිසා ද? සාමාජීය ස්ථාවරත්වයට ගරු කරන රටකට ශිෂ්ටාචාරවත් ජාතියක මූලික සාරධර්ම අමතක කළ නොහැකි බැවිනි.

අගවිනිසුරුවරිය පිළිබඳ දෝෂාභියෝගයට එරෙහි ප‍්‍රායෝගික සහ න්‍යායික තර්ක පදනම් වන්නේ එක් මූලික කරුණක් මත ය. එනම්: ඇයට සාධාරණ නඩු විභාගයක් ලබා නොදෙන ලද අතර, එනිසා නීතියේ පාලනය යටතේ හිමි මූලික රැකවරණයන් ඇයට අහිමි විය.(පැහැදිලිව ම නීති විරෝධී ආකාරයෙන් ලබා ගත්) බැංකු ගිණුමක් පිළිබඳ තොරතුරු හෝ (ඇතැම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඉදිරිපත් කළ) සනාථ නොවූ චෝදනා පිළිබඳව සඳහන් කළ පමණින් ම, පුද්ගලයෙකුගේ (මේ වතාවේ නම් අගවිනිසුරුවරියගේ) වරදකාරත්වය තහවුරු නොවන්නේ ය. වරදකාරත්වය තහවුරු වීමට නම්, නිසි මණ්ඩලයක් විසින් පිළිගත් නියමයන්ට අනුකූලව නඩු විභාගය පැවැත්විය යුතු ය. අප නිදොස් බවේ අනුමානය නොපිළිගන්නේ නම් අපට නඩු විභාගයක් අවශ්‍ය වන්නේ ද නැත. ලෝකයා මෙවැනි ව්‍යාජ නඩු විභාග දැක තිබෙන අතර, නීතියේ පාලනයට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන්නෝ එම නඩු විභාග සාධාරණ යැයි නො සලකති. එවැනි නඩු විභාගයක දී වරදකරුවන් වන අය වැරදිකරුවන් යැයි අපි නො සලකමු. අවංක භාවයෙන් තොර හෙයින් අප එවැන්නක් සලකන්නේ අධිකරණ පද්ධතියට ම එරෙහි නඩු විභාගයක් ලෙසිනි. පෞද්ගලික පක්ෂපාතීකම් පළමුව පැතිර ගියේ පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ ඇතැම් සාමාජිකයන් අතර නමුත්, ඒවා අනෙක් සාමාජිකයන් අතරට ද පැතිර ගොස් ඇති බව දැන් අපි දකිමු. මෙය වූකලි අප පෞද්ගලිකවත් ජාතියක් වශයෙනුත් ශිෂ්ඨාචාරවත් ද යන්න පෙන්නුම් කරන ආදර්ශ නඩු විභාගයකි.

ව්‍යාජ ප‍්‍රචාරණය ජාතික ප‍්‍රතිපත්තියක් වී තිබෙන කාලයක, සැබෑ මිනිසුන්ගේ යුතුකම වන්නේ ප‍්‍රචාරණ යන්ත‍්‍රණයේ කොටස්කරුවෙකු නො වී ඊට එරෙහිව නැගී සිටීම යි. කනග් ඊස්වරන් මහතා උසාවියේ දී පෙර දෝෂාභියෝග නඩු පිළිබඳ සිය ප‍්‍රකාශය අරඹමින් සඳහන් කළ පරිදි, ”අප සිටින්නේ අප රටේ තීරණාත්මක කාලාවධියක. ම්ලේච්ඡුයෝ අධිකරණ දෙවොලේ වාහල්කඩ ළඟට ම ඇවිත්. ඔබ ඔවුන්ට ඇතුළු වීමට ඉඩ දුන්නොත්, ඔවුන් අප සතු සියලූ පූජනීය දෑ වනසා දමා අධිකරණ අල්තාරයෙහි ව්‍යාජ අනාගත වක්තෘවරුන් පිහිටුවනු ඇති.” දැන් තෝරා ගත් තවත් කිහිප දෙනෙකු ද එක්ව සිටින ආණ්ඩුවේ ප‍්‍රචාරක ව්‍යාපාරය ජාතියට කියා පාන්නේ, ව්‍යාජ අනාගත වක්තෘවරුන් දැනට මත් නිලතලවල පිහිටුවා ඇති බව යි.

ම්ලේච්ඡයෝ ඔබගේ දොරකඩට ම පැමිණ සිටිති!

JC Weliamunaජේ.සී. වැළිඅමුණ[J C Weliamuna]