සිංහල, Batticaloa, Human Security, Life quips, Stories from the silent

නීතිවිරෝධී ලෙස මෙරටින් පැනයාමට තැත්කල තරුණයන් තිදෙනෙකුට වෙඩි: දෙදෙනෙක් මරුට..

මඩකලපුව, පාසිකුඩා සිට බෝට්ටුවක් මගින් ඕස්ට්‍රේලියාවට පළා යාමට උත්සහ කළ ද්‍රවිඩ ජාතික තරුණයින් තිදෙනෙකුගෙන්(3) දෙදෙනකු(2) පසුගිය සතියෙ ජීවිතක්ෂයට පත් ව ඇති අතර අනෙක් තරුණයා කිඹුලෙකුගේ පහරකෑමට ලක්ව මඩකලපුව මහරෝහලේ ප්‍රතිකාර ලබයි.

මඩකලපුව, කිරාන් හී ‛ඊස්ටන් බ්‍රිජ් වීව්’ පොල්වත්තට දෙසැම්බර් 4වන දින රාත්‍රී 8.30ට පමණ විදුලි පහන් නිවා ට්‍රුක්ටරයක මෙම තරුණයන් තිදෙනා පැමිණ ඇති අතර එම වත්තේ මුරකරුට පවසා ඇත්තේ තමන් සරසවි සිසුන් බවත්, රාත්‍රී ආහාර ගැනීමට පැමිණි බවත්ය. ඊට මද වේලාවකින් වේඩ් ශබ්දයක් තමන්ට ඇසුනු බව එම වත්තේ මුරකරු වැඩිදුරටත් පවසයි.

නීති විරෝධී සංක්‍රමණිකයන් පිළිබඳ යුද හමුදාවට ලැබුණු තොරතුරක් මත එම අවස්ථාවේදී වත්තට හමුදාව පැමිණ ඇති අතර හමුදාව දුටු තරුණයන් පැන යන්නට උත්සහ කිරීමේදී හමුදාව විසින් එම තරුණයින් තිදෙනාට වෙඩි තබා ඇත. මෙම වෙඩි තැබීමෙන් එක් තරුණයෙකු මිය ගොස් ඇති අතර, වෙඩි වැදීමෙන් කලපුවට වැටුනු අනෙක් තරුණයා කිඹුලන්ට ගොදුරු වී ඇත. ඔහුගේ දෑත් නැති මළ සිරුර කලපුවේ තිබී සොයාගත් බව එම ආරංචි මාර්ග පවසයි.

දැනට පොළිසිය බාරයේ ඇති එම තරුණයන් ගමන් කල ට්‍රුක්ටරයේ මාසයකට පමණ සෑහෙන ඇදුම් සහ ආහාර තිබු බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මීට පෙර ද මෙසේ නීති විරෝධි ලෙස මෙරටින් පැනයාමට තැත් කල අවස්ථා ගණනාවක්ම මාධ්‍ය වාර්තා කලේය.

පසුගියදා දා 25 දෙනෙකු රැගත් බෝට්ටුවක් දින 4ක් ජාත්‍යන්තර මුහුදු සීමාවේ අතරමංව සිටියදී කතරගම අසල මුහුදේදී අත් අඩංගුවට පත්විය. මොවුන් අත්අඩංගුවට පත්වන විට නාවික සැතපුම් 750ක ආසන්න ප්‍රමාණයක් ගමන් කර ඇත. එහි ගමන කල අයෙක පැවසූයේ තමන් මේ ගමන සදහා රුපියල් ලක්ෂ 4ක මුදලක් ගෙව් බවයි.

විශේෂයෙන් මේවනවිට කලවංචිකුඩි ප්‍රදේශයේ පදිංචි කරුවන් 32 දෙනෙක් පමණ නිතිවිරෝධි සංක්‍රමණ චෝදනා යටතේ බන්ධනාගාර ගතකර ඇති බවත් විශේෂයෙන් නැගෙනහිර දමිළ තරුණයන් විශාල ප්‍රමාණයක් මෙම අවධානම් තත්වයද නොසලකා මුහුදු මාර්ගයෙන් මෙරටින් පැනයාමට දරණ උත්සහයන් වර්ධනය වී ඇතැයි එම වාර්තා වැඩි දුරටත් පවසයි.