සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට වසර 8ක් ගත වේ. නමුත් මේ වසර අටක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ.

ලංකාවේ දේශපාලන ඉරණම කෙසේ වී ද යත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර 8ක් ගතවන විට අභිනවයෙන් පත් වූ ‘යහපාලන‘ ආණ්ඩුව පත්කර වසැ 2කක් සැමරීම ද අද දවසේ ම සිදු කරයි.

කෙසේ නමුත් ‘යහපාලන‘ ආණ්ඩුව පත් වී මාස කිහිපයකට පසු ලසන්ත ඝාතනය පිළිබද පරීක්ෂණ නැවත ආරම්භ කෙරිණි. එම විමර්ශණ අනුව, ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ නිලධාරියා ඇප මත නිදහස් කර යැවුණේය. එසේම ඉන් පසුව ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර, පසුව මරා දැමීම පිළිබඳ වූ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රදවා සිටි ගත් හමුදා සෙබළුන් 13 දෙනාමාස 6ක් ඇතුලත් කොටස් වශයෙන් නිදහස් කර යැවුවේය. ඒ අතර රණවිරුවන් තමන්ගේ අනුදැනුමකින් තොරව අත්අඩංගුවට ගන්නා බව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ගෝරනාඩු කළේය. ඇසින් දුටු සාක්ෂි චිත්‍රපටයක මෙන් දිගහැරි රවිරාජ් ඝාතනයට සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා නිළධාරීන්ද නිදහස් කර යැවුනේ එවන් පසුබිමකයි. ‘දැන් ඉතින් ඔක්කෝටම ඇප, නිදහස ලැබෙයි‘ ජනාධිපතිගේ කතාවෙන් පසු ඇතැම් විචාරකයන් කීවේ ය. කී ලෙසම සිදුවිය.


සැකකරුට කොහොමද ඇප ලැබුනේ?

යහපාලන ආණ්ඩුව බලයට පත්වී ලසන්ත ඝාතනය පිළිබද පරීක්ෂණය කඩිනම කළ බවක් පෙනී ගියේ ය. එසේම එතෙක් ලසන්ත ඝාතනය පිළිපද පරීක්ෂණ සිදු කල ත්‍රස්ථ විමර්ශණය ඒකකය වෙනුවට එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව වෙත පැවරීමට පැමිණිලි පාර්ශවයට හැකියාව ලැබිණි. ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණ ඉත්මත් සැලකිලිමත් ලෙස පවත්වාගෙන ගියා‘ ලසන්තගේ යුක්තිය වෙනුවෙන් අධිකරණ කටයුතු සිදුකරන නීතිඥ අතුල එස්. රණගල මහතා අද(08) පැවසීය.

‘ඒ පරීක්ෂණ අනුව තමයි බුද්ධි අංශ නිළධාරියෙක් අත්අඩංගුවට ගත්තේ. නමුත් ලෝකය බලා සිටියදී, එම සැකකාර බුද්ධි අංශ නිළධාරියාට ඇප ලබා දුන්නා. කොහොමද එහෙම වෙන්නේ, මේ පරීක්ෂණ නැවත වරක් අඩාල උනාද කියන සැකය අපිට තියනවා. ඒ විතරක් නෙවෙයි, ලසන්ත ගේ දේහය නැවත ගොඩ අරගෙන ඒ පිළිබදව වන විමර්ශණ වාර්තාවද තවමත් අධිකරණයට ලැබී නැහැ‘‘ නීතිඥ රණගල මහතා පවසයි.

බලන්න වීඩියෝව


ලසන්ත සිහි කිරීම

අද(08) ලසන්ත වික්‍රමතුංගගේ දේහය මිහිදන් කර ඇති බොරැල්ල සුසාන භූමියට ලසන්තගේ ඥාතීන්, හිතමිතුරුන්, මාධ්‍ය මිතුරන් සහ ‘යහපාලන‘ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙන්ම කතානායකවරයා ද එක්ව සිටියේ ලසන්ත ව සිහි කරනු පිණිසය. නමුත් සිහිකිරීම මෙන්ම ලසන්තගේ ඝාතකයන් සෙවීම සහ ලසන්තට යුක්තිය ඉෂ්ඨ කිරීම වෙනුවෙන් එතැනට කී දෙනෙක්(විශේෂයෙන් දේශපාලකයින්) පැමිණ සිටියේ දැයි දන්නේ ඔවුනොවුන් පමණි.


ඝාතකයන්?

කොළඹ අධිආරක්ෂක කලාපයක දී මහදවල් ලසන්ත වික්‍රමතුංග මහතාට නාදුනන ඝාතකයෙක් වෙඩි තබා පලා ගියේ එවකට තිබූ හමුදා මුරකපොලු කිහිපයක් පසු කර ගෙන බව කවුරුත් දන්නා සත්‍යයකි. නමුත් එවකට එම මුරකපොලුවලින් එසේ බේරී පළා යාමට හැක්කේ කාටද යන්න? අදද කවුරැත් දන්නා රහසක් ව පවතී. කෙසේ නමුත් වෙඩි වැදීමෙන් පසුව කලුබෝවිල රෝහලට ඇතුලගත් කල ලසන්ත වික්‍රමතුංග මහතා සදහටම මෙලොවින් සමු ගත්තේය. [මේ එහි වීඩියෝ දර්ශණයි Sunday Leader Editor in Chief Lasantha Wickremetunge murdere. ඒ 2009 ජනවාරි 8 වනදාය.

ලංකාවේ ප්‍රධාන ධාරාවේ පුවත් පතක කතුවරයෙකු මහ දවල් අධිආරක්ෂක කලාපයක ඝාතනය කර ඝාතකයින්ට රිසි සේ පළා යා හැකිද යන්න විමසීමත් සමග ඝාතනය කරන ලද සිවරාම්, නිමලරාජන් මෙන්ම අතුරුදහන් කරන ලද ප්‍රගීත් වැනි මාධ්‍යවේදීන් ද , පෝද්දල වැනි බරපතල ප්‍රහාරයන්ට ලක් වූ සියලු මාධ්‍යවේදීන්ට මෙම තත්ත්වය අත්කර දුන් ඝාතකයින් සහ ප්‍රහාරකයින් මෙන්ම එයට අනුබල දුන් මර්දකයින්, වහාම රටට හෙළි කරන ලෙස, බළධාරීන්ට බල කල යුතුව ඇති සේම, ඒ වෙනුවෙන් සියලු පුරවැසියන් පෙළගැසිය යුතු කාලය කල් දැමීම යනු වරද කර දඩුවම් නොළබා සිටීමේ ඓතිහාසික පුරුද්දට තවදුරටත් සහය දීමක් බව අපගේ හැගීමයි.

එසේම ‘යහපාලන‘ ආණ්ඩුව, ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් මෙන්ම යහපාලන ගුණාංග පිළිබදව විශ්වාස තබා කටයුතු කරන්නේ නම් අදාල පරීක්ෂණ ස්වාධීනව කර ගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කරනවා විනා ඒවාට අකුල් හෙළන ක්‍රියාවලීන් සිදු කරන්නේ නම් බහුත්වවාදී ලංකාවක් පිළිබද කල්පනා කරන ජනතාව ‘යහපාලනය‘ ගැනද තීන්දුවක් ගන්නා දවස වැඩි ඈතක නොවනු ඇත.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon