දේශපාලන දේහය තුළට කාවැදුණු දූෂණයට, නිදහසින් පසු කාලයෙන් විශාල කොටසක් බිළි වී ඇත. තවමත් එය එසේම පවතී. මිරිස් මල්ලක් හෝ හාල් මල්ලක් නැත්නම් වෙනත් සිල්ලර ගතමනාවක් ගත් වරදට දඬුවම් ලැබූ ඇතැම් ඇමතිවරුන් සිටි පශ්චාත්-නිදහස් ප‍්‍රථම වසර 12 අභිබවා, ගත වූ දශක කිහිපය තුළ බලයට පත් සෑම ආණ්ඩුවකම දේශපාලඥයන්ගේ බිලියන ගණන්වලින් මැණෙන දූෂණය, වංචාව සහ මගඩි ඉහවහා ගොස් තිබේ.

යටත්විජිතවාදීන්ගෙන් අප ලබා ගත් නිදහසේ 69 වැනි සංවත්සරය, 2017 පෙබරවාරි 4 වැනි දා අපි සැමරුවෙමු. වසර 443 ක විදේශ ආධිපත්‍යයෙන් පසු, නිදහස්, ස්වාධීන සහ ස්වෛරී සමාජයක් කරා වන ප‍්‍රවර්ධන මාවතක අප පිය නගන බවට ලකුණු තවම පෙනෙන්ට නැත. තෙවරක් බුදුන් වැඩිය මේ දීප්තිමත් දීපය, අපේ ප‍්‍රථම රජතුමා වු විජයගෙන් පසු, සියවස් විසිපහක ලිඛිත ඉතිහාසයකට සහ ප්‍රෞඪ සම්ප‍්‍රදායකට හිමිකම් කියයි. නිදහස් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය ඞී. ඇස්. සේනානායක, යටත්විජිත යදමින් නිදහස් වීම සනිටුහන් කරමින්, පුරාතන ශිෂ්ඨාචාරයක සංකේතයක් වූ සිංහ කොඩිය එසැවූයේය. නිදහස සඳහා වන නායකත්වය තුළ සිටි ඞී. ඇස්. සේනානායක, එෆ්. ආර්. සේනානායක, ශ‍්‍රීමත් ඞී. බී. ජයතිලක, ශ‍්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්, ශ‍්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් සහ ඞී. ආර්, විජේවර්ධන වැන්නෝ, තවත් බොහෝ දෙනා සමග එක්ව, පෙරදක්නා නුවණින් යුතුව, නිදහස අත්පත් කර ගැනීම සඳහා සාර්ථකව කටයුතු කළහ.

මිරිස් මල්ලක සිට රුපියල් බිලියන ගණන් දක්වා: ගත වූ දශක හය තුළ මස්තකප‍්‍රාප්තිය

විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි, ඉන්දියාවේ කොන්ග‍්‍රස් පක්ෂයත් බහුජන පක්ෂයත් එක්ව, පෙර නොවු විරූ ආකාරයෙන්, ඔවුනොවුන්ගේ ‘ගරානා’ වැඩ සහ පෞද්ගලික ‘ව්‍යාපාර’ ආරක්ෂා කර දීම සඳහා වන දීර්ඝ වූත්, සූක්ෂම වූත් ආකාරයෙන් කටයුතු කරයි. අපේ මාධ්‍ය නිතර කෑකෝගසමින් වාර්තා කරන දේශපාලඥයන්ගේ ‘ඞීල්’ වැඩ වනාහී, අපේ පාලකයන් සහ විපක්ෂයේ බලවතුන් විසින් ඉහත කී ඉන්දීය ආදර්ශය අනුකරණය කරනු ලැබීමක්වත්ද? කෙසේ වෙතත්, අල්ලස සහ දූෂණය අපේ රටේ නිත්‍ය සළකුණ බවට දැන් පත්ව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මුල් කාලීන පතාකයන් වන යූ. බී. වන්නිනායක, එම්. ඞී. බණ්ඩා සහ ෆොරෙස්ටර් ඔබේසේකර වැනි උසස් මිනිසුන් පිළිබඳ ගෞරවයකින් යුත් මතකයක් අද ඇත්තේ ස්වල්ප දෙනෙකුට පමණක් විය හැකිය. එදා මුදල් ඇමති වන්නිනායක, තමාගේ පුතා පෙනී සිටීමට නියමිතව සිටි මහ බැංකුවේ රැකියා සම්මුඛ සාකච්ඡාවක් සඳහා අවශ්‍ය කළ චරිත සහතිකයක් දීම ප‍්‍රතික්ෂේප කෙළේය. මුළු ගමටම විදුලිය සපයන්නේ නම් මිස, තමාගේ මහ ගෙදරට පමණක් විදුලිය ගැනීම සඳහා රාජ්‍ය මුදල් පාවිච්චි කිරීම එම්. ඞී. බණ්ඩා ප‍්‍රතික්ෂේප කෙළේය. ඔහු මැරෙන තෙක්ම පාවිච්චි කෙළේ ඔහුගේ පරණ කසිකබල් වාහනය පමණි. තමාගේ සමීපතම සගයෙකුගේ පුතෙකට චරිත සහතිකයක් දීම වරක් ඔබේසේකර ප‍්‍රතික්ෂේප කෙළේය. ඔහුගේ තර්කය වුණේ තමා නොදන්නා කෙනෙකුගේ චරිතයක් ගැන සහතික වීමට තමාට නුපුලූවන් බව ය.

දූෂිත මන්ත‍්‍රීවරුන්ට එරෙහිව ගත් වාර්තාගත මුල් කාලීන ක‍්‍රියාමාර්ග

ආණ්ඩුකාර ශ‍්‍රීමත් ඇන්ඩෘ කැල්ඞ්කොට්, එදා රාජ්‍ය සභා මන්ත‍්‍රීවරුන්ගේ අල්ලස් ගැනීම් ගැන සොයා බැලීමට කොමිසමක් පත්කෙළේය. බි‍්‍රතාන්‍ය ප‍්‍රීවි කවුන්සිලයේද සාමාජිකයෙකු වූ නීතිඥ එල්. එම්. ඞී. සිල්වාගේ ඒක-පුද්ගල කොමිසමක් වූ ඒ මගින් රාජ්‍ය මන්ත‍්‍රීවරුන් අට දෙනෙකු දූෂිතයන් බව වාර්තා කරන ලදි. ඒ අතරින් තුන් දෙනෙකු ආණ්ඩුකාරවරයා විසින්ම පත්කරන ලද මන්ත‍්‍රීවරුන් වූ අතර, අනිත් හතර දෙනා වුණේ, ඡුන්දයෙන් තේරී පත්වූ ඊ. ඩබ්. අබේගුණසේකර (නුවරඑළිය), ඒ. එච්. ගුණසේකර (බලංගොඩ), ඞී. ඞී. ගුණසේකර (බණ්ඩාරවෙල), යූ. බටුවන්තුඩාව (කළුතර) සහ ඊ. ආර්. තම්බිමුත්තු (ත‍්‍රිකුණාමලය/මඩකලපුව) ය. මුලින් කී හත් දෙනාම වහා ඉල්ලා අස්වූහ. එදා ඉල්ලා අස් නොවූ තම්බිමුත්තුව, රාජ්‍ය මන්ත‍්‍රණ සභානායක වූ ඞී. ඇස්. සේනානායක විසින් ගෙනෙන ලද යෝජනාවක් ප‍්‍රකාරව රාජ්‍ය මන්ත‍්‍රණ සභාවෙන් ඉවත් කරන ලදි.

තමාගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන්ද ඇතුළු ඇතැම් සාමාජිකයන්ට අදාළ අල්ලස් සහ දූෂණ චෝදනා ගැන විභාග කර බැලීම සඳහා අගමැති එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක, ඝාතනය වීමට දින කිහිපයකට පෙරාතුව, 1959 සැප්තැම්බර් 11 වැනි දා ‘තල්ගොඩපිටිය කොමිසම’ පත් කිරීම සඳහා ජී. ජී. පොන්නම්බලම්ට උපදෙස් දුන්නේය. මේ වාර්තාව 1960 දෙසැම්බර් 16 වැනි දා පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණි. එම වාර්තාව මගින්, එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායකගේ සමීපතම සගයන් දෙදෙනෙකු වූ ඞී. බී. මොන්නෑකුලම සහ සී.ඒ.එස්. මරික්කාර් ඇතුළු එච්. අබේවික‍්‍රම, එම්. පී. ද සොයිසා, එම්. එස්. කාරියප්පර් සහ ආර්. ඊ. ජයතිලක යන මන්ත‍්‍රීවරුන් වැරදිකරුවන් කොට තිබුණි. එහෙත් ඒ වන විට අග‍්‍රාමාත්‍ය ධුරයට පත්ව සිටි සිරිමා බණ්ඩාරනාක ඔවුන් පිළිබඳ ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කළාය. කෙසේ වෙතත්, 1965 බලයට පත් ඩඞ්ලි සේනානායකගේ ආණ්ඩුව මේ අයට දඬුවම් කෙළේය. කාරියප්පර්ට මන්ත‍්‍රී ධුරය අහිමි වු අතර අනිත් හය දෙනාටම අවුරුදු හයකට ප‍්‍රජා අයිතියත් අහිමි විය. තමන් කළ රාජකාරියක් වෙනුවෙන් පුංචි සන්තොසමක් තමන් ගත් බව පසුව මොන්නෑකුලම තමන්ගේ ඡුන්දදායකයන්ට කියා සිටියේය.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ කාලයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු වු අනුර ඩැනියෙල් රත්තරන් පොලූ වගයක් ගෙනෙන අවස්ථාවේ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්ව පසුව ආසනය අහිමි කරගත්තේය. හිස් වූ ආසනයට තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඔහුගේ සහෝදරියට නාම යෝජනා දුන් අතර ඇගේ ප‍්‍රධාන මැතිවරණ ව්‍යාපාර ප‍්‍රධානියා වුණේ අනුර ඩැනියෙල් ය. එම මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා පරදවා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ඩැනියෙල්ගේ සහෝදරිය ජයගත්තාය. සමහර අවස්ථාවල අපේ ඡන්දදායකයෝද අමුතු විදිහට හැසිරෙති.

1940 ගණන්වලදී අල්ලස සහ දූෂණය මුලිනුපුටා දැමීම සඳහා, එතෙක් පැවති අල්ලස් දෙපාර්තමේන්තුව කොමිසමක් බවට පරිවර්තනය කෙරුණි. 1970-77 කාලයේ සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩු කාලය තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් රුපියල් 500 ක් වැනි ඉතා සුළු මුදල් පවා අල්ලස් වශයෙන් ලබාගන්නා බවටත්, බොහෝ ගුරු පත්වීම් සඳහා වන සම්මුඛ සාකච්ඡා විටෙක ‘තානායම්වල’ පැවැත්වෙන බවත් වාර්තා විය.

ජේ. ආර්. ජයවර්ධනගේ කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් බොහොමයකට බරපතල දූෂණ චෝදනා එල්ල වුණි. ජේ.ආර්. ද, රාජපක්ෂ මෙනි. ඔහු දූෂණයට එරෙහි වුණේ නැත. මේ නායකයන් දෙන්නාම, තමන්ගේ සහචරයන්ගේ දූෂිත ක‍්‍රියා කලාපයන් හරහා සම්පත් සොයා ගත් අතර, ඔවුන්ගේ එකම අවවාදය වුණේ, ‘බෝට්ටුව පෙරලා නොගන්නා’ ලෙස පමණි. 1989 දී තම ආණ්ඩුවේ ප‍්‍රබලයන් තමන්ට විරුද්ධව කුමන්ත‍්‍රණය කරන බව ජනාධිපති පේ‍්‍රමදාසට දැනුණි. ඒ අයවළුන්ගේ දූෂිත ක‍්‍රියා සොයා බැලීම සඳහා පේ‍්‍රමදාස, හිටපු පොලිස් කොමසාරිස් ඒ. සී. ලෝරන්ස් යොදාගත්තේය. 1992 දී පේ‍්‍රමදාසට එරෙහිව දෝෂාභියෝග යෝජනාව ගෙන එන අවස්ථාවේ ඔහුට විරුද්ධව ඉතා බරපතල දූෂිත ක‍්‍රියා පිළිබඳ චෝදනා ඇති බව එම යෝජනාව පෙන්වා දුනි. ඒ අතර, දෝෂාභියෝගය ගෙනා ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායකට එරෙහිව ඇති දූෂණ චෝදනා පේ‍්‍රමදාස පාක්ෂිකයන් විසින් ඉදිරිපත් කරන ලදි. ඒ අතර, ඕස්ටේ‍්‍රලියාවේ ඇපල් වතු, ස්විස් බැංකු ගිණුම්, එයාර් බස් මිළදී ගැනීම්, ආර්ජන්ටීනියානු නැව් සහ මහවැලි ගසාකෑම් පිළිබඳ චෝදනාද අඩංගු විය. කෙසේ වෙතත්, අවසාන මොහොතේදී කථානායක එම්. එච්. මොහොමඞ් අනිත් පැත්ත ගැසූ නිසා දෝෂාභියෝගය සාර්ථක නොවීය. (ඒ සඳහා ඉතා ප‍්‍රබල ව්‍යාපාරිකයෙකුගෙන් එම්.එච්. මොහොමඞ් විශාල සන්තෝසමක් ලබා ගත් බව කියැවුණි). එසේම ලලිත් සහ ගාමිණීට එරෙහිව නැගුණු චෝදනා ගැන කිසිවක් කෙරුණේද නැත.

1989-93 අතර පේ‍්‍රමදාස පාලන කාලයේ කිසිම ඇපයකින් තොරව පක්ෂයේ හෙංචයියන්ට මිලියන ගණන් ණය ලබා දීමට රාජ්‍ය බැංකුවලට නියෝග කෙරුණි. මේ තත්වය තුළ, චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සටන් පාඨය වුණේ, දූෂණයට සහ භීෂණයට එරෙහි වීමයි. ඇය තුළින් ජනතාව දැක්කේ අලූත්ම මුහුණකි. දූෂිතයන්ව ගාලූ මුවදොර පිටියට ගෙනැවිත් එල්ලන බව ඈ කීවාය. ඇගේ රාජ්‍ය වාරය අවසන් වන විට, ඇගේ ‘ඞීල්’ ගැන ජනතාව කතා කළ අතර, ඇය විශ‍්‍රාම යාමෙන් පසු ඒ සඳහා අධිකරණ නියෝග යටතේ වන්දි ගෙවීමටද ඈට සිදු විය.

ජනතාවට හැම විටම අවශ්‍ය කෙළේ ‘වෙනසකි’

පැහැදිළිවම මිනිසුන්ට අවශ්‍ය කෙළේ වෙනසකි. අල්ලස් සහ දූෂණ කොමිසම, 1960 සිට එකම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු හෝ කිසි ආණ්ඩුවක ඇමතිවරයෙකු හෝ අධිකරණයක් ඉදිරියට පමුණුවා නැත.

දේශපාලඥයන්ට එරෙහිව ගෙන ඇති එකම සහ අවසානම පියවර අපට හමුවන්නේ නිදහසින් පසු ගත වූ පළමු වසර 12 කාලය තුළ පමණි. සමහර විට මන්ත‍්‍රීවරුන්ට එරෙහි චෝදනා විභාග කර බැලීමට තරම් උනන්දුවක් අල්ලස් සහ දූෂණ කොමිසමට නොතිබුණා විය හැකිය. බලයේ සිටින අයවළුන්ට එරෙහිව දූෂණ චෝදනා ඉදිරිපත් කරන්නන්, ඒ හා සමානම හෝ ඊටත් වඩා දූෂිතයන් වශයෙන් ඊට කලින් බලයේ සිටි අයවළුන් ය. අද ප‍්‍රධාන පක්ෂ දෙකේම විශාල ප‍්‍රතිශතයක්, අරටු බැස්ස දූෂිතයන්ගෙන් සමන්විතයි. පසුගිය දශක කිහිපය තිස්සේ රට පාලනය කළ දේශපාලඥයන්ගේ, ඔවුන්ගේ හෙංචයියන්ගේ සහ ඇම්බැට්ටයන්ගේ සොරකම් සහ කොල්ලකෑම් නිසා ආණ්ඩුව බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණදී සිටී.

අල්ලස් සහ දූෂණ කොමිසමකට හෝ විශේෂ ජනාධිපති කොමිසමකට මේ ප‍්‍රශ්නයට පිළිතුරු සැපයිය නොහේ. ජනතාව, පක්ෂ භේදයකින් තොරව මෙවැනි දේශපාලඥයන්ට එරෙහි විය යුතුය. වෙනත් නායකයන්ට වෙනස්ව, බණ්ඩාරනායක මේ දූෂණය නතර කළ යුතු බව සිතා තලගොඩපිටිය කොමිසම පත්කෙළේය. 1943 සිට 1959 දක්වා සොයා බැලීමට ඔහුට අවශ්‍ය කෙළේය. දේශපාලඥයන් ගැනත්, ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ගැනත්, නිර්නාමික ලිපි රාශියක් එම කොමිසමට ලැබුණි. එහිදී වමේ කිසි නායකයෙකුට එරෙහි පෙත්සමක් ඉදිරිපත් වුණේ නැති බව කිව යුතුය. එම කොමිෂන් වාර්තාවේ සඳහන් පරිදි, බොහෝ දෙනා තොරතුරු දීම සඳහා ඉදිරිපත් වීමට මැලිකමක් දැක්වූහ. ඊට හේතුව, එක පැත්තකින් ඇති විය හැකි තර්ජන ගර්ජන ගැන බියත්, අනිත් පැත්තෙන් අල්ලස් දුන් පුද්ගලයන් ඒ බව පිළිගැනීමට දැක්වූ මැලිකමත් බව කොමිසම පෙන්වා දී තිබුණි. මේ කොමිෂන් වාර්තාවේ සඳහන් වූ පරිදි, සමහර ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන්ට එරෙහිව පැවති චෝදනාව වූයේ මිරිස් මල්ලක් ලබා ගැනීමයි. තවත් අයට, රැකියා ලබා දීම් සඳහා හාල් මල්ලක් හෝ එවැනි වෙනත් සන්තෝසම් ලබා ගැනීම් ගැන චෝදනා එල්ල වී තිබුණි. අද තත්වය ඊට වඩා මොන තරම් භයානක ද/ ගත වූ 57 වසර තුළ දේශපාලඥයන්ගේ දූෂණය පෙර නොවු විරූ ආකාරයෙන් වර්ධනය වී තිබේ. බලගතු පුද්ගලයන් ධනය සඳහා දක්වන කෑදරකම පුදුම සහගත ය. හඬක් නැති බහුතරයක් ජනතාව සාගින්නට ඇද වැටීමට පෙර මේ තත්වය නතර කළ යුතුව තිබේ. ඉතා ඉහළ තැන්වල බිලියන් ගණන් ඉක්මවන වංචා ගැන අපට අසන්ට ලැබේ. දේශපාලන බලාධිකාරය ඒ ඉදිරියේ ඇස් කන් වසාගෙන සිටී. ඊටත් වඩා, ඇතැම් විටෙක ඒවාට අනුබල දෙයි. ඒ අතර සාමාන්‍ය ජනතාව ආර්ථක බරින් මිරිකී සිටිති.

කේ. කේ. එස්. පෙරේරා

*2017 පෙබරවාරි 6 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූOf 69 Years, 57 Gobbled up by Politicians, Their Acolytes, Cronnies & Vandibattas නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි