2015 පරාජයෙන් පසු තක්බීර්ව සිටි දේශපාලන දෙපත් නයි දැන් යළි අවධිවන්නට පටන් ගෙන තිබේ. මේ දෙපත් නයින්ගේ ප්‍රධාන කුරුමානම බවට පත්ව ඇත්තේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියයි.

රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යවන්නේ ඇයිදැයි ප්‍රශ්ණ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ආණ්ඩුවට ප්‍රශ්ණ පත්‍රයක් එවා තිබේ. එමෙන්ම වෛද්‍ය වැඩවර්ජනයක් දියත්කර එදිනම පුද්ගලික රෝහලක සේවය සඳහා මුදල් ලබාගෙන අතටම හසුවූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍ය පාදෙනියද නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි ප්‍රකාශ කර තිබේ.

තර්කාණුකූලව බලන්නේ නම් මේ දෙපිරිසම මෙම මතය ප්‍රකාශ කළ යුතුව තිබුණේ 2015 ජනාධිපතිවරණ සමයෙහිදීය. මන්ද යත් නව ව්‍යවස්ථාවක් ඇති කරන බවට මෛත්‍රීපාල සිරිසේන පමණක් නොව මහින්ද රාජපක්ෂද සිය ප්‍රතිපත්ති ප්‍රකාශණයන්හි කියා තිබූ නිසාය. ජනාධිපතිවරණයෙහි එක් ප්‍රධාන මාතෘකාවක් වූයේ නවව්‍යවස්ථාවක අවශ්‍යතාවයයි. ව්‍යවස්ථාවක් එපා යැයි දේශනා කරන රාජපක්ෂ සරණ ගිය බෞද්ධ භික්ෂුන්ටද සිය දේශණා කළ යුතුව තිබුණේ එකළය.

නමුත් මේ හැමෝම එකළ කට ඇරියේ නැත. ජනාධිපතිවරණ සමයෙහි නවව්‍යවස්ථාවක් එපැ යැයි කීවේ නම් එ සියල්ලන්ට නියමිතව තිබුණේ ඉතිහාසයේ කුණූ කූඩයයි. තවද රාජපක්ෂවාදි දෙබිඩ්ටන්ට රාජපක්ෂ මැතිවරණ ප්‍රකාශණයේ මෙන්න මෙහෙම කියා තිබූ නිසාද දෙමුඛයම වසාගෙන සිටින්නට සිදුව තිබුණි.

‘‘1978දී නිසි සංවාදයකින් තොරව අප මත පැටවූ ව්‍යවස්ථාවෙන් වසර තිස්හයක් පුරා අපි බැට කෑවෙමු. එමෙන්ම එකිනෙකට නොගැළපෙන සංශෝධන පැලැස්තර මගින් පවතින ව්‍යවස්ථාව විකෘති හැඩයක් ගෙන ඇතැයි මම ද පිළිගන්නමි. ..ජනතා පැතුම් පිළිබිඹු කෙරෙන නව ව්‍යවස්ථාවක් වසරක් ඇතුළත සම්මත කිරීමට අවශ්‍ය කටයුතු කරමි. (එ සඳහා) සියළුම දේශපාලන පක්ෂවලට අයත් මහජන නියෝජිතයින්ගෙන් සමන්විත සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් වනු ඇත.

අලුත් ව්‍යවස්ථාවට පුරවැසි අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ, යොවුන් පාර්ලිමේන්තුවේ නියෝජිතයින්, ආණ්ඩුක්‍රම විශාරදයින්, විද්වතුන් හා වෘත්තීයවේදීන්ගෙන් සමන්විත පුරවැසි උපදේශක සභාවක් පත් කරමි.

ව්‍යවස්ථා කෙටුම්පත … සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට (සහ) ඔබේ අනුමැතිය සඳහා ජනමත විචාරණයකට ඉදිරිපත් කරමි.” (2015, මහින්ද චින්තනය, ලොව දිනන මඟ 17වන පිටුව)

මහින්ද රාජපක්ෂ නව ව්‍යවස්ථාවක් වසරක් තුළ ජනමත විචාරණයකටද ඉදිරිපත් කිරීමට 2015 ජනවාරියේදී පොරොන්දු වී සිටියේ ය. දැන් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි කියන මහත්වරු සහ සංඝයා එකළ සිටියේ කොහේද?

ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවළියට එරෙහිව රාජපක්ෂ කඳවුර ඉදිරියට දමා ඇති එක් විකට නළුවකු වන්නේ ජී.එල්.පීරිස් ය‍. දැන් සාකච්ජාවෙමින් ඇති ව්‍යවස්ථා කෙටුම්පත ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක සිට පෙඩරල් ක්‍රමයක් කරා ගෙන යන්නේ යැයි ඔහු අදෝනා නගයි. මේ බලන්න 1999 වසරෙහිදි කැනඩාවෙහි තිබූ සමුළුවකට ගොස් ඔහු ඉදිරිපත්කළ අදහස්.

‘‘අප දැන් කල්පනා කරමින් සිටින්නේ ඒකීය ව්‍යුහය එක්තරා මට්ටමක බල බෙදීමක් කරා වෙනස් කිරීමටයි. ඒ තමයි අර්ධ- පෙඩරල් ව්‍යුහයක සාමන්‍ය ස්වරූපය. පුළුල් විවිධත්වයන් තනි රටවල් වශයෙන් පැවැතීමට අර්ධ-පෙඩරල් මාදිලියන් ඉඩ ලබා දී තිබෙනවා. .. අපේ ව්‍යවස්ථා සැළසුම විසින් කලාපීය ආණ්ඩු වලට….” ( 1999 ඔක්තෝම්බර් මාසයේහිදී කැනඩාවෙහි පැවැති පෙඩරල් ක්‍රමය පිළිබඳ සමුළුවක් අමතා කළ කතාවෙනි.)

එදා ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක සිට අර්ධ- පෙඩරල් රාජ්‍යක් බවට පරිවර්ථනය කරන බවට ප්‍රකාශ කළ කළාපීය ආණ්ඩු ඇතිකරන බවට ප්‍රකාශ කළ ඒ ජී.එල්.පීරිස් දැන් ඒකීය ක්‍රමය ආරක්ෂා කර දිවහිමියෙන් කැපවන බව කියන්නේ කුමන මුඛයෙන්ද? හුදු දේශපාලන බලය සඳහා දෙබිඩි කතා දෙසන්නේ කවර අරමුණකින්ද? රාජපක්ෂ වළව්වේ කටු ලෙව කෑමට මිස අන් කුමක් සඳහා ද? ඔහු විකටයකු නිසාද? කපටියකු නිසාද?

ව්‍යවස්ථා සම්පාදක රාජපක්ෂවාදී විරෝධී ක්‍රියාවලියේ තවත් ආචාර්යවරයකු වන්නේ දයාන් ජයතිලකය. පසුගිය 27දා දි අයිලන්ඩ් පුවත්පතට ලියමින් ඔහු මෙසේ කියා තිබුණි.

‘‘ නව ඒකීය නොවන ව්‍යවස්ථාවෙහි මව නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. ඇය 1994හිදී මෙසේ කියා තිබුණි.
‘‘ වත්මන් පළාත් සභා ක්‍රමය වැඩකට නැත. පෙඩරල් යන වචනය අවභාවිත වී තිබේ. එබැවින් අපි ඒ වචනය මඟහැර අර්ථවත් ලෙස බලය බෙදා හරින්නෙමු. රට ඒකක පහකට බෙදා ඒවාට පුළුල් බලතල ලබා දිය හැක”
( ටැමිල් ටයිම්ස් 1994 ජූලි 15)
දැන් ජී.එල්. පීරිස් මෙන්ම දිවිහිමයෙන් ඒකීය රාජ්‍ය ව්‍යහුය රැකගැනීමට ඉදිරිපත්ව සිටින දයාන් ජයතිලක කුමාරතුංග එම ප්‍රකාශය කළ1994 සිට වසර 10කට පසු එම දි අයිලන්ඩ් පුවත්පතටම මෙසේ ලිවීය.

‘‘ ක්‍රියාත්මක කල හැකි දෙමළ උපාය මාර්ගය විය යුත්තේ ස්වාධීන, සෛවරී, එක්සත් (එය ඒකීය වීමට අවශ්‍ය නැත) ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් ශ්‍රී ලංකාවකි. මේ වනාහී ගනුදෙනුකළ නොහැකි හරයාත්මක වටිනාකම්ය. සාකච්ජා කළ හැකි කරුණූ වන්නේ රාජ්‍ය ආකාරයයි. එනම් පෙඩරල්, අර්ධ-පෙඩරල්, නිහඩව අනාගමික, බලය බෙදූ කලාපීය ස්වායත්තතාවයයි. සිංහලයන් වටහාගත යුත්තේ එක් රටක් රැකගත හැක්කේ ඒකීය යන්න අහෝසි කිරීමෙන් බවයි.” ( දි අයිලන්ඩ් 2004 ඔක්තේබර් 04)

මේ මහත්වරු සිතා සිටින්නේ මෙරට ජනයා තමන්ට කැමැති පරිදි දක්කාගෙන යාහැකි පිරිසක් ලෙසද? 2014 වසරෙහිදී ඒකීය යන්න නොහොඳ වී අද එය හොඳ වන්නේ කෙළෙසද? ජයතිලකගේ එදා තර්කය පදනම් වන්නේ යුද්දයට විසඳුමක් ලෙස නොව දෙමළ ජනයාගේ අයිතීන්ලබා දීමක් ලෙසය.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවළියට විරුද්ධ සියළු බලවේගයන්ගේ නායකයා මහින්ද රාජපක්ෂය. නමුත් දැන් ඔහුගේ සෙන්පතියන් වී සිටින සරත් වීරසේකර සහ කමල් ගුණරත්න වැනි මහත්වරු බලය බෙදීම පිළිබඳ රාජපක්ෂගේ මතවාදයට පවා විරුද්ධය. සමහර විට ඔවුන්ගේ සෑබෑ නායකයා වන ගෝඨාභය රාජපක්ෂත් බලය බෙදීමට විරුද්ධ වනවා වන්නට පුලුවන.

රාජපක්ෂ වත්මන් බලය බෙදීමේ ව්‍යුහය වන 13 වන සංසෝධනයටත් එහාට යාමට සූදානම් බව නැවත නැවත ප්‍රකාශ කර තිබේ. 2015 ජනාධිපතිවරණයේදී ද ඔහු කියා සිටියේ 13 වන සංසෝධනය කිසිසේත්ම දුර්වල නොකරන බවයි.

දැන් 2020 ජනාධිපතිවරණයට සුදානම් කැරෙමින් පවතින ගෝඨාභය රාජපක්ෂ කැරොල් කරත්තය 13වන සංසෝධනයට පවා සහමුලින්ම විරුද්ධය. සරත් වීරසේකර කියන්නේ දෙමළ ජනයාට කියා වෙනම ප්‍රශ්ණයක් නැති බැවින් එවැනි විසඳුම් අනවශ්‍ය බවයි. ඔහු සමඟ ගෝඨාභය කැරොල් කරත්තයේ අත්වැල් අල්ලන කමල් ගුණරතන සූදානම් වන්නේ නව ව්‍යවස්ථාවට සහාය දක්වන සියලුදෙනාම 1988 භීෂන සමය සිහිගන්වමින් ඝාතනය කිරීමටයි. (ඔහු යුද්ධය කොහොම කරන්න ඇත්ද?) සරත් වීරසේකර ද කියා තිබුණේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි මානව හිමිකම් ගැන කතා කරන පිරිස් රාජ්‍ය විරෝධී ද්‍රෝහීන් ලෙස නම් කළ යුතු බවයි.

මෙවැනි පිරිස්වල සහායෙන් සහ මූලිකත්වයෙන් බලයට ඒමට කැස කවන ගෝඨාභය යටතේ ශ්‍රී ලංකාව පොල්පොට්වාදී ඝාතනයේ දේශයක් නොවනු ඇත්ද‍? සරත් වීරසේකර, දයාන් ජයතිලකගේ විග්‍රහයටම අනුව අයත් වන්නේ අන්ත දක්ෂිනාංශික යන ප්‍රභේදයටය. අන්ත- දක්ෂිනාංශය එක්තරා විදිහක පැසිස්ට්වාදයක් බවද ඔහු ඩේලිමිරර් පුවත්පතෙහි වීරසේකර සමඟ යෙදුණූ විවාදයකදී (2017 ඔක් 19) අඟවා තිබුණි.

මෙම සිංහල අන්ත දක්ෂිණාංශිකයින්ගේ බෙලි කපන ලැයිස්තුවෙහි අප වැනි පිරිස්හි පමණක් නොව දෙමළ ජනයාට දේශපාලන විසදුමක් අවශ්‍ය බව කියන ජයතිලක වැනි රාජපක්ෂවාදීන්ගේ නම්ද තිබෙන්නට පුළුවන. පොල්පොට්වාදය මතකද? සමහර විට 2000 ව්‍යවස්ථාව ගෙන ආ ජී.එල්. පීරිස්ගේ නමත් බෙලි කැපෙන ලැයිස්තුවේ තිබෙන්නට පුළුවන.

නව ව්‍යවස්ථා විරෝධය දැන් ප්‍රචණ්ඩත්වය කරා ගමන් කරමින් තිබෙන බව පැහැදිලිය. කමල් ගුණරත්නට අත්වැල් අල්ලමින් වීරවංශ පාර්ලිමේන්තුව බෝම්බ දමා සමතලා කරන්නට යන්නේ ද ඒ අනුවය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමේ ව්‍යාපාරය ලේ ඉව කරමින් බෝම්බ දුමාරය සිප ගනමින් කැරෙන නව පැසිස්ට්වාදී දුෂ්ඨත්වයක් බවට වර්ධනය වන්නට පටන්ගෙන තිබේ. නව ව්‍යවස්ථාවක් සඳහා වන ජනමත විචාරණය මේ භිෂකයින්ගේ ප්‍රථම ගොදුරු බිම බවට පත්වීමට හොදටම ඉඩ තිබේ. අප එම බිමෙහිදීම මේ දුෂ්ඨත්වය පරාජය කළ යුතුවෙමු.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya