iMAGE: Crisis Group

රටේ පවතින වර්තමාන තත්වය පිළිබඳ ඉතා ප‍්‍රබල සංවාදයක් මේ දිනවල මුද්‍රිත මාධ්‍ය තුළ දියත්ව තිබේ. පාර්ලිමේන්තුවේ පසුගිය දා දක්නට ලැබුණු සතුරු සහ රොස්පරොස් බව සහ භික්ෂූන් වහන්සේලා පිරිසකගේ කලබැගෑනියට සමාන වාතාවරණයක් මුද්‍රිත මාධ්‍ය තුළ දක්නට නොවුණි. එහිදී, පෞද්ගලිකත්වයට නොගොස්, වෙනත් කෙනෙකු දක්වන අදහස් සම්බන්ධයෙන් තැන්පත්ව අදහස් දැක්වීමේ වාතාවරණයක් දක්නට ලැබුණි. වෙනස් අදහස් සහ දෘෂ්ටිකෝණ සම්බන්ධයෙන් වන ඒ ගෞරවය සහ ඉවසීම මෙන්ම, රටේ නොයෙක් තැන්වල සාමකාමීව විරෝධතා දැක්වීමේ තත්වයක් පැවතීම, ශ‍්‍රී ලාංකීය ජනතාවගේ ගෞරවයට කාරණයකි. එයම, රටේ පොදු වැදගත්කමක් ඇති කාරණා ගැන සාකච්ජා කිරීමට සහ සංවාද කිරීමට තිබෙන පාර්ලිමේන්තුව වැනි ස්ථානයක් කෙලසන, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට පේ වී සිටින්නේ යැයි කියන දේශපාලඥයන්ට ලැජ්ජාවට කාරණයකි.

මුද්‍රිත මාධ්‍ය තුළ සංවාදයට සහ සාකච්ජාවට විවරව තිබෙන මේ අවකාශය ඔස්සේ අදහස් දැක්වීමට මම කැමැත්තෙමි. එහිදී, මා පුද්ගලයෙකු වශයෙන් පළ කළ අදහස් සම්බන්ධයෙන් සහ තවත් පිරිසක් සමග එක්ව ප‍්‍රකාශයට පත්කළ අපේ ඒකාබද්ධ නිවේදනයක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ සම්මානිත මහාචාර්ය ජී. එච්. පීරිස් දක්වා තිබෙන අදහස් මම සැලකිල්ලට ගනිමි. එසේ කිරීමේදී, මේ කාරණා සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු මතු කොට තිබෙන තවත් අයගේ අදහස් ද සැලකිල්ලට ගැනෙයි.

සමාජ වැදගත්කමක් ඇති වර්තමාන ගැටළු සමහරක්: ජනතා පරමාධිපත්‍යය

මෙය, අද සාකච්ජාවට ගැනෙන ප්‍රධාන ප්‍රශ්නයකි. වෘත්තිකයන් බොහොමයක් දෙනා මෙන්ම, මහාචාර්ය ජී. එච්. පීරිස්, ආචාර්ය පාලිත කොහොන, සමන්තා රත්වත්ත මහත්මිය සහ නිතර ලිපි සපයන නෙවිල් ලද්දුවහෙට්ටි සහ කුසල් පෙරේරා වැනි මහත්වරුන්, ඔක්තෝබර් 26 වැනි දා ඇති වූ ආණ්ඩු වෙනස, ජනතා ජයග‍්‍රහණයක් නියෝජනය කරන අවස්ථාවක් බවට තර්ක කොට ඇත. ඔවුන් බොහෝ විට උද්ධෘත කොට දක්වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියයි. එය මෙසේ ය: ‘‘ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය… පරමාධිපත්‍යයට, පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡුන්ද බලය ද ඇතුළත් වන්නේය.’’ එසේ වෙතත්, ජනතාවගේ පරමාධිපත්‍යය පිළිබඳ සංකල්පය ඉහත කී පිරිස අර්ථ ගන්වන්නේ ව්‍යවස්ථාවේ රාමුවට පිටතින් පිහිටා ඇති සංකල්පයක් වශයෙනි.

වර්තමාන සන්දර්භය තුළ ව්‍යවස්ථාමය ප්‍රශ්නය කෙරෙහි ඇති වී තිබෙන යොමු වීමේ ස්වභාවය දෝෂ සහගත බව මහාචාර්ය ජී. එච්. පීරිස් කියයි. ආණ්ඩුකරණය තුළ පැවති අසාර්ථකත්වයක් හේතු කොටගෙන ඔක්තෝබර් 26 වැනි දා තමන් විසින් ‘ප්‍රතිසංස්කරණ ’ ඇති කෙළේ ය යන ජනාධිපතිවරයාගේ යෝජනාව, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කර ගැනීමේ වඩාත් වැදගත් කැපවීමක් වශයෙන් ඔහු ගෙනහැර දක්වයි. ඒ අදහස සමග කුසල් පෙරේරා මහතා එකඟ වන බවක් පෙනේ. ‘වැඩිමනත්’, නැතහොත් නිරර්ථක ව්‍යවස්ථාමය විධානයන් අප නොතකා හැරිය යුතු බවට ඔහු තර්ක කරයි. (2018 නොවැම්බර් 16 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ 12 වැනි පිටුව). විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා ද, ප්‍රසිද්ධ ස්ථානවල පළ කොට ඇති දැන්වීම් පුවරු හරහා ද වර්තමාන තන්ත්‍රය ගෙන යන ප‍්‍රචාරක ව්‍යාපාරය, මෙවැනි අදහස් මගින් තවදුරටත් තහවුරු කෙරේ. ඔවුන් පුරවැසියන්ට මතක් කර දෙන්නේ, පාලන තන්ත‍්‍රයේ වෙනස මගින් රටක් බේරා ගත් බවයි. ජනතාවක් සවිබල ගැන්වූ බවයි. ‘ජනතා මහිමය’ යළි අත්පත් කර ගත් බවයි.

රටේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පිටතින් ජනතා පරමාධිපත්‍යය පිළිබඳ සංකල්පය අර්ථ ගැන්වීම, ශ‍්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් අප වැඩි දුරටත් විභාග කොට බැලිය යුතුව තිබේ. දකුණු ආසියාවේ අපේ රට ඇතුළු ලෝකය පුරා සෑම රටක්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පනවාගෙන තිබෙන්නේ, රාජ්‍යයේ බලය පාලනය කෙරෙන සහ සීමා කෙරෙන ආයතන රාමුවක් මත ආණ්ඩුකරණය පදනම් විය යුතුය යන විශ්වාසය පෙරදැරිව ය. ‘ව්‍යවස්ථානුකූලවාදය’ පිළිබඳ න්‍යාය යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. එය තුළ, රාජ්‍ය බලය සීමා කිරීමේ වැදගත්කම නිරූපණය වන්නේය. රාජ්‍ය බලයේ අවභාවිතයත්, හිතුවක්කාරී සහ අධිකාරීවාදී ආණ්ඩුකරණය වැලැක්වීමේ ඇති වැදගත්කමත් නිරූපණය වන්නේය. ඇත්තෙන්ම රාජ්‍යයේ බලය සීමා කිරීම මගින් කෙරෙන්නේ, රටක පුරවැසියන් වන ස්වෛරී ජනතාව වෙත වගවීමේ සංකල්පය ප‍්‍රවර්ධනය කිරීමයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තුළ පවතින රාමු වෙනස් විය හැකිය. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පදනම් වන්නේ, පූර්විකාවේ (ස්වස්ති) දැක්වෙන පරිදි, ‘ධර්මිෂ්ඨ, නිවහල් සමාජයක් සුරක්ෂිත කිරීම’ සඳහා වන ‘නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්’ මත ය. (ව්‍යවස්ථාවේ පූර්විකාවේ පළමු ෙඡ්දය). නිදහසේ පටන් ලිඛිත ව්‍යවස්ථාවක් පනවා ගැනීම තුළින්, ලිඛිත ව්‍යවස්ථාව ප‍්‍රකාර ආණ්ඩුකරණ ව්‍යුහයන් මත ආණ්ඩුව පදනම් විය යුතු බව, ජනතාවක් වශයෙන් අපි පිළිගෙන ඇත්තෙමු.

1978 ආණ්ඩක‍්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ තර්කණය වන්නේ, වෙනස් ආයතනයන් ඔස්සේ, ආණ්ඩුකරණයේ කෘත්‍යයන් සහ බලතල බෙදා හැරිය යුතු බවයි. 3 වැනි වගන්තියෙන් පිළිගෙන ඇති ජනතා පරමාධිපත්‍යය තුළට පූර්විකාවේ සඳහන් වන ආණ්ඩුකරණ මාදිලිය ඇතුළත් වන බව ඒ මගින් පැහැදිළි කොට තිබේ. ජනතාවගේ පරමාධිපත්‍යය, ‘ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත‍්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයකදී ජනතාව විසින් ද ක‍්‍රියාත්මක කළ යුත්තේය’ යනුවෙන්, 4 වැනි වගන්තියෙන් කියැවෙන්නේ එබැවිනි.

විධායක බලය සහ රටේ ආරක්ෂාව, ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයෙකු විසින් අභ්‍යාස කළ යුත්තේය. 4 වැනි වගන්තියෙන් තවදුරටත් දැක්වෙන පරිදි, ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද, නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද, අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් ජනතාවගේ අධිකරණ බලය අභ්‍යාස කෙරේ’.

ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී ජනතාව විසින් අභ්‍යාස කරනු ලබන මූලික අයිතීන් සහ ඡන්ද බලය, ජනතා පරමාධිපත්‍යයේ තවත් මුලික කුළුණු දෙකකි. මහාචාර්ය ජී. එච්. පීරිස් ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය ගෙනහැර දක්වයි. එහෙත් ව්‍යවස්ථානුකූලවාදයට අනුගතවත්, ව්‍යවස්ථාව මගින් හඳුනාගෙන ඇති ආයතන හරහා ආණ්ඩුකරණය සිදුවිය යුතු බවටත් එහි සඳහන් වැදගත් කාරණය ඔහු සැලකිල්ලට ගන්නේ නැත.

ඔක්තෝබර් 26 වැනි දා සහ ඉන් පසුව, ආණ්ඩු මාරුවක් සඳහා ජනාධිපතිවරයා ගත් ක‍්‍රියාමාර්ග යුක්ති සහගත කිරීමේ හැකියාවක්, ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය අනුව නැති බව මනාව පැහැදිළි ය. ව්‍යවස්ථාවෙන් පිටස්තරවත්, 4 වැනි වගන්තියේ පැහැදිළිව දක්වා ඇති ආයතන සහ ප‍්‍රතිපත්තිවලින් පිටස්තරවත් ඇති ජනතා ස්වෛරීත්වයක් පිළිබඳ සංකල්පයකින් ජනාධිපතිවරයාගේ එම ක‍්‍රියාව යුක්ති සහගත කළ නොහේ.

ජාතිය අමතා ජනාධිපතිවරයා කළ කතාවේදී සඳහන් කළ ආණ්ඩුකරණයේ අසාර්ථකත්වය පිළිබඳ කාරණය හෝ පෙබරවාරියේ පළාත් පාලන මැතිවරණයේදී ප‍්‍රකාශයට පත් ජනතා මතය මගින් හෝ, ව්‍යවස්ථානුකූලවාදය පිළිබඳ න්‍යාය සහ ව්‍යවස්ථාවෙන් හඳුනාගෙන ඇති ආයතනවල ක‍්‍රියාකාරීත්වයේ වැදගත්කම පසෙකට ලෑම කළ නොහැක්කේය. නිදහසෙන් පසු ශ‍්‍රී ලංකාවේ 70 වසරක කාලය තුළ ආණ්ඩුකරණය පදනම්ව තිබී ඇත්තේ, ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියෙන් ද හඳුනාගෙන ඇති, (ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ) නැමැති ආණ්ඩුකරණයේ ශාඛා තුනකින් සැදුම්ලත් ව්‍යුහයක් මත ය. මේ ආයතන තුන අතරේ තුලනය, ව්‍යවස්ථාවේ වෙනත් විධිවිධාන මගින් නිරූපණය කෙරේ. ඉන් එකක් වන්නේ, ව්‍යවස්ථාව යටතේ පවරා ඇති බලතල සහ කෘත්‍යයන් අභ්‍යාස කිරීමේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගවිය යුතු බවයි. ව්‍යවස්ථාදායක සහ විධායක බලය අතර පැවතිය යුතු තුලනය පිළිබඳ මේ මූලික නියාමය, 1978 ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය තුළ සේම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 33 (අ) වගන්තිය තුළත් අඩංගු කොට තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වර්තමාන සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, 1994 දී ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතට දෙන ලද සම්මුඛ සාකච්ඡුාවකදී, අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අඩංගු මේ කියන පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය අතර තුලනය හඳුන්වා ඇත්තේ, ‘පාර්ලිමේන්තුවාදී විධායක මාදිලියක්’ වශයෙනි. (2018 නොවැම්බර් 20 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ කතුවැකිය), ජනාධිපති සිරිසේන ඇතුළු දේශපාලඥයන්, මේ ආණ්ඩු මාදිලිය විධායක ජනාධිපති තනතුරට පමණට වඩා බර වෙන ක‍්‍රමයක් වශයෙන් එක දිගටම හෙලාදැක ඇත්තේ කෙසේද යන්න කවුරුත් දනිති. ඔක්තෝබර් 26 වැනි දා පත්කර ගත්තේ යැයි කියන ආණ්ඩුව ඇතුළු තවත් සමහර දෙනා දැන් ගර්හාවට ලක්කරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සුජාත භාවය, වර්තමාන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡුන්දයකින් 2015 දී සම්මත කර ගන්නා ලදි. ඒ සම්මුතිය ඇති වුණේ, 2015 මහ මැතිවරණය ද ඇතුළත්ව, දශක ගණනාවක් තිස්සේ දේශපාලන පක්ෂ වේදිකාවල ඇති කර ගත් එකඟත්වයක් මත ය. 1978 ව්‍යවස්ථාවේ සඳහන් බලගතු ජනාධිපති ක‍්‍රමයක් රටට අවශ්‍ය නැති බවට එදා කවුරුත් එකඟ වූහ. රාජ්‍ය බලය දමනය කිරීමේ හැකියාව එවැනි විධායක බලයක් විසින් නිෂේධ කරන බවත්, ඒ මගින් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝණය කෙරෙන බවත්, ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඒ මගින් හෑල්ලූ වන බවත් කවුරුත් පිළිගත්හ.

ව්‍යවස්ථානුකූලවාදයට අනුගත වීමේ අවශ්‍යතාව එසේ තිබියදී, ව්‍යවස්ථාවට පිටින් විධායක බලය අභ්‍යාස කරනු ලැබීම, ජනාධිපතිවරයා විසිනුත්, ඔහු විසින් පත්කර ගත්තේ යැයි කියන ආණ්ඩුව සහ වෙනත් පුද්ගලයන් විසිනුත් දැන් අනුදැන සිටීම, තියුණු උත්ප‍්‍රාසය දනවන්නකි. ඔවුන් කතා කරන්නේ, ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ පැහැදිළිව සඳහන් ආකාරයට වෙනස්ව, ආණ්ඩුවේ ආයතනවලට පිටස්තරින් අභ්‍යාස කරනු ලබන ජනතා පරමාධිපත්‍යයක් ගැන සංකල්පයක් පිළිබඳව ය. මෙය, පෙර නොවූ විරූ අර්බුදයකට රට ඇද තබා තිබේ. පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා අතර ඇති වී තිබෙන පරුෂ එදිරිවාදිකම කෙනෙකුගේ මතකයට නංවන්නේ, සියවස් ගණනාවකට ඉහතින් එංගලන්තයේ රජු සහ පාර්ලිමේන්තුව අතර පැවති ඒ ඓතිහාසික ගැටුමයි. අද ලෝකයේ බොහෝ රටවල පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයේ මූලික ප‍්‍රතිපත්ති ව්‍යුත්පන්න වුණේ ගැටුමේ ප‍්‍රතිඵලයක් වශයෙනි.

 

මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර

(මේ ලිපියේ දෙවැනි කොටස හෙට බලාපොරොත්තු වන්න)

2018 නොවැම්බර් 24 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ “People’s Power, The Constitution & Rulers’ නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.