iMAGE: Vikalpa 

කිතුණු දේවස්ථානවල පසුගිය 21දා සිදු වූ පිපිරීම සිදු වී පැය කිහිපයක් යාමට මත්තෙන් ආන්දෝලනාත්මක ලිපියක් ‘ෆේස්බුක්’ සමාජ ජලය ඔස්සේ සිඝ්‍රයෙන් පැතිර ගියේ ය.  මුස්ලිම් අන්තවාදී සංවිධානයක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙනවා යැයි, විශේෂ ආරක්ෂක දිසාව භාර  නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක විසින්  2019 අප්‍රේල් 11වෙනිදා අනතුරු අඟවමින් පොලිසියේ අභ්‍යන්තර ඒකකවලට යවා  ඇතැයි  කියැවෙන එම ලිපිය ෆේස්බුක් සමාජ ජාලය වෙත තවමත්  ‘හදුනාගත නොහැකි පුද්ගලයෙකු’ විසින් නිකුත් කර තිබූණි.

එම ලිපිය පිළිබද සුපරීක්ෂාකාරී වෙමින් සහ අදාළ විශේෂ මූලාශ්‍රයන් ඔස්සේ  ලැබුණු  තොරතුරු අනුව පැතිරී යන කටකතා වලට හා වෛරී සහගත අන්තර්ගතයන්ට මේ ඔස්සේ සිදුවිය හැකි බරපතල බලපෑම ගැන සැලකිලිමත් වෙමින් , තහවුරු කර නොගත්  නිලනොලත් ආරංචි මාර්ග වලින් සමාජ මාධ්‍යය වෙත මුදා හැර ඇති  ඉහත කී  ලිපිය තවදුරටත්  පැතිර යාම වැලැක්වීම සඳහා වගකිවයුතු මාධ්‍යය භාවිතාවක්  වෙනුවෙන් සෑම විටම පෙනිසිට ඇති අපි එම වගකිම පෙරදැරි කොට ගෙන ගත යුතු නිවැරදිම ක්‍රියාමාර්ගය ලෙස එම ලිපිය ‘ව්‍යාජ’ ලිපියක් බව මුලාශ්‍ර වෙතින් තහවුරු කර ගැනීමෙන් පසුව එය ව්‍යාජ ලිපියක් බව අප ෆෙස්බුක්, ට්විටර් ඇතුලු සමාජ ජාලයන් ඔස්සේ අප්‍රේල් 21 වන දින දහවල් ප්‍රචාරය කරන ලදී.

ඇමතිවරුන්ගේ, ජනාධිපති සහ අගමැතිගේ ප්‍රකාශ – ‘අපගේ කණගාටුව’

කෙසේ නමුත් ඇමතිවරුන්ගේ සිට ජනාධිපතිවරයා දක්වා දැන් සිදුකරන එකිනෙකට පරස්පර හා වගකීම් විරහිත  ප්‍රකාශවල අන්තර්ගතයන් සලකා බැලීමේදී සහ ඉහත කී  ලිපියේ අඩංගු කරුණු සලකා බැලීමේදී අපට පෞද්ගලිකව පෙනීයන්නේ මෙය ව්‍යාජ ලිපියක් විය නොහැකි බවයි. එබැවින් එම ලිපිය ‘ව්‍යාජ ලිපියක්’ යැයි අප විසින්  අප්‍රේල් 21 දින සමාජ මාධ්‍යය ඔස්සේ පළ කළ  ප්‍රකාශය පිළිබද අපගේ  ‘පාඨකයන්ට’ සිදු වූ අපහසුතාවය පිලිබඳ  අප දැඩිසේ කණගාටු වෙමු.

‘සත්‍ය අසත්‍යතාවය ගැන පරීක්ෂණ කරනවා’

කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය උපුටා ගනිමින් බීබීසී සිංහල සේවය විසින් අප්‍රේල් 21 වන දින දහවල් වාර්තා කර තිබුණේ ‘ශ්‍රී ලංකාව තුළ ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් අප්‍රේල් 11 වෙනිදා බුද්ධි අංශ විසින් නිකුත් කරනු ලැබ ඇතැයි සඳහන්ව සමාජ ජාල ඔස්සේ  සංසරණය වන ලිපියෙහි “සත්‍ය අසත්‍යතාව” පිළිබඳ අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)  විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි’ යනුවෙනි. එය වෙනත් මාධ්‍යය ආයතන විසින්ද එසේම එදින වාර්තා කොට තිබුණි.

‘විවිධ කල්ලි ව්‍යාජ ලිපි ලේඛණ සකස් කර සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් කර තිබෙනවා. මේවා හදලා නිකුත් කළේ කවුද කියලා සොයා බලනවා. මුළු දිවයිනටම බලපාන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළීවෙළක් ක්‍රියාත්මකයි’ සෞඛ්‍ය අමාත්‍යවරයා වන රාජිත සේනාරත්න මෙම ප්‍රකාශය කොට තිබුණේ සිද්ධිය සිදු වූ දින කොළඹ ජාතික රෝහලට පැමිණ රෝගීන්ගේ සුවදුක් විමසමින් නිලධාරීන් සමග අවශ්‍ය සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමිනි.

එබැවින් අපගේ මූලාශ්‍රය ‘වැරදි’ යන්න ප්‍රකාශ කළ හැකි වන්නේ පොලීසියට හෝ එවැනි ආයතනයක නිල  ප්‍රකාශයකට  නමුදු අවාසනාවකට මේ ලියන මොහොත දක්වා එවැනි ප්‍රකාශයක් හෝ එළිදරව් කිරීමක් සිදු නොකීරීමෙන් පෙනී යන්නේ තවදුරටත් මෙහි සගවා තැබිය නොහැකි සත්‍යයක්  ඇති බවයි.

තනි තනි අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් තම තමන්ගේ හිතලු ප්‍රකාශ හා අනාවරණයන්  සමාජ මාධ්‍යය ඔස්සේත්, මාධ්‍යට අදහස් දක්වමින් කරනවා විනා වගකීම් සහගත ආණ්ඩුවක්  ලෙස මේ සම්බන්ධව කිසිදු වගකිවයුතු ප්‍රකාශයක් හෝ ආරම්භ කළා යයි කියන  එකී විමර්ශන වල ප්‍රගතිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින්ද මේ වනතුරුත් කිසිදු නිල නිවේදනයක් නිකුත් කොට නැත. මේ හේතුකොට ගෙන මිනිස්  ජිවිත 300 කට අධික ප්‍රමාණයක් තම ජිවිත වලින් වන්දි ගෙවන  තෙක්  ආණ්ඩුව මෙය දැන සිටියා යැයි  මතුවන සාධාරණ සැකය නිවැරදි යයි අපට විශ්වාස කිරීමට සිදුවන්නේ ඒ සම්බන්ධ කිසිදු   ප්‍රකාශයක් නිකුත් කොට නැති හෙයිනි .එය ඉතා බරපතල මෙන්ම දැඩි සැලකිල්ලට ගත යුතු  කාරණයකි.

එහෙත් අවම වශයෙන් දැන්වත් මේ පිළිබද නිල  ප්‍රකාශයක් රට හමුවේ තැබීම අවම සදාචාරය පිලිබඳ හෝ අල්ප මාත්‍ර හැඟීමක් ඇතිනම් ආණ්ඩුවේ වගකීම බව ලිවිය යුතු නොවේ. බොර දියේ මාළු බාමින් එහෙට මෙහෙට වැනෙන ප්‍රකාශ කරමින් තලු මරණ ඔවුන්ගේ  ප්‍රකාශ, අප තව දුරටත් පිළිගත නොහැකි තත්වයක් තුළ දැන් ලිපිය සම්බන්ධ දැඩි ආන්දෝලනයක් මතු තිබේ. අල්ජසීරා පුවත් සේවය ද පළමු කොට මෙම ලිපිය තම පුවත් සේවය ඔස්සේ ප්‍රචාරය කල ද පසුව එය තහවුරු කරගත හැකි නොහැකි හෙයින් එය තමන් ඉවත් කළ බව පාඨකයන් වෙත දන්වා තිබුණි. කෙසේ වෙතත් දැන් මෙම සංසරණය කරන ලද ලිපිය සියලු දේශීය මෙන්ම විදේශීය පුවත් සේවාවල ශ්‍රී ලංකා රජය විසින් තම වගකීම  පැහැර  හරින බවට සනාථ කරන ප්‍රමුඛම  මුලාශ්‍රය බවට පත්ව තිබේ.

බුද්ධි අංශවාර්තා

එසේම එම ලිපියේ පටන් නිරන්තරයෙන් ප්‍රසිද්ධ වන බුද්ධි තොරතුරු මෙන්ම අනිකුත් ලියවිලි වගකීමකින් තොරව සමාජ මාධ්‍ය්‍ය තුළට  නිකුත් වීම සහ එයින් සමාජය තුළ සිදුවන කැළඹිලිකාර තත්ත්වයට ජනාධිපති සිරිසේන ඇතුලු ආණ්ඩුව සෘජුවම වගකිව යුතු බව අප තරයේ  ලියා තබමු. එසේම රටක බුද්ධි අංශවාර්තා කිසිදු වගකීමකින් තොරව සමාජ ජාලා තුළට කාන්දු වන්නේ කෙසේද? නිකුත් කරන්නේ කවුද? රටක බුද්ධි අංශ වාර්තා සමාජ ජාලා වල සිල්ලර බඩු ගන්නා තරමට ප්‍රසිද්ධ විය හැකි, ඕනෑම පුරවැසියකුගේ අතට පත්විය හැකි තරමට පත්ව ඇත්නම්, රටේ ආරක්ෂක කවුන්සිලය රැස් වූ විට එහි ජායාරූප සමාජ මාධ්‍යයට මුදා හැරේ නම්  එහි ඇත්තේ බරපතල තත්වයක් බව ඇතැම් විට කම්පනයෙන් හා සංවේගයෙන් ලැබෙන සෑම  තොරතුරක්ම  හුවමාරු කරගනිමින්, මෙම තොරතුරු හුවමාරුවේම කොටස් කරුවන් වී සිටින මහජනතාවට නොදැනෙනු ඇත. මේවා රටට හෙළිදරව් කිරීම ආණුඩුව සතු වගකීමකි. එය එසේ වන්නේ සමාජ ව්‍යසනයක් මතින් හෝ ගොඩයෑමට මාන බලා සිටින නරුම දේශපාලකයන් කුමකින් කුමක් කරන්නේද යන්න මේ මොහොතේ ඇති බරපතලම තත්ත්වයක් වන නිසාය.

මුදා හැරි අයගේ ‘සමාජ වගකීම’

අනෙක් අතට විශාල ඛේදවාචකයක් සිදුවන බවට වූ බුද්ධි අංශ තොරතුරු පෙර සිටම දැනසිටියේ කවුරුන්ද? එය ව්‍යසනයට පෙර සමාජය වෙත මුදා නොහැරියේ ඇයි ? යන ප්‍රශ්නය ද, මේ මොහොත් බුද්ධිමත් පුරවැසියන් ඇසිය යුතු  ප්‍රධාන ප්‍රශ්නයකි. එසේම ව්‍යසනය වූ පසු පැය කිහිපයකින්, අවම වශයෙන් පැය 24 ක් වත් යන්නට මත්තෙන්  අදාළ තොරතුරු සමාජය වෙත මුදාහැරීමෙන් ඔහු හෝ ඇය බලාපොරොත්තු වූයේ කුමක් ද? යන්නත් මේ මොහොතේ සමාජයක් විසින් ඇසිය යුතුම ප්‍රශ්නයකි. එය අපට මෙන්ම සමාජයට අමතක වන ප්‍රශ්නයකි.

පොලීසිය සහ හමුදා බාර වගකිවයුත්තා වන ජනාධිපති සිරිසේන  සිට හිටපු ජනාධිපතිවරුන් (ලිපියේ සදහන්වන පරිදි ) සහ ඇමතිවරුන් දක්වා වගකිවයුතු දේශපාලකයන් එම තොරතුරු දැන සිටියා නම්, ඒ පිළිබද ව්‍යසනයට පෙර සමාජය දැනුවත් නොකලේ ඇයි?  එසේම ෆේස්බුක් ලයික් වැඩිකර ගැනීමට මොකක් හෝ කුණු ගොඩක් කිසිදු වගකීමකින් තොරව මුදාහරින ‘ඔස්තාර්ලාත්’ මෙය දැන සිටියා නම් ව්‍යසනයට පෙර එය මුදා නොහැරියේ ඇයි? ඒ ඒ අයට ඒ සම්බන්ධයෙන් වන ‘සමාජ වගකීම’ අප අමතක කළ යුතුද ? සමාජ වගකීම සේම  ව්‍යසනය වූ පසු පවතින කුමන ආණ්ඩුවක් තුළ හෝ ඇතිවන ව්‍යකූල තත්ත්වය මතින් තම දේශපාලන පාලම තනා ගැනීමට දරණ  ‘නරුම’ උත්සාහයක්  මේ තුළ ඇති නිසා නොවේ ද?

එසේම මහා විනාශක් යම් පමණකට හෝ පාලනය කිරිම සදහා ජනතාව දැනුවත් කිරීමේ වගකීම ඇත්තේ දේශපාලකයන්ට පමණක් නොවේ. යම් සත්‍ය තොරතුරක් දන්නේ නම් ඒ පිළිබද ජනතාව දැනුවත් කිරීමට ජනතාවට ද වගකීමක් ඇති බව අපගේ විශ්වාසයයි. එබැවින් ව්‍යසනයට පෙර ‘එවන් තොරතුරක්’ දන්නේ නම් විනාශයට පෙර ජනතාව දැනුවත් නොකර පෙර කි ලෙස  විනාශයෙන් පසුව එය සමාජගත කිරීම යනුම ‘නරුම’ තත්ත්වයකි. එය පිටුපස පැහැදිලිවම බියකරු හෙවනැලි හොල්මන් කරන බවට මේ කරුණම හොදම සාක්ෂියකි. එසේම ඉහතින් දක්වා ඇති ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කිරීම ආණ්ඩුවේ මෙන්ම ‘කුණුහරප’ ලියමින්, වෛරී ප්‍රකාශ සහ හිතුලු සමාජ ගතකරමින් හිරිකත ප්‍රකාශ සමාජ ජාලවට මුදාහරින සියලු දෙනාගේත් වගකීමකි.

ඔබලාගේ අත්වල ‘ලේ’

https://twitter.com/ManoGanesan/status/1119876027008868353

ලෙඩ ඇඳේ සිටි තම පියා ‘තාත්තා මට පල්ලි යන්න එපා කිව්වා’ කියමින් තම ට්විටර් ගිණුම පුරා ඉහත ලිපිය ඇතුළු තවත් ලිපි පළ කොට ඇති   ඇමති හරීන් ප්‍රනාන්දු පමණක්  නොව, බුද්ධි තොරතුරු දැනගෙන සිටි බවට කියන ඇමති මනෝ සිට ආරක්ෂක කවුන්සිලයට තමන්ට මාස 4 ක් පුරා සිද්ධිය වන තුරු කැඳවීම් ලැබී නැතැයි කියන පොලිස්පති පුජිත් ජයසුන්දරත්, එලෙසින්ම  ‘මම දන්නේ නෑ’ කියන අගමැති වික්‍රමසිංහත්, ‘තැන් තැන් වල ප්‍රහාර වෙනවා කියලා දැනන් හිටියා. මේ පරිමාණයෙන් වෙයි කියල හිතුවේ නෑ” කියමින් විදෙස් මාධ්‍යය ඉදිරියේ ලජ්ජා සහගත ප්‍රකාශයක් සිදුකළ රාජ්‍ය නිලධාරියකු වන මෙරටේ ආරක්ෂක අමාත්‍යංශයේ  ලේකම්  හේමසිරි ප්‍රනාන්දුත්, අනෙක් අතට ඊයේ පාර්ලිමේන්තුවේ දී ‘මගේ අරාක්ෂක නිලධාරීන් දන්නවා මට කිව්වේ නෑ’ කියන විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ ද, මෙරටේ ජනතාව  පුන්නකු කනවා යයි සිතා සිටින    ‘මට තොරතුරු එව්වේ නෑ’ කියන රටේ පළමු පුරවැසියා වන  ආරක්ෂාව භාර  ඇමතිවරයා  හෙවත් මෙරටේ විධායක ජනාධිපතිවරයා වන  මෛත්‍රීපාල  සිරිසේන ඇතුලු ආණ්ඩුව ද, සමස්ත පාර්ලිමේන්තුවද,  විශේෂයන්ම දේශපාලනයෙන් වියුක්තව සිටිය යුතු  රාජ්‍ය සේවකයන් ද, මේ ජිවිත සියල්ල වෙනුවෙන්  වගකීම සම්පුර්ණයෙන්ම භාර ගත  යුතුය. එබැවින් අපට කියන්නට ඇත්තේ ඔබලාගේ අත්වල ‘ලේ’ තැවරී ඇති බවය.

මිට දින 36 කට පෙර නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ස් ප්‍රහාරයට එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරයක් ලෙස අයිඑස්අයිඑස්  ඉස්ලාමිය අන්තවාදී කණ්ඩායම විසින් මෙය කර ඇතැයි මුලික පරික්ෂණ වලදී හෙළි වී ඇතැයි කියන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගේ ප්‍රකාශය ඇත්ත වශයෙන්ම පදනම් වුයේ කවර සාක්ෂි මත ද යන්න දන්නේ ඔහුම පමණි.

කෙසේ වෙතත් ඉන් පැය කීපයක් ඇතුළත විදේශ මාධ්‍යය විසින් විශේෂයන්ම බිබිසිය හා රොයිටර් පුවත් සේවය මුලින්ම “ශ්‍රී ලංකාවේ  ක්‍රිස්තූ භක්තිකයින් හා හෝටල් ඉලක්ක කරමින් මරාගෙන මැරෙන බෝම්බකරුවන්  එල්ල කළ  ප්‍රහාරය දියත් කොට ඇති පුද්ගලයින් ISIS සටන් කරුවන්” බව එහි පුවත් ආයතනයක් වන අමාක් එජන්සිය විසින් කළ නිවේදනයකින් දැක්වෙන බව වාර්තා කොට තිබුණි.

ඒ අනුව ඔවුන් වෙත සම්බන්ධ දේශීය වශයෙන් සන්නන්ධ ජාතික තව්හිත් ජමා’අත් (NTJ) ( මෙම නම් විවිධ අයුරන් යෙදෙන බව පෙනේ. ( වැඩි විස්තර සඳහා බිබිසි  සිංහල  සේවය විසින් දක්වා ඇති මෙම පැහැදිලි කිරීම කියවන්න ) කෙසේවෙතත් මේ මොහොතේ ( අප්‍රේල් 24 සවස ) පළවෙන මාධ්‍ය වාර්තා අනුව රාජ්‍ය අමාත්‍යවරයා විසින්  ඊයේ දින  ජාතික තව්හිත් ජමා’අත් (NTJ) ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම විසින් මෙම සැලසුම් සගහත ප්‍රහාරය කර ඇතැයි කියූ ප්‍රකාශයට පරස්පර විරෝධී අදහසක් අද දින පළ කොට තිබේ 

මේ වනවිට  ISIS මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත සංවිධානය විසින් නිකුත් කර ඇතැයි කියන  ඒ සම්බන්ධ විවිධ ජායාරූප හා වීඩියෝ පට සමාජ මාධ්‍යය තුළ සංසරණය වේ. මේ අතර  ‘විමර්ශන වල මුලික අවදියේ පසුවන ශ්‍රී ලංකා බුද්ධි අංශ  විසින්  තමන් වෙත ඉහත කරුණු සම්බන්ධව නිල වශයෙන්  වාර්තා කොට නැති බව’  නවසිලන්ත අගමැතිවරිය ප්‍රකාශ කොට තිබේ. කෙසේ වෙතත්  Facebook, WhatsApp, Viber  ඇතුලු සමාජ මාධ්‍යය වෙත තව දුරටත් ශ්‍රී ලංකාව තුළ පිවිසීම් අවහිර කොට තිබියදී විකල්ප මාර්ග ඔස්සේ ජනතාව මේ සියලු තොරතුරු හුවමාරු කර ගනිති. අධික ලෙස තොරතුරු හා දත්ත නිදහසේ ගලා යන වටපිටාවක, ඒ කෙරෙන් අනෙක් අතට වාසි ලබා ගැනීමට අර අදින ජාතිවාදී හා ආගම්වාදී ‘ශරීර’ මේ අවකාශය ඇති සැටියෙන් ප්‍රයෝජනයට ගනිමින් සිටිති.

ඒ නිසාම දැන් ඇත්තේ  නරුම දේශපාලකයන්ගේ තක්කඩි කතා පිළිබද නිර්වචන හෝ බුද්ධි අංශ තොරතුරු විශ්ලේෂණයට  ඔස්තාර්ලා වීමට දැගලීම නොව, යළිත් එවන් විනාශයක් වලක්වා ගැනීමට ‘සමාජ වගකීමෙන්’  කටයුතු කිරීමත්, රටක් ලෙස අවම වශයෙන් සංවේදිත්වයෙන් ජීවිත වලින් වන්දි ගෙවන්නට සිදු වූ අපේම ආදරණියන්ගේ  පවුල්වලට අවශ්‍ය මනෝ – සමාජීය සහාය  ලබාදීම මිස, තවත් ජිවිත වලට දරුවන්, දෙමාපියන්, නෑදෑ හිතවතුන් අහිමි කිරීමට හේතුවෙන්  වෛරී ප්‍රකාශ සිදුකරමින් සමාජය තවදුරටත් ව්‍යාකූල තත්ත්වයකට ඇද දැමීමට අවශ්‍ය ‘පස’ පෝෂණය කිරීම නොව සියල්ලන්  සමඟ සහෝදරත්වය සහ ආදරය බෙදා ගැනීමයි.

ඒ වෙනුවෙන් සාම්ප්‍රදායික මුස්ලිම් මිනිසා වෙත මේ සියල්ලේ වගකීම පවරමින්, කෑ මොර දෙනවා වෙනුවට, ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් මුස්ලිම් අන්තවාදය සේම රට තුළ ඒ මානෙන් හිස එසවීමට මාන බලන සියලු ආගමික , ජාතික, අන්තවාදීන්ට  එරෙහිවීමය. එසේම තම තමන්ගේ ආගම්, ජාතින් උත්කර්ෂයට නංවමින් අන්තවාදී අදහස්  පෝෂණය කරමින් දේශපාලන වාසි ලබාගන්නා සහ ඒ වෙනුවෙන්  උඩගෙඩි දෙන සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒමත්ය.

මිය ගිය අහිංසක  මිනිසුන්ගේ  ජීවිතය වල අළු මතින් නැගී සිටින්නට දගලන අන්තවාදීන්  තවදුරටත් රාජ්‍ය පෝෂණය කරන්නේ නම් දහසක් බලාපොරොත්තු පොදු බැඳ සිටියදී පාස්කුවේ දෙව්ලොව් තුරුලට ගිය මිනිසුන්ට කිසිදා සාමදානයේ සැතපීමට හැකි නොවනු ඇත.

අපේ රටෙහි දැන් නොමල ගෙයකින් අබ සොයන්නට අපට නොහැකිව තිබේ.  ඒ මිය ගියේ  අපගේම අම්මාවරුන්ය . අපගේම දරුවන්ය , අපගේම සහෝදරයන් ය ,අපගේම මිතුරන්‍යා . අප හදවතින් ආදරය කල වුන් අපට නැති වී තිබේ. අපි  දැඩිව කියමු, දියවන්නාවේ 225 ත්, රට කරවන මොකුත් නොදන්නා බාබාලාගේත් අත් වල ඒ ජිවිත වල ‘ලේ’ තැවරී නැතිද?