iMAGE: Via Facebook 

ශ්‍රී ලංකාවේ සිදුවු මාරාන්තික පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වසරක් ගත වී ගොස්ය. වින්දිතයන්, දිවිගලවාගත්  අය හා සාමාන්‍ය ජනතාව තවමත් පිළිතුරු අපේක්ෂාවෙන් පසුවෙති.  එසේ වගවීම පිළිබඳ ඉල්ලීම් අතරතුර කැපීපෙනෙන මුස්ලිම් නීතිඥයකු වන  හිජාස් හිස්බුල්ලා හදිසියේම බලාපොරොත්තු නොවූ ආකාරයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටියි.

මා හිජාස් ප්‍රථමයෙන්ම හමුවූයේ  මා සහභාගි වූ මුල්ම පාසල් විවාද  තරගාවලියේදීය.  ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය කණ්ඩායමට නායකත්වය දුන් අතර මා කොළඹ ශාන්ත ජෝශප් කණ්ඩායමේ සාමාජිකයකු විය.   අපගේ කණ්ඩායම් දෙක ඒ වසරේ අවසන්  වටය දක්වා සුදුසුකම් ලැබිය. ඔහු සතුව තිබූ දැඩි තරඟකාරීත්වය සමග බැඳි  තර්කයන් ඒත්තු ගැන්වීමේ ආකර්ෂණීය දුර්ලභ හැකියාව මගේ මතකයට නැගේ. එසේම  මිත්‍රශීලී සමච්චලයන් හාස්‍යයෙන්  පිළිගැනීමේ අගනා ගුණාංගයක් ද ඔහු සතු විය.

ඒ වසරේ ශාන්ත තෝමස් විද්‍යාලය දක්ෂ ලෙස තරගාවලිය ජයග්‍රහණය කරන ලදී.  එදා විවාදයට සහභාගීවූ තරගකරුවන් අට දෙනාගෙන් පස් දෙනකුම වර්තමානයේ නීතිඥ වෘත්තියට එළඹ ඇති බවත් මට පසක් වේ.

එදා අපි අපගේ ප්‍රජාව සොයා ගත්තෙමු:  ඒ නීතිඥ  සහෝදරත්වය යි.

වසර කිහිපයකට පසු මා හට නැවතත්  හිජාස් මුණ ගැසිණි.  ඒ  මා විසින්  අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පළමු නඩුවේ දී ය.  එහිදී හිජාස් රජයේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි අතර,  මා උසස් වීම් අපේක්ෂා කළ රජයේ නිලධාරීන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටින ලදී.  එදා ඔහුගේ නීතිය පිළිබඳව වූ ගැඹුරු  දැනුම  හා තර්ක කිරීමේ දක්ෂතාවය මා හට  සිහියට නැගේ.   නමුත් ඒ අවස්ථාවේ මා ඔහුගේ තවත් පැත්තක් දුටුවෙමි.  එනම් ඔහු තර්කයක් ජය ගැනීමට පමණක් යුහුසුළු   වුවෙක් නොවීමයි.  යුක්තිය සඳහා වූ ගැඹුරු කැපවීමක් මා එහිදී ඔහුගෙන් දුටුවෙමි.  තමා හුදෙක් රජය නියෝජනය කරන්නෙකු ලෙස නොව යුක්තියේ නිලධාරියකු ලෙස ඔහු දුටුවේය. හිජාස්ගේ වෘත්තීය ජීවිතය හැඩගැසුනේ මෙම යුක්තිය සඳහා වූ කැපවීම මතය. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත්වීමෙන් අනතුරුව ඔහු පෞද්ගලික නීතිඥයකු ලෙස කටයුතු කිරීම ආරම්භ කරන ලදී.  හිජාස්  ශ්‍රී ලංකාවේ  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සූර ලෙස ආරක්ෂා කරන්නෙකු බවටත්  වෛරයේ   හා ප්‍රචණ්ඩත්වයේ  වින්දිතයන් වෙනුවෙන් විවෘතව පෙනී සිටින්නෙකු බවටත් පත්විය. මින් වඩාත්ම වැදගත් වන්නේ ඔහු සෑම පාර්ශවයන්හි අන්තවාදයට එරෙහි හඬක් ලෙස කටයුතු කිරීමයි.

හිජාස් දිගින් දිගටම ආගම් අතර හා වර්ග අතර සියලු ආකාරයේ වෛරය හා ප්‍රචණ්ඩත්වය පිටු දැක්කේය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එළඹි දිනවල එම දරුණු අපරාධය හෙළා දුටු අය අතර හිජාස් පෙරමුණේ සිටියේය.  ඔහු හඬ නගා සිටියේ වෛරිත්වය පිටුදැකීමට  සහ  එමඟින්   ප්‍රහාරය දියත් කළවුන් ‘මෝඩයින් ලෙස මියගිය මෝඩයින් පිරිසක්’ බවට තහවුරු කිරිමටයි.   එතැන් සිට ඔහු  ශ්‍රී ලංකාවේ ප්‍රජාවන් අතර සංහිඳියාව හා සහජීවනය  ප්‍රවර්ධනය  කිරීමට ක්‍රියාකාරී භූමිකාවක් බවට පත්විය.

පහුගිය සති කිහිපය තුළ අප විසින් අත්දුටුවේ කුරිරු උත්ප්‍රාසය කි: අන්තවාදයට එරෙහි වූ නීතිඥයෙකු මහජන මතය ඉදිරිපිට ‘අන්තවාදියෙකු’ ලෙස ද්වේශසහගත විවේචනයන්ට ලක් වී ඇත.

අධිකරණයේ නිලධාරියෙකු වූ ඔහු හට මූලික අයිතිවාසිකමක්  වන නිර්දෝෂි භාවයේ පූර්ව නිගමනය අහිමි කර තිබේ.   ඔහු තවමත් විනිසුරුවකු ඉදිරියට පනවා නොමැති අතර නීතිඥ සහය අර්ථවත් ලෙස ලබාගැනීමට නීතීඥයින් හමු වීමේ අවස්ථාවක් ලබාදී නොමැත්තේය.   ඔහුගේ නඩුව සම්බන්ධයෙන් නිගමනයක් කිරීම පසෙක තබා, විනිසුරුවරයකු හට අවම වශයෙන් ඔහුව පිරික්සීමට හෝ ඔහු පිළිබඳව විමසීමට අවස්ථාවක් වත් ලැබීමට පෙර  දරුණු හා පක්ෂග්‍රාහී මාධ්‍ය ආඛ්‍යානයක් මගින් මේ වන විටත් ඔහු ‘වරදකරුවකු’ කරමින් පවතී.

මහජන මතය ඉදිරියේ හිජාස් විමසීමට ලක් කරන්නේ  නම්  ඔහු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ දැක්වෙන කරුණු විමසීමට ලක් කරමු.

හිජාස් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය  රැක ගැනීමේ ඉදිරියෙන්ම සිටින අයෙකි. 2018 ඔක්තෝබර් මස  මෙරට ව්‍යවස්ථාදායක අර්බුදයකට වැටී තිබූ  බව සිහියට නගා ගනිමු.  හිජාස්,  නීතිවිරෝධීව පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් වෙනුවෙන්   ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි  නීතිඥයා ය .  ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බවට අධිකරණයට ඒත්තු ගැන්වූ ප්‍රමුඛ පෙළේ නීතිඥවරු අතර ඔහුද සිටියේය. ඉතිරිය  ඉතිහාසය සතුය. අප විසින් ඔහු වෙත ගෙවා නිම කළ නොහැකි ණයක් වෙයි; ඒ ඔහු විසින්  ඉටු කළ කාර්යය ශ්‍රී  ලංකාවේ පවතින ව්‍යවස්ථාමය ‍ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට හේතු වීම ය.

එසේම හිජාස්   ගලගොඩ  අත්තේ ඥාණසාර හිමි සෘජුව සම්බන්ධ වූ නඩු කටයුතු කිහිපයක පෙනී සිටියේය. මෙම භික්ෂුවහන්සේට එරෙහි වෛරී ප්‍රකාශ චෝදනා සම්බන්ධයෙන් සහ 2014 අලුත්ගම ප්‍රචණ්ඩත්වය  සම්බන්ධයෙන් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකෙහිම නීතිඥයා  වන්නේ  හිජාස් ය. ඥාණසාර හිමිට විරුද්ධ අපහාස නඩුවක ද නීතිඥයා ඔහුය.

ඔබ ‘නීතිඥ හිජාස්  හිස්බුල්ලා’  පිළිබඳ කල්පනා කරන විට ඔහු ගැන මාධ්‍ය  හා සමාජ ජාල වල  චිත්‍රණය කරන රූපය අවිචාරවත් ලෙස භාර නොගන්න. ඔහු පිළිබඳව අප දන්නා කරුණු සමඟ මෙම රූපය ගැලපේදැයි ඔබ ඔබෙන් විමසන්න.

ඔහු, මැතිවරණ කොමිසමේ  සාමාජිකයෙකු වෙනුවෙන් අප රටේ   ව්‍යවස්ථාමය ඉතිහාසයේ  ඉතා වැදගත් නඩුවක පෙනීසිටි නීතිඥයෙකි. ඔහු,  වෛරයේ හා ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන් ආරක්ෂා කිරීමට නඩු ගණනාවක නිර්භයව පෙනී සිටි  නීතිඥයෙකි. ඔහු,  අන්තවාදයට එරෙහිව බලවත් පුද්ගලයින් සමග වෙහෙස නොබලා ගැටුණු නීතිඥයෙකි.

හිජාස් අත්අඩංගුවට ගැනීමත් රඳවා තැබීමත්  නිවැරදි සන්දර්භයක යොදා ගත් කල එහි නියම ස්වරූපය අප හට දර්ශනය වේ:  එය නීති වෘත්තියේ විශිෂ්ටයෙකු ට සිදුකළ අශෝභන ප්‍රහාරයකි.  අන්තවාදය වෙනුවෙන් නොව ඊට එරෙහිව කටයුතු කළ පුද්ගලයෙකුට එරෙහිව දුන් කුරිරු දඬුවමකි. ඔහුගේ නඩුව හුදු දේශපාලන විරුද්ධවාදීන් ඇති පුද්ගලයකුට සිදුවූ අයුක්තිසහගත සැලකීමක් පමණක්ම නොවේ. එය අන්තවාදීන්ට සමාව දෙමින් අන්තවාදීන්ට එරෙහිව හඬ නගන්නන් සිරගත  කරනා  ශ්‍රී ලංකාවේ භූමික මාරුවක  කූටප්‍රාප්තිය කි.

මා විසින් සාමාජිකත්වය වරප්‍රසාදයක් ලෙස සලකන්නා වූ වෘත්තියක හිජාස්  හිස්බුල්ලා  කොටස්කරුවෙකි. මාද ඇතුලුව තරුණ අවදියේදී, ඔහු මුණගැසුනු බොහෝ දෙනෙක් මෙම වෘත්තියට  පිවිසීමට  ඔහු හේතුවක් විය. තවත් බොහෝ දෙනෙක්ට එයට පිවිසීමට ඔහු හේතුවක් වනු නොඅනුමානය. 

ගෙහාන් ගුණතිලක | Gehan Gunatileke