Colombo, Featured Articles, Features

ආදරයේ අංශුමාත්‍රයක් නොදැනීම හෙවත් ආදරය බ්‍රෑන්ඩඩ් වීම…


මියුසික් වීඩියෝ… කියපු ගමන් ආ ඇත්තද? ඉතිං… ඔයිට වඩා දෙයක් කීමට නැත. සින්දුවක් කරපු ගමන් එකට මියුසික් විඩියෝ එකක් කිරීම සහ එසේ නොකළහොත් සිංදුව විකුණගන්න බෑ ගොඩදාගන්න බෑ කියනා කාලසමයකි. ඒ නිසාම මොකක් හෝ දෙයක් කරති. ඒක සිංන්දුවට අදාළද නැද්ද කියන ඒවා ප්‍රශ්ණ නොවේ. අවශ්‍යවන්නේ කැමරාවක් අටවාගෙන මොකක් හෝ කිරීමයි. එහිද වැඩි හරියක් පෙනෙන්නේ එක එක ප්‍රසිද්ධ බ්‍රූන්ඩ්ස්ය. ඒ අතර ඉඩ තිබුණොත් පමණක් මිනිස් රූප ටිකක්ද චලනය වෙයි. ඒවා ද මෙලෝ රහක් නැත. ක්‍රීම්සෝඩා බොමින් ලව් කිරීම, කිට්කැට් කනගමන් ලව් කිරීම ඒ අතර හරි ප්‍රසිද්ධය. නැත්නම් හොඳ සැප වාහනයක් වීඩියෝව පුරාම තිබිය යුතුය. සමහර විට ඉදිරියේදී සිල්නල් ටූත්පේස්ට් ගෙන දත් මදිමින් ලව් කිරීම් ද පැමිණිය හැක. නැතිනම් හාපික්වලින් වැසිකිළි සෝදමින් ලව් කරනවා පෙන්නන්නත් පුළුවනි. එයනම් අදට වඩාත් ගැළපෙනු යැයි සිතේ. නමුත් ඒ සම්බන්ධ අපට මුකුත් කීමට බැරිය. සල්ලි ලැබෙන්නේ ඒ ආයතන තුළින්නම්, ඔවුන්ගේ නිෂ්පාදන පෙන්විය යුතුය. හැබැයි ඒවාට මියුසික් වීඩියෝ කීමට තරම් වටින්නේදැයි සිතාබැලිය යුතුය. ඒවාට මියුසික් ටීවී කොමර්ෂල් හෝ ඇඩ්ස් කියමු යැයි යෝජනා කරමි. බහුතරයක් මියුසික් වීඩියෝ බහුතරයක කථාව එසේ වුවද ඉඳහිට හෝ අපේ බොක්කටම කථාකරන සිංදුවක්, මියුසික් වීඩියෝ එකක් දැකීම ඇත්තටම ත්‍රිලකි. සින්දුව සහ එයට නොදෙවෙනිව පපු කුහරයේ ගැඹුරුම තැනට කථාකරන මියුසික් වීඩියෝ එකක් දැකීමෙන්, ඒ ත්‍රිල ඩබල් ත්‍රිබල්ව වී දැනෙ යි?.

ආදරයේ අංශුමාත්‍රයක් –

එවැනි ත්‍රිලක් දෙන, රහක් ඇති වැඩකි. හුස්ම ගන්නවා කියා දැනෙන වැඩක් කිව්වොත් ලොකු කථාවක් හෝ දන්න භාෂාවෙන් කිව්වෙත් පොරටෝක් එකක් නොවේ. එය මියුසික් වීඩියෝ යැයි කියනා මියුසික් ටීවී ඇඩ්ස්වලට කෙළින්ම අභියෝගකළ නිර්මාණයකි. අශෝක හඳගමගේ පද රචනයට උපරිම සාධාරණයක් සංගීතයෙන් සිදුකරන ජයනාත්ට (ජයනාත් ධර්මවර්ධන) චාපා තම (ඉන්ද්‍රචාපා ලියනගේ) ඉහළම ම සැලකිල්ල දී ඇත. මේ ත්‍රිත්වයේ සුසංයෝගය හොඳබරක් සින්දුවට ගෙනෙද්දී උදය, (උදය ධර්මවර්ධන) එම වීඩියෝවේ අධ්‍යක්‍ෂකවරයා ලෙස තම උපරිම මේ වෙනුවෙන් යොදවා ඇත. මෙය ආප්ප නොවන වැඩක් බවද ඔවුන් එය කෙතරම් ආදරයෙන් හදාවඩා ගෙන ඇති බව මේ වීඩියෝව පුරාම, පදමාලාව පුරාම, සංගීත පුරාම අපිට කියයි. මේ සින්දුව උදයගේ චිත්‍රපටයේ සින්දුව, දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළලේදී සම්මාන 5 ක් ලැබීම ආදියටත් වඩා වැදගත්ම වන්නේ මේ මියුසික් වීඩියෝව සීමිත මිනිත්තු ගණනාවකදී කරනා ආදරය සම්බන්ධව මේ මොහොතේ අප සමාජයේ පවතිනා අර්බුදය ගැන කරනා සමාජ විවරණයයි. ආදරෙයි ආදරෙයි ආදරෙයි හැම තප්පරයක් පුරාම තෙපලුවත්, එය අංශුමාතයක්වත් නොදැනීමේ නුතන අර්බුදයයි. ඒ හරහා මතුව එන සමාජ ඛේදවාචකයයි.

ආදරය කිරීම මෙන්ම ආදරය පිදීමට ඉතා ඉහළ වෙළෙඳපොළ අගයක් ලබාදී ඇති මේ යුගයේ වැඩියෙන්ම නොදැනෙන්නේද වැඩියෙන්ම විකිණෙන්නේද ආදරයයි. ඒ වගේම ලාංකීය වැඩවසම් සමාජය තුළ හැඟීම හිරකර සිටීම ඒ හරහා එකිනෙකාට ඇතිවන පිඩනය, තම තමන් ඉන්නා අවුල මනාව තප්පර කීපයකදී දැවැන්ත සිනමාපටයක් මෙන් ග්‍රහණය කරගෙන ඇත. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියමින් බටහිරට කටේ කෙළ ඉවරවෙන තුරුම බැණවදිමන් නමුත් එහි සියලුම විලාසිතා අනුකරණය කිරීම සහ තවමත් දම්මි- සුගත් මට්ටමේ පවතිනා අපේ ආදර හැඟීම් යන මේ නොගැලපීම නිසා සිදුවන ඝට්ටනයේ අදෝනාව, පීඩනයෙන් මිරිකීම උදය අතිශය සිනමාරූපීව ග්‍රහණය කර ඇත. ඒනිසාම හඳයාගේ වචන අපේ පපුකුහර සිදුරු කරමින් කිඳාබසී.

කෑම බීම, ඇඳුම් පැළදුම් පමණක් නොව ආදරය කළයුතු ආකාරය වගේම පැළදිය යුතු කොණ්ඩමයද වින්තන ලියවිල්ලෙන් කියාදෙන මෙවැනි කාලසමයක් තුළ ආදරයේ පැටළිල්ලෙ තරම කෙතරම්ද කියා හඳගම එක් සින්දුවේ එක් තැනකදී මනාව කියයි.

… වි්‍යාකරණ නැති කැඩීබිඳී ගිය භාෂාවක පැටලී …

අර්බුදය මෙයය. මෙළෝ රහක් නැති ඊනියා සංස්කෘතික, සදාචාරවාදීන් විසින් නිර්මාණය කළ ආකෘතියක් තුළ නූතන ලාංකීය ආදරය වල්වැදී පමණක් නොව දිරාපත්වීද ඇත. මේ වල්වැදුන ආකෘතියෙන් එළියට පැමිණෙන්නන් දේශද්‍රෝහීන්ය. ඊනියා සදාචාරවාදීන්ගේ තමන්ගේ මතය නොපිළිගන්නා කොටස් නම් කිරීමට යොදන නාමය එයයි. ඒ නිසාම දැන් ලාංකීය ආදරය චින්තනය ආදරය ලෙස බ්‍රූන්ඩ් වී ඇත. ආදරයේ වපසරිය, ආදරය කළයුතු වපසරි ද සළකුණු කරන්නේ ඔවුන් විසිනි. විවිධ වූ මිලිටරි අණපනත් ඔස්සේ මේ වපසරියෙන් එහා ආදරය කිරීම නීති විරෝධී කර ඇත. එසේ ආදරය කළහොත් උරුම වන්නේ සිරමැදිරියක හෝ සහතිකයක් නොමැති මරණයකි.

පාලනය පැත්තෙන් ඒ ලෙස සිදුවෙද්දී අනෙක් පැත්තෙන් ආදරය සිල්ලරට වගේම තොග පිටින්ද මාධ්‍ය හරහා විකුණයි. මේ විකිණීමේ ප්‍රතිඵලයක් ලෙස ආදරය අද වනවිට සොයාගත නොහැකි ලෙසම අස්ථාන ගත වී ඇත. එහෙයින් සමහරු මුදලට ආදරය කරති. තවත් අය පෙනුමට ආදරය කරති. සමහරු පුරුද්දට ආදරය කරති. දෙදෙනාට ආදරයේ ෆීල්වීමට අද මොකක් හෝ අතරමැදි තත්ත්වයක් පැවතීම අනිවාර්ය වී ඇත. ඒ නිසාම අතරමැදි කොටස අතුරුදහන් වූ විට ආදරය අන්ත්‍රස්දාන වෙයි. නූතන අර්බුදය මෙයයි.

ඇහිපිල්ළම්කටවත් අවසරයක් තිබුණ් නෑ… හරි හදිස්සිය… ඔබ රෑදුනා… ඇසිල්ලකී…

විනාඩි දෙකෙන් සාදන නූඩ්ල්ස් සොයනා අපි ඒ ලෙසම ඉන්ස්ටන් ආදරය සොයති. වරුගණන් දුරකථනවල එල්ලී කථාකරති. නමුත් දැනිච්ච ආදරයක් නම් නැත. ඒ නිසාම ආදරය නිමවූ වහාම ගුටිකෙළියකි. නැත්නම් අවසානය මහා ඛේදවාචකයකි. ආදරය තේරුම්ගනු බැරිනම් වෙන්වූවාට කිසිදු ප්‍රශ්ණයක් නැත. නමුත් ඒ වෙන්වීමෙන් පසු එකිනෙකාට වෛරකරන වැඩවසම් තත්ත්වයක් ඇතිවීම ඛේදවාචකයකි.

මෙය ලංකාවේ සමාජයේ තුළ මේ අතීතයේ හෝ වර්ථමානයේ වෙනසක් නැත. අනාගතයේදීද වෙනසක් බලාපොරොත්තු විය හැක්කේ සිටින්නාවූ දූපත් මානසික තත්ත්වයේ එළියට පැමිණිය හැකිනම් පමණි. සමාජයන් වශයෙන් පුළුල් මානසික තත්ත්වයකිනි. එය අපේ සමාජය දෙස බලන විට සුවිසල් පිම්මකි. නමුත් එවැනි පිම්මක් පැනීමට ගටක් , උත්සාහයක් පේනතෙක් මානයේවත් නොමැත. ඒසේ ගටක් තිබේනම් අනුන් සලකුණු කළ සීමාවකදී තමන්ගේ ආදරය උකස් කරන්නේ නැත. එසේ වනතුරු නිකමුන් මෙන් බලාසිටින්නේ නැත.

මේ ගීතය අවසාන මෙසේ වෙයි.

ආදරයේ අංශුමාත්‍රයක් දැනුනේ නෑ…

අතිශය නිවැරදිය. ඉතිහාසය පුරාම සිදුවූයේ එයයි. පළමුවැනි කාරණය ආදරයේ අංශුමාතයක් හෝ දැනීමට පළමුව අපි ආදරය කළ යුතුය…දෙක මෙහෙව් සමාජ ක්‍රමයක් තුළ ආදරය අංශුමාත්‍රයක් හෝ දැනුනහොත් එය පුදුමයකි. ආදරයට මේ මේ පවතින බ්‍රුන්ඩින්, සීමා සලකුණු මෙන්න ආදරය විශ්ව මානව භාෂාව කරගන්නාතුරු ආදරය නොදැනෙනවා මිස ඉන් එහාගිය වෙනසක් බලාපොරොත්තු විය නොහැකිය.

දශක කීපයක් ඇතුළත උතුරේ තරුණ අරගල තුනක් වශයෙන් මෙතරම් අර්බුද පැන නගින්නේම ඉතිහාසය පුරාම ආදරෙයේ අංශුමාත්‍රයක්වත් දැනී නැති නිසාය. මෙම ආදරෙයේ නොදැනීමෙන් ඛෙදවාචකයෙන් උපරිම ඵලනෙලා ගත්තේ මෙරට පාලකයන්ය. මේ නොදැනීම ඔවුන් විසින් විවිධ ස්වරූප බවට පත්කලහ. මේ අධිපතිවාදී, මහජාතිකවාදී මනෝ තත්ත්වයක් එහි ප්‍රතිඵලයන්ය. තවමත් ඔවුන් මෙතරම් නීතිදමමින් මේ තත්ත්වය පවත්වාගෙන යාමට තමන්ට හැකි උපරිමය යොදන්නේ හදිසියේ හෝ ආදරයෙන් අංශුමාත්‍රයක් හෝ දැනුණු දවසට, ආදරය නම් වූ විශ්ව මානව භාෂාවෙන් හදවතට හදවතක් කථාකරන පටන් ගත් දවසට ඔවුන්ගේ රෙඳි ගැලවෙන්නට පටන්ගනු ඇති නිසාය.

සමාජයක් ලෙස අපද මෙය නොදැනීම අතපසුකරමින් ආදරය ගැන ලොකු ලොකු දේවල් කියමින් සිටින්නේ ආදරයේ අංශුමාත්‍රයක් හෝ දැණුනු දවසට අපගේද රෙඳි ගැලවෙන නිසාය. ආදරය කියා වෙන මොකද්දෝ ගැන කියමින් සිටි නිසාම ආදරෙයේ භාෂාව අපේ හදවත්වලටද කථා කරන්න ගත් දින අපේ පොරටෝක්ද අහෝසිවී යන හෙයිනි. මෙලෙස අප දෙපිරිසේම යැපීම වෙනුවෙන් ආදරය පාවාදී ජීවත් වෙති. තවත් කල් ඔහොමම ජීවත් වෙන්න… හැබැයි
ආදරයේ අංශුමාත්‍රයක් හෝ දැණුනු දවසට ඔවුන් මෙන්ම අපද නිරුවත් වෙනවා අනිවාර්යය. ඒ නිසා පොඩ්ඩක් හිතලා බලන්න.

ක්‍රිශාන් රාජපක්‍ෂ
Pic – http://edthefallenone.blogspot.com/