Colombo, Featured Articles, Features

ශ්‍රී ලංකාව: එක්සත් ජාතීන්ගේ වදහිංසා කමිටුව ඉදිරියට

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]

”2010 වර්ෂයේ ජගත් මානව හිමිනම් දිනය පසුවී දින පහක් ගිය තැන එනම් දෙසැ 15 දා මිරිහාන පොලීසිය විසින් 40 හැවිරිදි ආර්.එස්. අත් අඩංගුවට ගන්නා ලද්දේ සොරකම් ගණනාවක සැකකරු ලෙස ය. අත් අඩංගුවට ගන්නා ලද එස්.ආර්.ගේ දෑස් රෙදිකඩකින් බැඳ තැනින් තැන ගෙන යන ලද්දේ ජිප් රථය තුලම පහර දෙමිනි.

ඇත්ත නොකීවොත් මරා දමන බවට කැරෙන තර්ජනවලින් ජීප් රථය පිරී තිබුණි. මඳ වේලාවකට පසු මිරිස් කුඩු පිරවූ ප්ලාස්ටික් බැගයකට ආර්.එස්. ගේ හිස ඇතුල් කරන ලදී. ඔහුගේ හුස්ම ගැනීම නතර නොවූවා පමණි. හුස්ම හිර වීමට ඔන්න මෙන්න කියා තිබියදී බෑගය එලියට ගැනීමත් යළි ඇතුල් කිරීමත් දිගටම සිදු කෙරුනේ කුරිරු නමුත් සිනාමුසු පොලිස් ක්‍රිඩාවක් ලෙස ය. යලි මිරිහාන පොලීසියට ගෙන යන ලද ආර්.එස්. බිම බාවා පොලිස් නිලධාරීහු ඔහුගේ කලවා මතට පොලු පහර දුන්හ. අන්තිමේ දී ආර්.එස්. තමා සොරකුයැයි පිළිගත්තේ ය.

පහරදීම නතර කළ පොලීසිය හොරබඩු ලබා ගැනීම පිණිස ඔහු නිවෙසට රැගෙන ගියේ ය. නමුත් නිවසෙහි කිසිදු හොර බඩුවක් තිබුනේ නැත. අසළ තිබූ පොල්ලක් අතට ගත් පොලිස් නිලධාරියෙක් මේ අවස්ථාවෙහි ඔහුගේ බිරිඳ සහ දරුවන් ඉදිරියේ ම ඔහුට දරුණු ලෙස පහර දුන්නේ ය. එම පොල්ල කැඩි ගිය විට තවත් පොල්ලක් සොයාගෙන පහර දුන්නේ ය. ආපසු ගෙන ගොස් මිරිහාන පොලීසියේ ඇති වධක ශාලාවට දැමූ ආර්.එස්.ට මංචු දමා රබර් බටයකින් දිගටම පහර දෙන ලදී. එවිට ආර්.එස්. තමා සොරකම් 21ක්ම කළ බවට පිළිගත්තේ ය. ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ දෙසැම්බර් 19දා එනම් අත් අඩංඟුවට ගැනීමෙන් දින හතරකට පසු ය. අධිකරණ නියෝගයක් මත දෙසැ. 24 දා නිදහස් කරන ලද ආර්.එස්. 25 දින රෝහල් ගත කරන ලදි. පසුව පොලීසය නඩුවක් පැවරුවේ ය. 2011 මාර්තු මාසයේ දි ආර්.එස්. පොලීසියට විරුද්ධව මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලද අතර මැයි 30 දා එය සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම විභාග කිරීමට තීන්දු කළේ ය. වධහිංසා පැමිණ වූ පොලිස් නිලධාරීන් තවමත් නිදැල්ලේය.”

මේ වනාහී ආසියානු මානව හිමිකම් කොමිසම නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් වාර්තා ගත කොට ඇති ශ්‍රී ලංකාවෙහි වධහිංසා පැමිනවීමේ සිදුවීම් දහස් ගණනාවෙන් එකක් පමණි. එම සංවිධානය 2011 දී ශ්‍රී ලංකාවේ පොලිස් වධහිංසා නමින් දීර්ඝ වාර්තාවක් ද එළි දැක්වීය.

පොලිස් නිලධාරියකු හෝ හමුදා නිලධාරියකු සමඟ බහින් බස් විමක් නිසා හෝ එවැනි නිලධාරියකුගේ මිතුරකුගේ උසිගැන්වීමක් නිසා හෝ ඇත්තටම ඇති වූ සැකයක් නිසා හෝ බලගතු දේශපාලනඥයකුගේ දරුවකු සමඟ ඇති වූ ආරෝවක් නිසා හෝ පොලීසියට ගෙන යන ඕනෑම සාමාන්‍ය පුද්ගලයකුට මෙම ඉරණම අත් විය හැකිය. ‛‛ගනින් දෙකයි දෙකේ පොල්ලක් ඕකගෙන් ඇත්ත අහගන්න’’ යන්න ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් පුහුණුවෙන් ලබන පාඩමක් වැන්න.

කවර සැකයක් මත නිසා හෝ වධහිංසා පැමිණ වීම මානව හිමිකම් කෙළෙසීමකි. අප කිසිවකු අපේ හිතවතකුට හෝ ඥාතියකුට එවැනි අමානුෂික හිංසාවන් පමුණුවනු ලැබීමට කැමැති නැත. ඊට විරුද්ධ වෙමු. නමුත් සමස්ත සමාජයම සම්බන්ධයෙන් එම පිළිගැනීම ක්‍රියාත්මක කරවා ගැනීමට අප එතරම් උනන්දු වන්නේ නැත. ශිෂ්ඨාචාරවත් සමාජයක ලක්ෂණය වන්නේ සැමට එක හා සැළකෙන නීතියේ පාලනය පවත්වා ගෙන යෑමය. දැනුවත් පුරවැසි සමාජයක යුතුකම වන්නේ තමාට තිබිය යුතු යැයි පිළිගන්නා අයිතිවාසිකම් අනෙකාට ද තිබිය යුතු බවට වගබලා ගැනීමයි.

අගුලාන පොලිස් වධහිංසා විසින් බිලිගත් දිනේශ් තරංග හෝ දනුශ්ක උදයංග එසේත් නැත්නම් දොම්පේ පොලිස් වදහිංසා විසින් බිලිගත් ගයාන් සාරංග අප හමුවේ සාක්ෂියක් ඉදිරිපත් කළ හොත් එය කොතරම් කුරිරු හා බිහිසුණූ විය හැකි ද ? මේ ලිපිය ඔබ කියවන අවස්ථාවේ දී පොලීසිය හෝ වෙනත් ආරක්ෂ අංශයක් විසින් අත් අඩංගුවට ගෙන ඇති කී දෙනෙක් එවැනි දරුණූ වධහිංසාවන්ට භාජනය වෙමින් ඇත් ද?

ඉදිරි සතියේ දී එනම් නොවැම්බර් 8-9 යන දිනවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වදහිංසා පැමිණවීමට එරෙහි කමිටුව ශ්‍රී ලංකාව පිළිබඳ පවත්වනු ලබන විමර්ශනය අතිශය වැදගත් කමක් ගන්නේ මෙම පසුබිම තුළය. එනම් වධහිංසා පැමිණ වීම ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්‍යාංශයන්හි ආයතන ගත වී ඇත්තේ ය යන ඇත්ත කාරණය නිසා ය.

වධහිංසා පැමිණවීමට එරෙහි ප්‍රඥාප්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කර ගන්නා 1984 මානව හිමිකම් දිනය දා එනම් දෙසැ 10දා ය. එය බලාත්මක කරන ලද්දේ 1987 ජූනි 26දා ය. එබැවින් ම ජූනි 26 දිනය ‛‛ වධහිංසාවන්ට ලක්වූවන්ට සහායවීමේ අන්තර් ජාතික දිනය’’ ලෙස සමරනු ලැබේ. ශ්‍රී ලංකාව 1994 ජනවාරි මාසයේ දී ප්‍රඥාප්තියට අත්සන් කරනු ලදුව වධහිංසා පැමිණ වීම වැළැක්වීමේ ජගත් ව්‍යයාමයේ කොටස්කරුවකු බවට පත් වුවා ය. ඒ අනුව වධහිංසා පැමිණවීම ශ්‍රී ලංකාවෙහි නීතියෙන් දඩුවම් ලැබිය යුතු මානව හිමිකම් කෙළෙසීමකි. රජය වධහංසා පැමිණ වීම වැළැක්වීමට දේශීය වශයෙන් පමණක් නොව අන්තර් ජාතික වශයෙන් ද බැදී සිටී.

එසේ නමුත් මෙම ප්‍රඥාප්තියේ ක්‍රියාකාරිත්වය වඩා ඉදිරියට ගෙන ගිය 2006 දී එජා සංවිධනය විසින් සම්මත කරන ලද වෛකල්පික ලේඛණය නොහොත් ඔප්ෂනල් පොටෝකෝලයට ශ්‍රී ලංකාව අත්සන් කළේ නැත. මන්දයත් එමගින් ‛‛වධංහිංසා සහ අනෙක් කුරිරු, අමානුෂික, පහත් කොට සැළකෙන සැලකීම් හෝ දඩුවම් පමුණුවනු ලබන ජනයාගේ නිදහස අහිමිකර ඇති ස්ථානයන් අන්තර් ජාතික සහ ජාතික ආයතනයන් හි නිත්‍ය පරීක්ෂාවට ලක්වන’’ විධිවිධාන සැළසිය යුතු බව නිර්දේශ කරන නිසා ය. මෙම ඔප්ෂනල් පොටෝකෝලයට අත්සන් කිරීම 2006 සිට මේ දක්වා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ වධහිංසා පමුනුවන රහසිගත වධකදවුරු පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය නිසා විය යුතු ය.

ඒ අනුව සෑම වසර 4කට ම වරක් ශ්‍රී ලංකාව ද මෙම කමිටුව වෙත ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කර කමිටුව හමූයේ පෙනී සිටිය යුතු ය. අවසාන වතාවට ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශනයක් පැවැතියේ 2007 වර්ශයේ දී ය. මේ අනුව 2011 වර්ශයේ ශ්‍රී ලංකාව පිළිබද විමර්ශනය මානව හිමිකම් මහ ලේකම්වරියගේ නිල කාර්‍යාල පරිශ්‍රය වන ජීනීවාහි පැලේ විල්සන් හිදී නොවැම්බර් 08 සහ 09 යන දෙදින පැවැත්වෙයි. 2007 වර්ශයේ පැවැති විමර්ශණයෙන් පසු කමිටුව විසින් ශ්‍රී ලංකාණ්ඩුව වෙත නිර්දේශ පෙළක් ඉදිරිපත් කරන ලදී. එමෙන්ම 2007 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදුන වධහිංසා පැමිණවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මන්ප්‍රෙඩ් නොවක් ද ශ්‍රී ලංකාවෙහි වදහිංසා පැමිණවීම වැළැක්විම පිණිස නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළේ ය. මෙම නිර්දේශයන් අදාළ කර ගනිමින් 2010 සැප්තැම්බර් 23 දාතමින් ශ්‍රී ලංකාණ්ඩුව ඉදිරිපත් කර ඇති වාර්තාවෙහි මෙම නිර්දේශ සම්බන්ධයෙන් දක්වා ඇත්තේ එතරම් සාධනීය ප්‍රතිචාරයක් නොවේ. එසේ නමුත් 2011 ජූනි මාසයේ දී කමිටුව විසින් ශ්‍රී ලංකාණ්ඩුව වෙත ඉදිරිපත් කරන ලද ප්‍රශ්ණ වෙනුවෙන් දීර්ඝ ප්‍රතිචාර ප්‍රකාශයක් ශ්‍රී ලංකාණ්ඩුව විසින් දැන් ඉදිරිපත් කර තිබේ. ඉන් කෙටියෙන් කියා සිටින්නේ ශ්‍රී ලංකාවෙහි රාජ්‍ය විසින් අත් අඩංගුවට ගැනෙන පුද්ගලයිනට වධහිංසා සහ අනෙක් අමානුෂික දඩුවම් පැමිණවීම වැලැක්වීමට සියළු පියවර ගෙන ඇති බවයි.

මෙම වාර්තාවන්ට අමතරව ශ්‍රී ලංකාවේ පවත්නා වධහිංසා සංස්කෘතිය පිළිබදව දේශීය මානව හිමිකම් සංවිධාන ගණනාවක් එක්ව එක් දීර්ඝ වාර්තාවක් ද අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන විසින් විස්තරාත්මක විකල්ප වාර්තා 11ක් ද කමිටුවේ සළකා බැලීම පිණිස ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලාංකික ජනයාගේ මානව හිමිකම් සුරැකීම පිණිස දැරෙන මෙම සද් ව්‍යායාමය සම්බන්ධයෙන් ඇති කණගාටුදායක තත්ත්වය නම් මෙම සියළු සාකච්ජා සහ වාර්තා ඉංග්‍රීසි බසට සහ අන්තර් ජාලයට සීමාවීම ය. ශ්‍රී ලංකාවෙහි ළමා අයිතිවාසිකම් සහ සමාජ, දේශපාලන සහ ආර්ථික අයිතිවාසිකම් පිළිබද 2010 වසර අවසානයේ දී පවත්වන ලද එජා කමිටු සැසිවාර්යන්හි වැදගත් වාර්තාවන්ට සිදුවී ඇත්තේ ද එම ඉරණම යි. ශ්‍රී ලංකාණ්ඩුව මෙන් ම අප ද බොහෝවිට කරන්නේ වාර්තා ඉදිරිපත් කිරිම පමණ ය. අඩුම වශයෙන් ඒවා ජාතික භාෂාවන්ගෙන් පළ කොට නිර්දේශ සමාජගත කිරීමට දැනුවත් උත්සාහයක් නැතිවීම ඛේදජනක ය.

මෙම වධහිංසා පැමිණවීමේ සංස්කෘතිය නිසා පසුගිය දශක හතර පුරා ශ්‍රී ලංකාවෙහි කැරලිකාරී තරුණ පරම්පරාව අතිශය අමානුශික හිංසාවන්ට ලක්විය. එනමුත් එම කැරලිකාරී පරම්පරාවේ සිංහල සහ දෙමළ දේශපාලනය නායකත්වය මෙම වධහිංසා වැළැක්වීමේ ව්‍යායාමය තුල ඇත්තේ ම නැත. එය ද සාකච්ජාවට සහ සැළකිල්ලට කරුණකි.

සුනන්ද දේශප්‍රිය