සිංහල, Colombo, Corruption, Education

දෙමාපියන්ගෙන් 81% විදුහල්පතිවරුන්ට අල්ලස් දෙයි

දරුවන් පාසැල්වලට ඇතුලත් කිරීම සඳහා දෙමාපියන්ගෙන් 81% විදුහල්පතිවරුන්ට අල්ලස් ලබාදෙන බව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මඟින් සිදුකල සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයේ මූලික පදනම ලෙස සැලකෙන ‛‛අධ්‍යාපනයේ’’ දූෂණ සිදුවන ආකාරය හා ප්‍රමාණය’’ මැයෙන් මෙම සමීක්ෂනය සිදුකරනු ලැබුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහචාර්ය අමරසිරි ද සිල්වා මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් විසිනි. පසුගිය 7 වැනිදා කොළඹ රේණුකා හෝටලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු මාධ්‍යවෙත අණාවරනය කෙරිණි.
අනුරාධපුරය, ගාල්ල, මහනුවර, නුවරඑළිය, හා පුත්තලම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අහඹු ලෙස තෝරාගත් නිවෙස් 1000 දෙමාපියන් හා ගුරුවරුන් 100ක්, අධ්‍යාපන නිළධාරීන් 100ක්, ග්‍රාම නිළධාරී කොට්ඨාශ 11 කින් තෝරාගත් තවත් පිරිස් ඇතුළු පුළුල් නියැදියක් උපයෝගී කරගනිමින් මෙම සමීක්ෂණය සිදුකර ඇත. එහිදී හෙළි වූ කරුණු අනුව
මෙලෙස අල්ලස් දෙන දෙමාපියන්ගෙන් 57% ක් මධ්‍යම පාන්තිකයන් වන අතර ගුරුවරු හා අධ්‍යාපන නිළධාරීන්ගෙන් 14% ක් ද තමන්ගේ ළමයින් පාසැලට ඇතුළත් කරවා ගැනිම සඳහා විදුහල්පතිවරුන්ට අල්ලස් දී ඇත.
ගුරුවරුන් 98% කගේ සහ අධ්‍යාපන නිලධාරීන් 91% කගේ මතය අනුව, සිසුන්ට ලිපි ද්‍රව්‍ය, අමතර උපකාරක වැනි මූලික අවශ්‍යතා සපුරාගැනිම සඳහා අමාත්‍යාංශය මඟින් වෙන් කෙරෙන ‛‛ගුණාත්මක යෙදවුම්’’ වල නාස්තියක් සිදුවේ. ගුරුවරුන් 89% සහ නිළධාරීන් 86% කගේ අදහස අනුව ගුණාත්මක යෙදවුම් වඩාත් නුසුදුසු අකාරයෙන් භාවිතා කරන්නේ වතුකරයේය.
ගුරුවරුන් සහ අධ්‍යාපන නිලධාරීන් 75% කගේ ප්‍රතිචාර අනුව වැටුප් වර්ධක සකස් කරවා ගැනීම ඉක්මන් කරගැනිමට විෂයභාර ලිපිකරුවන්ට අල්ලස් දීමට සිදුවී තිබේ. වසර 2-4 කට පෙර උසස්වීම් ලැබූ ඇතැම් ගුරුවරුන්ට මේ දක්වා වැටුප් වර්ධක ලැබී නැත. ගුරුවරුන්ගෙන් 82% ක් සහ නිළධාරීන්ගෙන් 34% ක් වැටුප් වර්ධක සැකසීම පමාවීම නිසා කලකිරීමට පත්ව සිටී.
දේශපාලන ඇඟිළිගැසිම් නිසා ගුරුමාරු ප්‍රතිපත්තිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයි ගුරුවරුන් සහ නිලධාරීන් 85% ප්‍රකාශ කරති.
මෙයට අමතරව රජයේ පාසැල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුගත් කිරීමේ සිට අ.පො.ස (උ.පෙළ) දක්වා සිසුන්ට මුහුණ දීමට සිදු වී අතැයි පැවැසෙන දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව මෙම සමීක්ෂණයේදී විශේෂ අවධානයක් යොමුකර ඇති බව සඳහන් වුනි.
මෙහිදී අදහස් දැක්වූ ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර් නැසණල් ආයතනයෙ විධායක අධ්‍යක්ෂ නිතීඥ ජේ.සී.වැලිඅමුණ මහතා කියා සිටියේ ලංකාවේ අධ්‍යාපන කේෂ්ත්‍රයේ පවතින දුෂණ හා වංචාව ඉවත් කිරීමට මෙම සමීක්ෂණ වාර්ථාව පිටුබලයක් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.