Colombo, end of the War, Featured Articles, Features

‘මෑත කාලයෙදි මේ රටේ යුද්ධය ගැන චිත්‍රපට තිබ්බා. ඒවා මහ අමු ව්‍යාජ කෘති.‘


[Editors Note] ලංකාවේ දෙමළ සිනමාව සහ එහි චලනයන් මෙන්ම යුද්ධයෙන් පසු දෙමළ සිනමාවේ තත්ත්වයන් පිළිබදව ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ධර්මසේන පතිරාජ ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග පසුගිය දා සාකච්ඡාවක නිරත වූ අතර පහත පළවන්නේ එම සාකච්ඡාවේ සටහනයි.

මම 1970 දශකයේ අවසාන භාගය වන විට යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස ඉන්න කාලේ තමයි මම ‛පොන්මනී’ චිත්‍රපටය පටන් ගත්තෙ. මට ඒ දවස් වල මේක සිංහල සිනමාව, මේක දෙමළ සිනමාව කියන හැඟීම විශාල වෙනසක් විදිහට දැනුනෙ නැහැ. වෙන රටකට ගිහිල්ලා, වෙන ජාතියක් එක්ක ජීවත් වෙනවා කියන හැඟීම මට දැනුනෙ නැහැ. අනික් කාරණය තමයි ඒ භාෂාව අහලා පුරුදු නිසා, ඒ මිනිස්සුන්ව පොඩි කාලෙ ඉඳලා ආශ්‍රය කරලා තිබුණ නිසාත් මට ඒ තරම් අමුත්තක් දැනුනෙ නැහැ. විශ්ව විද්‍යාලයෙත්, විශ්ව විද්‍යාලයෙන් පිටත් හිටපු කලාකාරයො සහ පිරිස මා එක්ක එකතු වෙලා අපේ අත්දැකීම එකක් හැටියට බෙදාගෙන, මේක අපේ දෙයක් හැටියට සලකගෙන කරන්න තිබුණු ඕනෙකමත්, එහෙම කරන්න තිබුණු ධෛර්යයත්, කැපවීමත් නිසා ආපු දෙයක් තමයි ‛පොන්මනී’ කියන්නෙ.

සිනමාව කියන එක ගත්තොත් ඒකට ජාතියක් නැහැ. ඒක මේ අපේ කොදෙව්වෙ ඉපදුණු දෙයක් නෙමෙයි. මේ සිංහල සිනමාව, මේ අපේ සංස්කෘතිය කියලා දැන් අත්පත් කරගෙන ඉන්න ලෑස්ති වුණාට ඒක එහෙම එකක් නෙමෙයි. මේ වගේ කලාවන් යම් කිසි ආකාරයකට වර්ධනය වෙන කොට ඒවා තමන්ගෙ, අනුන්ගෙ කියලා වෙන්නෙ නැහැ. ඒවා ඒ කලා මාධ්‍ය ඇතුළෙ, ඒ මාධ්‍ය තුළ තියෙන දේවල් අස්සෙ උපදින දේවල් මිසක් ඉන් එහාට බොහොම එකිනෙක වෙන් වෙච්ච දේවල් නෙමෙයි. ආරම්භයෙදි කඩවුණු පොරොන්දුවෙ ඉඳලා පටන් ගත්ත සිනමාව අපේද කියලා, අපිට එක පැත්තකින් හිතන්න වෙනවා. දැන් එහෙම ප්‍රශ්න කරගත්තොත් එහෙම කවුද අපේ කියලා හිටියෙ? කාර්මික ශිල්පියො කවුද?

අධ්‍යක්ෂකවරු කවුද? සංගීතය අපේද? එවැනි ගැටළු ගොඩකට මැදිවෙනවා. ඉන්දීය සිනමාව ආශ්‍රයෙන් වැඩුණු අපේ සිනමාව ඇතුළෙ අපේ අනන්‍යතාවය මාධ්‍යක් හැටියට පෙන්වන්නෙ කොහොමද? ගමක් පෙන්වලා, ගමේ බුලත් විට කාලා, ගමේ විදිහට ඔසරියක් ඇඳගෙන ගියාම මේක සිංහල වෙනවද කියන ප්‍රශ්නය තියෙනවා.

මම හිතන්නෙ වර්තමාන ගැටළුව වෙන්නෙ ජාතික වශයෙන් මේ සිනමාව වෙන්කරලා දක්වන්න හදන ඕනෙ කම. මම හිතන්නේ ඒ මිම්මෙන් ගත්තොත් එහෙම සිනමාව පිළිබඳ විතරක් නෙමෙයි, ජාතිය පිළිබඳව තියෙන කතිකාව ඇතුළෙත් යම් යම් අර්බුද ඇතිවෙනවා. වර්තමානයෙ ඇයි දෙමළ භාෂීය සිනමාවක් අපේ රටේ නැත්තෙ කියලා සමහරු අහනවා. මේකට එකම හේතුව තමයි අපේ රටේ ජාතියක් හැටියට එකම හැඟීමෙන් ජීවත් වෙන්නෙ නැතිකමෙන් ඇතිවෙන ගැටළුව. අපි අනන්ත අප්‍රමාණ දෙමළ චිත්‍රපට දකුණු ඉන්දියාවෙන් එන ඒවා බලනවා. ඒ වගේම අනන්ත අප්‍රමාණ ලෙස හින්දි වගේ විවිධ චිත්‍රපටි බලනවා. නමුත් දේශීය වශයෙන් දෙමළ චිත්‍රපටියක් දැක්කොත් එහෙම ඒක අපේ නෙමෙයි කියන හැඟීම තියෙනවා. මම ‛පොන්මනි’ කරපු වෙලාවෙ කවුරුවත් ‛පොන්මනී’ බැලුවෙ නැහැ. සිංහල පමණක් නෙමෙයි, දෙමළ ප්‍රේක්ෂකයොත් බැලුවෙ නැහැ. එසේ වෙන්නෙ, ඒක අපේ සිනමාව නෙමෙයි වගේ තත්ත්වයක් එය නිෂ්පාදනය වුණු කාලෙ දැනුනු හින්දා. ජාතියක් ලෙස සිතීමේ පුරුද්ද, අභ්‍යාසය අපේ ජාතීන් ඇතුළෙ තිබුණ නැති හින්දා. ඒක අපි හිතන්නෙ සිනමාව පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. ජාතිය කියන්නෙ මොකක්ද? ජාතියෙ නිර්ණය වෙන්නෙ මොන වගේ දේවල් වලින්ද? ජාතිය පිළිබඳ කතිකාව මේ සමාජ අධ්‍යාත්මය ඇතුළෙ තිබුණද? කියන එකත් එක්ක සම්බන්ධයි. මම හිතන්නෙ දේශපාලනික වශයෙන්, සංස්කෘතික වශයෙන් පැහැදිලිව එහෙම තීන්දු කරන්න පුළුවන් විදිහේ සමාජ පරිසරයක් අපි ඇතුළෙ වර්ධනය වුණේ නැහැ. මේක නිසා කිසියම් ආකාරයකට දෙමළ සිනමාව අනෙකාගේ සිනමාව බවට පත්වෙලා තියෙනවා. මම සිංහල කෙනෙක් හැටියට දෙමළ චිත්‍රපටියක් කරන විට මම පිට මනුස්සයෙක් කියලා අපේ ජාතියම හිතන්න පුළුවන්. අනික් පැත්තෙන් දෙමළ සිනමාව කියලා ගත්තාම අනෙකාගේ සිනමාව කියලා ප්‍රතික්ෂේප කරන දැක්මක් අපේ දකුණේ අයවලුන්ගේ ඇතිවෙන්න ඉඩ තියෙනවා.

මෑතදී ප්‍රසන්නත්, හඳගමත් හැරුණ විට දෙමළ භාෂීය සිනමාව ගැන හිතපු කිසිකෙනෙක් නැහැ. මෙතනත් එක ගැටළුවක් තියෙනවා. ඇයි මේ අය විතරක් ගිහිල්ලා දෙමළ චිත්‍රපට හදන්න යන්නෙ කියලා. දෙමළ භාෂාව කතා කරන කලාකරුවන් අතරින් ඇයි මෙහෙම සිනමා සම්ප්‍රදායක් ඇතිවෙන්නෙ නැත්තෙ. එහෙම සිනමාවක් මම දන්න විදිහට හැදිලා තිබුණා.

කිලිනොච්චියෙදි එල්.ටී.ටී.ඊ එකේ රූපවාහිනී තුළ ඒ අයම මැදිහත් වෙලා සිනමාවක් හදන්න කරපු උත්සාහයන් මම දැකලා තියෙනවා . ඒවා අතර කෙටි චිත්‍රපට, වෘත්තාන්ත චිත්‍රපට වැනි හුඟක් චිත්‍රපට තිබුණා. නමුත් ඒවා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රචාරක කෘතින් ලෙස ආවෙ. නමුත් ප්‍රචාරයට හරි, තමන්ට තියෙන ගැටළු කතා කරන්න හරි භාවිතා කරන්න පුළුවන් මාධ්‍යක් හැටියට සිනමාව භාවිතා කරන්න ඕනැකමක් ඒවා ඇතුළෙ තිබුණා. ඒක නිසා සිනමාකරුවන් හැදුනෙ නැහැ කියන්න බැහැ. නමුත් ඒ සිනමාකරුවන්ගෙ සිනමා කෘති එලියට ආවෙ නැහැ. ඒකට හේතුව වුණේ මේ රටේ තිබුණ දේශපාලන ප්‍රශ්නය ඇතුළෙ සිදුවුණු දෙයක්. නැත්නම් නිදහස්ව නිවහල්ව උතුරෙත්, නැගෙනහිරත් සිනමාවක් යුද්ධෙට ඉස්සෙලත් හැදිලා තිබුණා.

මෑත කාලයෙදි මේ රටේ යුද්ධය ගැන චිත්‍රපට තිබ්බා. ඒවා මහ අමු ව්‍යාජ කෘති. ඒවායෙ දෙමළ මිනිස්සු ගැන කතා කරනවා. නමුත් දෙමළ මිනිස්සුන්ව දැකලා නැති සිංහල මිනිස්සු අතින් තමයි මේවා හැදිලා තියෙන්නෙ. ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්න, ඒ මිනිස්සුන්ගේ දේශපාලන, සංස්කෘතික අධ්‍යාත්මය නොදැක හදාගත්ත, කිසියම් ආකාරයට දකුණෙ ඉඳලා සංකල්පීයකරණය කරන්න හදපු දෙමළ මිනිස්සු ගැන කරපු චිත්‍රපටි. ඒව හදලා වැඩක් නැහැ. යුද්ධය කියන එක ගැන හරි, මිනිස්සුන්ගෙ අවතැන් වීම ගැන හරි හදන්න තරම් දකුණෙ ඉන්න මිනිස්සුන්ට තියෙන අත්දැකීම මොකක්ද? පුද්ගලිකව ගත්තොත් එහෙම ඉතා අමාරු මට මේක ඉතා අමාරු දෙයක්. ‛ඉන් සර්ච් ඔෆ් එ රෝඩ්’(In search of a Road) කියලා වාර්තාමය වෘත්තාන්තයක් හදන්න මම එක් අවස්ථාවක උත්සාහ කළා. නමුත් එතනදි මට ඇති වුණ දෙයක් තමයි එහෙම යුද්ධයට යට වෙලා පීඩා වින්ද මිනිස්සු පිළිබඳව චිත්‍රපටයක් හදනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි කියන එක. ඒක කොහොමද අපේ සමාජ අධ්‍යාත්මය ඇතුළට එන්නෙ කියන ගැටළුව තියෙනවා. ඉතින් ඒ ගැටළුව විසදෙන්නෙ නැතිව මම හිතන්නෙ නැහැ කාටවත් එහෙම චිත්‍රපටි කරන්න හැකිවෙයි කියලා. ඒක එතනින්ම බිහිවෙන්න ඕනෙ. ජාතික සිනමාවක් හැටියට දෙමළ භාෂීය සිනමාවක් වර්ධනය කරන්න ඕනෙ නම් කරන්න ඕනෙ දේ තමයි ඒ මිනිසුන්ගේ ජාතිය, සංස්කෘතිය තේරුම් ගන්න අයට ඒක භාර දෙන එක. ඉතින් ඒ උනන්දු කිරීම නැතිව ජාතික දෙමළ භාෂීය සිනමාවක් මේ රටේ බිහිවෙයි කියලා මම නම් හිතන්නෙ නැහැ.

අද ජාතික චිත්‍රපටි කියලා හදන ඒවා ඔක්කොම තොරණ් වගේ. තොරණක් බලන්න ගියාම වගේ තමයි මේව බලන්න ගියාම. ඒවට කතාවක් තියෙනවා, මිනිස්සු වැල නොකැඩී එනවා, කිසි දෙයක් නැහැ, බලලා ආපහු යනවා, සිංදු තියෙනවා, කතාවල් පවත්වනවා, ලස්සන වස්ත්‍ර ඇඳගෙන ඉන්නවා. මේ වගේ තොරණ් ප්‍රවණතාවයක් තියෙන්නෙ. මේවට ජාතික චිත්‍රපටි කියනවා. මම හිතන්නෙ ප්‍රශ්නය යන්නෙ අපේ වැරදි පැත්තට. කර්මාන්තයයි, ව්‍යාපාරයයි, කලාවයි කියන ඒවා සම්පූර්ණයෙන්ම වැරදි විදිහට අර්ථකතනය වෙලා තියෙන්නෙ. රාජ්‍ය ඇතුළෙ තියෙන මතවාදීමය ගැටළුව මිසක් ඉන් එහාට මේක ඇතුළෙ මුකුත් නැහැ. කරන්න තියෙන දේ තමයි ඉතාම ස්වාධීනව, විවේකීව හිතන, ඒ පිළිබඳව කැපවීමක්, වැටහීමක් තියෙන කලාකරුවන් අතරට මේ කාර්යය යන්න ඕනෙ. එතනයි චිත්‍රපටි නිපදවෙන්නෙ. මෙතන මහා දරිද්‍රතාවයක් වෙන්නෙ. සිනමාකාරයා කියන්නෙ තනියෙන් වැඩ කරන්න පුළුවන් පුද්ගලයෙක් නෙමෙයි. එයාට පැවත්මක් තියෙන්නෙ මේ වගේ විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය මාධ්‍යකට ඇවිත් කොහොමද තමන්ගෙ ප්‍රකාශනය එලියට දක්වන්නෙ කියන එක මත. ඒ ගැටළුව, ඒ අමාරුව, ඒ අභියෝගය මේ මාධ්‍ය ඇතුළෙ තියෙනවා. ඒක හින්දා තමයි මූලික වශයෙන්ම දෙමළ භාෂිත සිනමාවක් ජාතික වශයෙන් එලි දකින්නෙ නැත්තෙ.

ප්‍රවීණ සිනමාවේදී ධර්මසේන පතිරාජ
(සාකච්ඡාවක් ඇසුරෙනි)