සිංහල, Colombo, Democracy, IDPs and refugees, Media

සරණාගත ප්‍රශ්නය සහ මරණ වරෙන්තු

පුරවැසියකුගේ සටහන්
ලංකා ටුර්ත් වෙබ් අඩවිය යනු ජනතා විමුක්ති පෙරමුණට හිතවත් ඉංග්‍රීසියෙන් පළවන වෙබ් අඩවියකි. එම වෙබ් අඩවිය පරිශීලනය කරන කවරකුට වුව ඉතා ලෙහෙසියෙන් ඒ බව තේරුම් ගත හැකිය. එම වෙබ් අඩවිය මා ජීනිවාහී මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සභා වාරයේ කළ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ලිපියක් පළ කළේ ය. එය පළ කෙරුණේ මැයි 28වන දින ය. “සුනන්ද දේශප්‍රිය එක්සත් ජාතීන්ගේ කාර්‍යාලයක් මෙරටට ඉල්ලා සිටිමින් සරණාගත කදවුරු සහන සේවකයිනට විවෘත කරන ලෙස ඉල්ලයි” යන මාතෘකාව සහිත එම පුවතෙහි කරුණු ගණනාවක් දක්වා තිබුණි:
1. වවුනියාවේ සරණාගත කඳවූරු සහන සේවකයින්ට සහ ජනමාධ්‍යවේදීන්ට විවෘත කළ යුතු ය.
2. වවුනියාවේ සරණාගත කඳවුරුවල තත්ත්වය ඉතා කණගාටුදායකය.
3. ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් දරුනු මර්දනයකට ලක් කර ඇති අතර ඔව්හු ජීවිත තර්ජනයන්ට මුහුණ දෙති. පරීක්ෂන නොකරනු ලබන ජනමාධ්‍යවේදින්, මාධ්‍යසේවකයින් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ඝාතනය කිරීම් ඉහළ ගොස් තිබේ.
5. මානව හිමිකම් කෙළසීම් නිරීක්ෂනය කිරීමට සහ අදාළ සහයෝගිතාවයන් කාර්‍යක්ෂමව කරගෙන යෑමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා කාර්‍යයන් ශක්තිමත් කරන්න.
එයට අමතරව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙහි මවිසින් කරන ලදැයි කියන රුපියක් දශ ලක්ෂයක වංචාවක් පිළිබඳ ව ද එහි සදහන් වන නමුත් මේතාක් එවැනි චෝදනාවක් එම ආයතනයෙන් කර නැති බැවින් ඒ ගැන මම උනන්දු නොවෙමි. මා උනන්දු වන්නේ වවුනියාවේ සරණාගත කදවුරු සම්බන්ධයෙන් එද මා ප්‍රකාශ කළ දේ සහ අද ජනතා විමුක්ති පෙරමුණ දරණ අදහස් සංසන්දනය කර බැලීමට ය.
එයට පෙර මෙම ලිපියට ලද ප්‍රතිචාර එම වෙබ් අඩවියේ කතුවරයා විසින් අනුමත කරන ලදුව අන්වර්ථ නම් වලින් දක්වා ඇති සටහන් කිහිපයක් දැක්වීම වැදගත් ය.
නුඹට ලැබිය යුත්තේ පොද්දල ජයන්තට කරපු දේමයි. උඹ මැරෙන්න ඕන මහපාරක. කව්රුවත් දුක්වෙන එකක් නෑ. – ජූනි 03, සමනලයා විසිනි
ලංකාවට එන්න එපා. අපේ මිනිස්සු උඹව මරාවි. -ජූනි 02, යූස් විසිනි
මෙම සටහන් පළ කැරෙන්නේ වෙබ් අඩවියේ කතුවරයාගේ අනුමැතිය ඇතිව බව යළි සඳහන් කරන්නේ පහත පළ වන ජවිපෙ නායකයින්ගේ අදහස් ද මා උපුටා ගන්නේ එම වෙබ් අඩවියෙන්ම නිසා ය.
…..තව දුරටත් කතා කරමින් ( ජවිපෙ ප්‍රධාන ලේකම්) ටිල්වින් සිල්වා සහෝදරයා මෙසේ ද කීය: “ සරණාගත කඳවුරුවල තත්ත්වය ඉතා ඛේදජනකය. මූලික පහසුකම් වන ජලය, අහාර, සෞඛ්‍ය සේවා, අප්‍රමාණවත් ය. … ආණ්ඩුව සරණාගත කඳවුරු වලට සහන දෙනු වෙනුවට මෙම කඳවුරු වලට යෑම සියළු දේශපාලන පක්ෂ සහ සංවිධානයන්ට තහනම් කොට තිබේ. කදවුරුවල මෙම කණගාටුදායක තත්ත්වය කළක් පැවැතුණහොත් මෙම ජනයා බෙදුම්වාදයේ ගොදුරු බවට පත්වීමට ඉඩ තිබේ. (2009ජූලි 03 එම වෙබ් අඩවිය)
ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක)….. සියල්ලටම ප්‍රථමයෙන් අප සරණාගත ජනයා යළි පදිංචි කළ යුතු ය. 300,000 සරණාගත ජනයා දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවත් වෙති. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තු කමිටුවක් පත් කළ යුතු බවටත් නිදහස් ජනමාධ්‍යන්ට කඳවුරු විවෘත කළ යුතු බවත් කියන්නේ එනිසා ය. ආණ්ඩුව මෙම සරණාගත ජනයා පාවිච්චි කරන්නේ දේශපාලන ක්‍රීඩාව සඳහා ය. පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට හෝ ස්වාධීන ජනමාධ්‍යවේදීන්ට මෙම කඳවුරු කරා ගොස් නිදහසේ තොරතුරු සොයා බැලීමට ආණ්ඩුව අවසර දෙන්නේ නැත. මෙම කඳවුරු පාලනය විවෘත සහ පාරදෘශ්‍ය නැත. මෙම කඳවුරුවල සිදුවන්නේ කුමක්දැයි වාර්තා කිරීමට ජනමාධ්‍යට අවස්ථාව තිබිය යුතු ය. ( ජූලි 05, ද නේෂන් පුවත්පතට දුන් සම්මුඛ සාකච්චාව)
මෙයට අමතරව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත්කරන ලද දෙමළ ජනයා මුහුණ දෙන ප්‍රශ්න අවම කිරීමේ සැළැස්මට මෙසේ අවධාරණය කරයි:
“යුද්ධය අවසන් නිසා එදිනෙදා ජන ජීවිතයට සහ ආර්ථික සංවර්ධනයට බාධාවක් ව ඇති අධි ආරක්ෂක කලාප පියවරින් පියවර ඉවත් කළ යුතු ය. යුද්ධය නිසා ජීවිත අහිමි වූ සියළු පවුල්වලට සාධාරණ වන්දි මුදලක් ගෙවිය යුතු ය. පාර්ලිමේන්තුවෙහි නියෝජනය වන සියළු ජනතා නියෝජිතයිනට සරණාගත කඳවුරු කරා ගොස් අවශ්‍යතා පිරික්සා බලා පිළියම් සෙවීමට අවකාශය තිබිය යුතු ය. 50,000 ක් වන දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මානසික සහ ද්‍රව්‍යමය අවශයතා වහාම සැපයිය යුතු ය.
“සියළු සරණාගත ජනයාගේ සියළු මූලික හිමිකම් සුරැකිය යුතු අතර ව්‍යවස්ථාවෙහි සදහන් මානව හිමිකම් ඔව්න් යළි පංදිචි කිරීමෙන් පසු ද සුරැකිය යුතු ය.
“ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හෝ බාර වූ හෝ සියළු දෙනා පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය. සියළු ජන ප්‍රජාවන්ට සිදූවූ අසාධාරණයන් සොයා බලා එදිරිවාදිකම් පිටුදැකීම පිණිස විසදුම් ඉදිරිපත් කිරීමට සත්‍යයේ සහ සහජීවනයේ කොමිසමක් පත් කළ යුතු ය.” ( ජූලි 15 එම වෙබ් අඩවිය)
මෙම වාර්තාවන් සම්බන්ධයෙන් ද අන්වර්ථ නම්වලින් සටහන් වෙබ් අඩවියෙහි සදහන් පළ කර තිබේ. පුදුමය නම් මෙම සටහන් කිසිවක් විසින් ජවිපෙ නායකයින්ගේ ප්‍රකාශ කිසිවක් හෙළා දැක නොතිබීම ය. ඉන් එක් සටහනක සරණාගත කඳවුරු හදුන්වා ඇත්තේ සිර කඳවුරු ලෙස ය. රටම මිලිටරි කරණයකට යටත් නොකරන ලෙස ද එවැනි සටහනකින් කියා සිටී. ජවිපෙ සරණාගත ජනයා, යුද්දයෙන් විපතට පත් ජනයා සහ අධි ආරක්ෂ කලාප ගැන දැන් දරන ස්ථාවරයන් මවිසින් එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේදී එම කරුණූ අරභයා දක්වන ලද ප්‍රධාන අදහස් වලට සමානය. නැති නම් ඊට වඩා ප්‍රබල ය.

මා මරා දැමිය යුතු බවට එම වෙබ් අඩවිය කීවේ එම අදහස් නිසා ය. දැන් ජවිපෙ නායකත්වය ඒ හා සමාන අදහස් දරණ කළ එම වෙබ් අඩවියම ඒ අදහස් දකින්නේ ඉතා වැදගත් අදහස් ලෙස ය.
ජූලි 23 දින ඩේලි මිරර් පුවත්පතෙහි වාර්තාවකට අනුව ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට මෙසේ කියා තිබේ: “අත් අඩංගුවෙහි සිටින දෙමළ තරුණ තරුණියන්ගේ නම් ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය. 10,000 එම පිරිස අතර 1000 කට කිසිදු චෝදනාවක් නැත. මෙම රුඳවුම්කරුවන්ගේ ඉරණම දැන ගැනීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාවක් තිබිය යුතු ය.”
මෙම ස්ථාවරයන් අගය කළ යුතු ය. ඒවාට සහාය දිය යුතු ය. මෙම ස්ථාවරයන් නිසා ජවිපෙ ද අන්තවාදී පුවත්පත් සහ වෙබ් අඩවි කතුවරුන්ගේ ද දේශපාලනඥයින්ගේ ද ද්‍රෝහීන්ගේ ලැයිස්තුවට නොවැටෙවා යයි ප්‍රාර්ථනා කරමි.