සිංහල, Colombo, Democracy, Media

ලංකා කාර්යාලයට ටී.අයි.ඩී ය කඩාවදී

නුගේගොඩ පිහිටි ලංකා පුවත්පත් ආයතනයේ කාර්යාලයට අද උදෑසන පැමිණි ත්‍රස්ත විමර්ශණ ඒකකයේ නිළධාරින් කණ්ඩායමක් ආයතනය පූර්ණ පරීක්ෂාවට ලක්කරමින් එහි සිටි මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කිරීමකට ලක්කර තිබේ.
ත්‍රස්ත විමර්ශන ඒකකය මේ ආකාරයට ලංකා පුවත්පත් කාර්යාලය පරීක්ෂාවට ලක්කර ඇත්තේ පසුගිය අගහරුවාදා(2දා) ලංකා පුවත්පතේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් දෙනියාය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වීමේන් අනතුරුව ත්‍රස්ත විමර්ශණ අංශයට යොමුකිරිමෙන් පසුවය.
අදාල සිදුවීමෙන් පසු ලංකා පුවත්පතේ ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා පසුගිය ඉරිදා ත්‍රස්ත විමර්ෂණ අංශයට කැඳවා පැයකට අධික කාලයක් ප්‍රශ්ණ කිරීමකට ලක්කර ඇති අතර තවත් මාධ්‍යවේදීන් තිදෙනෙකුටද අද දින (7දා) ත්‍රස්ත විමර්ෂණ අංශය වෙත වාර්තා කරන ලෙස දැනුම් දීමක් ද කර ඇත.
ලංකා පුවත්පතේ මාධ්‍යවේදීන් තිදෙනෙකු සිය පුවත් පතට විශේෂාංග වාර්තාවක් සැපයීම සදහා මාතර, දෙනියාය ප්‍රදේශයට ගොස් සිටියදි පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ බව ලංකා පුවත්පතේ ප්‍රධාන කතුවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලද අතර මේ අකාරයට මාධ්‍යවේදීන් පිරිස අත්අඩංගුවට පත්ව ඇත්තේ ජනාධිපතිවරයාගේ සමීප ඥාතිවරයෙකුට අයත් වතු යායක සේවක පිරිසක් සමග සාකච්ඡා කරමින් සිටියදී බව පැවසේ. මෙම අත්අඩංගුවට ගැනීම පිළිබදව පොලිස් මූළස්ථානය විසින් විශේෂ වාර්තාවක්ද මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර එහි සඳහන්ව ඇත්තේ අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් පිරිස ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා නිතර පැමිණෙන ස්ථානයකට අදාලව තොරතුරු රැස්කරමින් සිටි බවට සාධක ඇති නිසා මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බවයි.
මේ අතර ශ්‍රි ලංකාවේ මාධ්‍ය සංවිධාන පහක් මේ පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ සිය වෘත්තීය කටයුතු උදෙසා දෙනියාය ප්‍රදේශයට ගොස් සිටි මාධ්‍යවේදීන් කණ්ඩායමක් මේ ආකාරයට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම බලවත් ලෙස හෙළා දකින බවයි. එමෙන්ම මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන මර්ධනය කිරීම සදහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගැනීම බිහිසුනු ප්‍රවනතාවයක් බව ප්‍රකාශ කරන මෙම මාධ්‍ය සංවිධාන අදාල මාධ්‍යවේදින්ට එරෙහිව කටයුතු කිරීමට හේතු ඇත්නම් එය සමාන්‍ය නිතිය යටතේ සිදුකරන ලෙසටද ඉල්ලිමක් කර ඇත.