සිංහල, Colombo, Democracy, Human Rights, Media

තිස්ස කළ වරද සහ අපි (2)

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

අගොස්තු 31 වනදා විසි වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමකට යටත් කළ තිස්ස බදාදා උදෑසන මා මේ ලියන වේලාවෙහි වැලිකඩ හිරගෙදර ජම්පරය සහ හැට්ටය ඇඳ උදෑසන වැඩ මුරයට ලැහැස්ති වනවා ඇත. නිදා ගැනීමට ලැබෙන්නේ කැන්වස් රෙට්ටුවකි. එය බිම එලා ගෙන නිදා ගත යුතු ය. රාත්‍රිය උණුසුම් මාර්තු අප්‍රේල් මැයි අගොස්තු යනාදි කාලයන්හි රාත්‍රිය දහඩියෙන් නැහැවී යන තරම් ය. කොට්ටයක් ලැබීම ස්ථිර නැත.

“සිරකරුවෝද මනුෂ්‍යයෝය” කියා වැලිකඩ සිර ගෙදර බිත්තියේ ලොකු අකුරින් ලියා ඇතත් සිරකරුවන්ට ලැබෙන සැළකීම අමානුෂිකය. ඇඳක්, මේසයක්, රාත්‍රියට ඇදීමට යෝග්‍ය ඇදුමක්, වතුර ජෝගුවක්, වීදුරුවක් සහ පිරිසිදු කළ හැකි පිඟානක් යනාදිය ලැබෙන්නේ නැත. ඇදුම් කට්ටල දෙකක් ලැබේ. සතිපතා එකක් හැර එකක් සේදීම පිනිස ලොන්ඩරි පාටියට දිය හැකි ය. යට ඇදුම් ද ලැබේ. අමුරෙදි වලින් මැසු ඒවා ය. සෑම දිනකම පාන්දර 5.30ට පමණ අවධි විය යුතු ය. රඳවා සිටින්නේ කාමරයක නම් මූත්‍රා බාල්දිය ගෙන ගොස් වැසිකිළියට හැලීම දවසේ ප්‍රථම කාරිය යි. අනතුරුව මුහුණ කට සෝදා ගෙන උදෑසන කෑම පෝලිමට යනවා ඇත. ඉන් අනතුරුව වැඩ පාටියට යා යුතු ය. දවල් කෑමට පැයක විවේකයකි. ඒ විවේකය ලැබෙන්නේ සිර කූඩු අතුලේ ය. සවස 4.30ට වැඩ පාටිය අවසන් ය. රෑ කෑම පෝලිම සවස 5.30ට ය. කිරි තේ කියා දෙයක් හිර ගෙදර නැත.

ශ්‍රි ලංකාවේ බන්ධනාගාර පද්දතියෙහි ඉදිරිගාමී ප්‍රතිසංස්කරණයක් අප දන්නා කාලයක සිදු වී නැත. අලු කෙසෙල් සහ දෙහි වැඩිපුර දීම මගින් ලිංගික අවශ්‍යතා පාලනය වේ යැයි යන නිගමනය අනුව අප සිටි කාලයේ නම් එපා වනතුරුම අලු කෙසෙල් කෑවෙමු. මුදල් සහ පාලක අනුග්‍රහය තිබේ නම් මේ සියල්ළ වෙනස් කර ගැනීම සිර ගෙදර එතරම් දෙයක් නොවේ.

අපට නම් වසර හය (72- 77) පුරාම ලැබුනේ පාන් කාලකුත් අරික්කාලක් සමඟ පොල් සම්බල් ය. දැන් මා දන්නා තරමින් කෑම වේල් තුනම බත් ය. අලුමීනියම් කොප්පයට තේ එකක් ලැබුනේ අතට සීනි සමඟ ය. සමහර විට මේ පැවැතුම් වෙනස් වී තිබෙන්නට ද පුළුවන. අපට බරපතල වැඩ වශයෙන් තිබුනේ මැහුම් පාටිය යි. මුල් මාසයේ දුන්නේ ලණූ ඇඹරීමට ය. ලණු ඇඹරීම අප මාපිය පවුල් හි සම්ප්‍රදායික කාරියක් වු බැවින් එය කජු කෑමක් වැනි විය. දවසකට ලණු කැරලි ගණනාවක් ඇඹරිය යුතු ය. නමුත් අප අතුරින් බොහෝ දෙනෙකු මේ කිසිදු කාරියක් කලේ නැත. පිළිසඳරේ යෙදෙමින් ද පොත පත කියවමින් ද කාලය ගත කළහ. අප රඳවා සිටි ජී සහ එච් වාට්ටු දෙකෙහි හතලිහක් තරම් “භයානක” ජවිපෙ සිරකරුවෝ රඳවා සිටිය හ. නමුත් අප හැමට බරපතල වැඩ කිරීමට තිබුණේ මහන මැෂින් 06ක් පමණි. අනෙක් අයට බොත්තම් කාසි මැසීම, රෙදි කැපීම, වාටි පඤාදු කිරීම වැනි වැඩ පැවැරුණි.

එදා 1971 දී අප සිර ගත කැරුණේ ආයුධ සන්නද්ධ කැරැල්ලකට නායකත්වය දීම නිසා ය. අපේ නඩුව ඇසුණේ අපරාධ විනිශ්චය කොමිෂන් සභා පනත නම් ඒ සඳහා ම සම්මත කර ගත් දරුනු විසකුරු පනතක් යටතේ ය. එය ගෙන ආවේ එවකට අධිකරණ ඇමැති වූ පීලික්ස් ඩයස් බණ්ඩාරණායක ය. එම පනතට එරෙහිව වාමාංශික පිරිස් මහත් විරෝධයක් පෑහ. පීලික්ස්ගේ මර්දන පනත ඉරා දමනු කියා සයිමන් නවගත්තේගම ඇත්ත පත්තරයට ලියූ ලිපි පෙළ අප කියැවුයේ මහත් උද්දාමයෙනි. එවකට පාර්ලිමේන්තු මංත්‍රීවරයකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා නඩු වාර ඇසීමට පැමිණි බොහෝ දවස් තිබුණි. සන්නද්ධ අරගලයට නායකත්වය දුන්නේ යැයි,සම්බන්ධවුයේ යැයි චෝදනා කොට සිර ගත කරන ලද අප වෙනුවෙන් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය යනුවෙන් පුළුල් ජනතා ව්‍යාපාරයක් ලංකා ගුරු සංගමයේ නායකත්වයෙන් ගොඩ නැගුණි. වසර හතකට පසු අප සැම නිදහස් කැරුණේ එම දුෂ්ඨ අපරාධ යුක්ති කොමිෂන් සභා පනත අහෝසි කිරීමට 1977 දී එජාප ආණ්ඩුව පියවර ගැනීමෙන් පසු ය.

අද ජනමාධ්‍යවේදී තිසෙයිනායගම් ලිපි දෙකක් ලියූ වරදට බරපතල වැඩ ඇතිව විසි වසරකට සිර ගත කරනු ලැබ ඇත්තේ ඊටත් වඩා දරුණු මර්දනකාරි පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය. මෙම පනත විසින් අප රටට කළ හොඳක් නැත. එය විසින් කරනු ලැබ ඇත්තේ පුරවැසියන්ගේ මූලික මානව අයිතිවාසිකම් කෙළසීම පමණ ය. පාලකයිනට අවශ්‍ය පරිදි විරුද්ධවාදීන් සිර ගත කිරීමට අවස්ථාව ලැබීම ය. මෙම පනත මුල් වරට ගෙන ආවේ 1979 දී ජේ.ආර් ජයවර්ධනගේ එජාප ආණ්ඩුව විසින් තාවකාලික පනතක් ලෙස ය. මෙම ජේදය දෙස බලන්න:

කතා කිරීම මගින්, කියැවීමට ලිවීම මගින්, සංඥා, දෘශ්‍යමාන අයුරකින් සහ වෙනත් අයුරකින් ප්‍රචන්ඩ ක්‍රියාවන්ට සහ ආගමික, ජාතික, වාර්ගික අසමගිය ඇති කිරීමට හෝ විවිධ ප්‍රජාවන්, ජාතික සහ ආගමික කණ්ඩායම් අතර වෛරය ඇති කිරීමට හෝ තුඩුදෙන පරිදි ක්‍රියා කිරීම ( නීතිමය පරිවර්ථනය නොවේ)

මෙම ජේදය ණයට ගෙන ඇත්තේ කලු සුදු බේදය මත දකුණු අප්‍රිකාව පාලනය කල වර්ගවාදීන් විසින් නීතිගත කර ගත් පනතකිනි. ජනමාධ්‍යවේදී තිසෙයිනායගම්ට දඩුවම් කිරීමට යොදා ගන්නා ලද එක් වගන්තියක් එය යි. මෙම වගන්තිය යටතේ සිරිල් මැතිව්ගේ සිට කරුණා අම්මාන් දක්වා දේශපාලනඥයින් කී දෙනෙකු සිරගත කරන්නට ඉඩ තිබුණි ද? පොත් කීයක් තහනම් වන්නට ඉඩ තිබුණිද ? අද ප්‍රබල ඇමැතිවරයකු වන චම්පික රණවක විසින් ලියන ලද කොටි විනිවිදීම නම් පොත් පිංච වෙනුවෙන් ඔහු පවා ලෙහෙසියෙන්ම සිර ගත කිරීමට මෙම පනත යටතේ ඉඩ තිබේ. නමුත් එය සිදු නොවන්නේ අද දේශාපලන ආධිපත්‍ය දරන්නේ එම මතවාදය නිසා ය. වරද ඇත්තේ පනත සහ එය පිටුපස ඇති දේශපාලනයේ ය. විනිසුරුවන් අතෙහි හෝ තිසෙයිනායගම් අතෙහි හෝ නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සම්ප්‍රදායක කෝණයෙන් දඩුවම් ලැබිය යුත්තේ මෙම කුරිරු පනතට ය.

තිසෙයිනායගම් නිදහස් කර ගැනීමේ දේශපාලන අරගලය සහ ව්‍යාපාරය හුදෙක් සමාව යැදීමේ ක්‍රියාවකට ලුහු නොකළ යුත්තේ ඒ නිසා ය. සමාව දීම මගින් මෙම තින්දුවට තමන් එකඟ නැති බව පෙන්වීම ආණ්ඩුව මුහුණ දෙන අභියෝගය යි. එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සහ ඒ පිටුපස ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනය පිටු දැකීමේ අරගලයක් විය යුතු ය. දැන් තිසෙයිනායගම් සිර ගත කිරීම හුදෙක් ජනමාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම පිලිබඳ පුළුල් ප්‍රශ්නයේ කොටසකි. මන්ද යත් මෙම කුරිරු පනත යටතේ රඳවා තබා ඇති සිර ගත කොට ඇති ප්‍රථමයා හෝ අන්තිමයා තිසෙයිනායගම් නොවන නිසා ය. මෑත උදාහරණක් ගන්නේ නම් ඉරිදා ලංකා පුවත්පතෙහි ජනමාධ්‍යවේදීන් තිදෙනෙකු අත් අඩංගුවට ගැණුනේ මෙම පනත
යටතේ ය. ආචාර්ය සරවනමුත්තු ගුවන්තොටෙහි රඳවා ප්‍රශ්න කැරුණේ මෙම පනත යටතේ ය. ජාතික ක්‍රිස්තියානි සභාවේ මහ ලේකම් ශාන්ත ප්‍රනාන්දු මාස හතරක් රඳවා තබාගෙන ඇත්තේ ද නඩු පවරන බව වාර්තා කොට ඇත්තේ ද මෙම කුරිරු පනත යටතේ ය. ඔහු රඳවා ඇත්තේ වන්නි සිවිල් ජන ඛේදවාචකය ගැන විවිධ ලිපි රැසක් ඔහුගේ ගමන් මල්ලේ තිබු නිසා ය.

මෙම පනත අහෝසි කළ යුතු ය. අප ඒ බව කියන්නේ අද ඊයේ සිට නොවේ. 1979 දී එය සම්මත කළ දා පටන් ය. එදා මෙන්ම අද ද කියමු: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දූෂ්ඨ පනතකි. අප අධිකරණ ක්‍රියවලියෙන් ඉවත් කළ යුතු පිලිළයකි.

සුනන්ද දේශප්‍රිය.