සිංහල, Colombo, Media

බළලා සහ මීයා සෙල්ලම කරන රූපවාහිනී වැඩ සටහන්

පුරවැසියෙක් විදිහට මං ටිකක් කේන්තියෙන් මේ ලියන්නේ. මගේ කේන්තිය, පුරවැසියෙක් විදිහට මට පරිහරණය කරන්න වෙලා තියෙන්නෙ මේ රටේ මාධ්‍ය ගැනයි. මේ රටේ ජනමාධ්‍ය ගැන කේන්ති යන, කලකිරෙන අත්දැකීම් බොහොමයි. එයින් එක අත්දැකීමක් ගැන විතරයි අද මං කතා කරන්නේ. ඇත්තටම ඒක ලොකු දේශපාලනික විවේචනයක් විදිහට පෙනෙන එකක් නැහැ. නමුත් මේ රටේ පුරවැසියන්ගේ හදවතත් එක්ක කරන සෙල්ලම දේශපාලනික නොවන්නේ කොහොමද කියන එක මටනම් ප්‍රශ්නයක්.

අපේ රටේ රූපවාහිනී සේවා ගණනාවක් තියෙනවා. මිනිසුන්ගේ චිත්තවේග සමඟ නරකම විදිහට සෙල්ලම් කිරීමට මෑතම උදාහරණය මං ගන්නේ ‛‛ස්වර්ණවාහිනි’’ කියන රූපවාහිනී සේවාවෙන්. පසුගිය දාක රාත්‍රියේ ඔවුන්ගේ සිඟින් ස්ටාර් (Singing Star) වැඩ සටහනේ අවසන් වටයේ හය දෙනාගෙන් 5 දෙනෙක් තෝරන වැඩ සටහන විකාශනය වුණා. එය සජීවීව කළ එකකුත් නොවෙයි. හය දෙනාගෙන් එක් අයෙක් එස් එම් එස් මනාප අනුව ඉවත් වී ඇති බව ප්‍රකාශ කරන්න එම වැඩ සටහනේ නිවේදකයා පැයකට ආසන්න කාලයක් තිස්සේ තැටමුවා කීවොත් නිවැරැදියි. බෙරිහන් දෙන ස්වරයකින් නැති උණුසුමක් වැඩ සටහනට ලබා දෙන්න තරඟකරුවන්/තරඟකාරියන් හය දෙනා වේදිකාවේ තියාගෙන ඔහු උත්සාහ කළා. මම සාමාන්‍යයෙන් චැනල් මාරු කරමින් යද්දී මෙවැනි වැඩ සටහන් ගැන දැන සිටියත් සම්පූර්ණයෙන් බලන්නේ නැහැ. මොකද වෙනත් සේවාවල මෙවැනි වැඩ සටහන්වලට වඩා ඉතාම අඩු ගුණාත්මකභාවයක් මේ සේවයේ තියෙන නිසා. නමුත් මේ දිනයේ ටිකක් වෙලා බලා ඉන්න විට පුරවැසියෙක් විදිහට මට අර වේදිකාවේ සිටි තරුණ තරුණියන් හය දෙනාගෙත්, ඔවුන් වෙනුවෙන් බලා සිටින දෙමාපිය හිතවතුන්ගේත් හද ගැස්ම සමඟ වගේම ඔවුන්ගේ ආත්ම ගෞරවය සමඟද මේ නිවේදකයා කරන සෙල්ලම ගැන කම්පාවක් ඇති වුණා.

පළමුව දෙවනුව වශයෙන් පස් දෙනාගේ කණ්ඩායමට එකතු වන ජයග්‍රාහකයන් නම් කිරීම හා අවසානයේ පරාජිතයා ඉතිරි කර ගැනීම සඳහායි පැයක පමණ කාලය ගත කරනු ලැබුවේ. වැඩිම මනාපවලින් පස් දෙනාගේ කණ්ඩායමට එකතු වන පුද්ගලයන් ගැන කියන විට එක් තරුණයකුගේ නමක් පළමු ජයග්‍රාහකයා වශයෙන් කියැවුණා. එම තරුණයා දෑත් එකතු කර වැඳ හුස්මක් ඉහළට ඇද ගත්තා. වෙළෙඳ දැන්වීම්වලින් පසු ඔහු නැවතත් ඉන්නවා. මෙය සංස්කරණයේදී වුණ වැරැද්දක් විය හැකියි කියලයි මට හිතුනේ. හැබැයි බලා ගෙන ඉන්න ප්‍රේක්‍ෂකයන් වන අපට අර තරුණයාගේ මනසත් එක්ක කළ සෙල්ලමක් විදිහටයි පෙනෙන්නේ. දෙවැනි වරටත් එම තරුණයා දෑත් එකතු කර වැඳ හුස්මක් ඉහළට ගෙන ජයග්‍රාහකයින් ගොඩට යන්නට හැරුණා. ඒ සමඟම ඔහුගේ නම වෙනුවට වෙනත් නමක් කියැවුණා. තුන් වැනි වරට ඔහු ජයග්‍රාහකයින්ගේ ගොඩට යන විට තරුණයාගේ උත්කර්ෂය මැකී ගොස් තිබුණා. ඒ අවස්ථාවේ පෙළෙන හද ගැහෙන සිතිවිලි සමඟ සිටින එම තරුණ තරුණියන්ගේ හදවතත් සමඟ කරන ඒ සෙල්ලම එක අතකින් බලා සිටින අපට දැනෙන්නේ පුරවැසියාගේ ආත්ම ගෞරවයත් සමඟ කරන සෙල්ලමක් විදිහටයි. තරඟකරුවකුගේ දෙසට නැමීගෙන ඔහු/ඇය ඉවත් වන්නට ආසන්න යැයි හැඟෙන අයුරින් කතා කරමින් ඔහුට/ඇයට නිදහසේ ඒ තත්ත්වය දරා ගැනීමට ඉඩ නොදී, ඔවුන්ගේ කම්පනය කඳුළුවලින් පිට පන්නවන්නට බලවත් පරිශ්‍රමයක් දරමින් ඔවුන්ගේ ආත්ම ශක්තිය ප්‍රේක්‍ෂක ප්‍රජාව ඉදිරියේ බිඳ දැමීම රූපවාහිනී නිවේදකයන්ගේ දක්‍ෂකම කියලා පුරවැසියෝ හිතනවාද කියන එක මට නම් ප්‍රශ්නයක්. එපමණක් නොවෙයි, ඒ හරහා විශේෂයෙන් ඔවුන්ගේ දෙමාපියන් කම්පනයට පත් කර ඔවුන් හඬවන්නට වචන හරඹයක යෙදෙයි.

ප්‍රේක්‍ෂකයන් රඳවා තබා ගැනීම සඳහා තරඟය ආකර්ශනීය ලෙස ඉදිරිපත් කිරීම වැදගත්ය. තරඟකරුවන් අතර මෙන්ම එය නරඹන ප්‍රේක්‍ෂකයන් අතරද ආතතියක් ඇති වන ආකාරයට වැඩ සටහනක් ඉදිරිපත් කිරීමේ ශ්‍රී ලාංකික පුරෝගාමියා කමල් අද්දරආරච්චිය. සිරස සුපර් ස්ටාර් වැඩ සටහන ඉදිරිපත් කිරීමේදී ඔහු අනුගමනය කළ මේ ක්‍රමය සිරස අනුකරණය කරමින් එවැනි වැඩ සටහන් පටන් ගත් රූපවාහිනී සේවා සියල්ල අඩු වැඩි වශයෙන් අනුගමනය කරන ආකාරය මාධ්‍ය පරිහරණය කරන පුරවැසියන්ට අමුත්තක් නෙමෙයි. සිරසද මෙම වැඩ සටහන් ආරම්භ කළේ විදේශ වැඩ සටහන් අනුකරණය කරමින් බව රහසක් නොවේ. මේ කියන ස්වර්ණවාහිනිය සිරසට පසු දවස් පහට පහක් වශයෙන් වැඩ සටහන් ආරම්භ කරමින් ඒවා ඉදිරිපත් කරන්නට යොදා ගෙන ඇත්තේද සිරස නිසා ජනප්‍රිය සමහර චරිතයි. කෙසේ නමුත් මේවායේ අග මුල ගැන කතා කරන්නට ගියොත් මං කියන කාරණය ඉවර කරන්න බැරි වෙයි. කොහොම නමුත් කමල් අද්දරආරච්චි සිරස සුපර්ස්ටාර් හරහා ප්‍රේක්‍ෂකයන්ද යම් තිගැස්මකට ලක් කරමින් වැඩ සටහන ආකර්ශනීය ලෙස ඉදිරිපත් කිරීමට සමත් වුණත් සිඟින් ස්ටාර් ඉදිරිපත් කිරීමේදී කැපී පෙනෙන්නේ ඇඬවීමම බලාපොරොත්තුව වචන තටමන බවයි. (සුපර්ස්ටාර් සහ කමල් අගැයීමක් කිරීමට නොව මේ උදාහරණය සන්සන්දනය කිරීම සඳහා පමණි) හදිසියේ හරි කෙනෙකු කඳුළු පිසිනවා දුටු ගමන් කැමරාව ඒ දෙසට යොමු වේ. කෙසේ නමුත් ගොදුරු පිණිස අල්ලා ගත් මීයා කන්නට පෙර සෙල්ලම් කරන බළලා මෙන් තරඟ වැදී සිටින තරුණ පුරවැසියන්ගේත්, ඔවුන්ගේ ජයග්‍රහණය අපේ්ක්‍ෂාවෙන් සිටින නෑ හිතවතුන්ගේත් හෘද කම්පනය සමඟ මේ තරමට නින්දිත ලෙස සෙල්ලම් කරන වැඩ සටහනක් දකින හෘද සාක්‍ෂියක් ඇති පුරවැසියන් එය නරඹන්නේ මේසා නින්දිත මාධ්‍ය අපේ රටේ තියෙනවාද යන කම්පනයෙන් යුතුව ඒවා ප්‍රතික්‍ෂේප කිරීමේ අරමුණ ඇතිව බව නම් නිසැකය.

පූජා දිසානායක