සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Poems

අරමුණ

පාලකයිනි, තොප හා අප අතර
පැහැදිලි බෙදුම් රේඛාවකි.
මකා දැමූවද අද එය
උරච්චිකර උඩින්
බොරු සාමයේ පාට සායම

ගෙන්වා රජ මැදුරට
පත්තර මිතුරු
මධු බඳුන් හප්පන මුත්
එකට හිඳ
අප වෙනුවෙන් ලියන උන්
මරණ, හිර ගෙට යවන
දනිමි මම, තොප ගැන

ඇවිත් අප ළඟට ම
එක පත එකට කෑ මුත්
මූණිච්චාවට
මගේ අසල්වැසියන්
කඳවුරුවල හිරකර
සාගින්නෙන්
මියෙන්න ට ඉඩ හරින
දනිමි මම, තොප ගැන

තර කොට
ත්‍රිවිධ හමුදා පොලීසිය
රකින බව පෙන්වූ මුත්
අප හැම අඟලින් අඟල
මරාදමන විට මගේ ම මිනිසුන්
නිල නොනිල ආයුධ පැමිණ
දනිමි මම, තොප ගැන

සැදැහැවතුන් මෙන්
සුදු හැඳි මුත් ශාන්තව
පෙනේ මට ඉණ වට
පිහි කිණිසි පිස්තෝල
පෙන්වා එවන් අවි
හික්මවන විට මගේ පරපුර
නැගිටින්නට නොදී
දනිමි මම, තොප ගැන

කියවා පෙළ, වගන්ති පොත්වල
පෙන්වා නීතියේ සාධාරණ බව
දඬුවම් කරන විට
මගේ මිනිසුන්ට ම විතරක්
නීතියත් විනිසුරුත්
යටින් මුදලට අරගෙන
දනිමි මම, තොප ගැන

මෝලං පපර බෑන්ඩ් ගහගෙන
උස්මුරුත්තාවට පොවා වැනෙමින
මගේ පංතියේ මිනිසුන් ය
මැකුන මායිම උඩ
නුඹලා විසින් නටවන

අතරින් රිංගා – උන් එහා මෙහා කර
අඳිමි මම ඒ බෙදුම් ඉර අළුතින් හෙට
දිය කර සාමයේ පාට සායම

මහේෂ් මුණසිංහ 2009 09