Colombo, Features, Life quips

අපේ කාලයේ දැමුනු නොදැමුනු මිනිසෙක්

[අපේ කාලයේ දැමුනු නොදැමුනු මිනිසෙක් : තිස්ස බාලසූරිය පියතුමාට ආචාරය]

tissa-00522222
උදෑසන එළඹිමටත් පෙර කොළඹ දේශපාලන සගයකු එවූ කෙටි පණිවිඩයක මෙසේ සඳහන් වී තිබුණි. ‘‘සමාජ ක‍්‍රියාකාරිකයකු වූ තිස්ස බාලසූරිය මිය ගියේ ය’’ . ඔහු එළෙස සඳහන් කළේ අපේ පරම්පාරාවේ දේශපාලන ක‍්‍රියාකාරීකයින් සහ ක‍්‍රියාකාරිකාවන් සමඟ ළබැදි කි‍්‍රයාකාරිත්වයක් දැක් වු තිස්ස බාලසූරිය පියතුමා ය. ඔහු යතිවරයෙක් මෙන්ම සමාජ ක‍්‍රියාකාරිකයකු ද විය.

ධර්මයෙන් දමනය වූ නමුත් ඔහු සමාජ අසාධාරණය ඉදිරියෙහි කිසි විටෙක නැමුනේ නැත. සුදු පැහැති එනමුත් නිරන්තර පාවිච්චියෙන් අව වර්න වූ සුදු සරම සහ දිගු ලොගුව හැඳ රෙදි මල්ල කරින් දමා ගෙන කලූ කුඩය පොළවට බර තබමින් යනෙන එතුමාගේ මුවෙහි ලයාන්විත සිනහවක් නෙදුටු දවසක් මට මතක නැත.

බොරුල්ලට යන 103 බසයේ පැමිණ ආන්නද විද්‍යාලය අසළින් බැස ඞීන්ස් පාර දෙසට වූ අතුරු පාර හරහා අංක 281. ඞීන්ස් පාර මරදාන යන ලිපිනයේ වූ සමාජ සහ සාමයික කේන්ද්‍රීය ශාලාවේ සාකච්ජා සභාවකට සහභාගි වී එහි කෑම මේස මත බත් පාර්සලය ලිහා ගෙන නොකෑ එකදු සමාජ දේශපාලන ක‍්‍රියාකාරිකයකුවත් ක‍්‍රියාකාරිකාවකවත් සිටිය නොහැකි ය. CSR ඒ තරමටම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිශීලී ව්‍යාපාරයේ අභේද්‍ය කොටසක් බවට පත්වූයේ තිස්ස බාලසූරිය නම් සැබෑ යතිවරයා නිසාම ය.

තීරණාත්මක සෑම අවස්ථාවකදීම අපේ විවිධ උද්ඝෝෂනයන්ට එක්වූ ඔහු ඇපසු ගියේ වචනයකින් දෙකකින් අප දිරිමත් කිරීමෙන් පසු ය. ඔහු මඟ පෙන්වන්නකු වූයේ ‘යනු’ කියමින් නොව ‘යමු’ කියමිනි.

අසූ නම වියක් ආයු වළදා ඊයේ(18) කොලඹදී අභාවප‍්‍රාප්ත වූ තිස්ස බාලසූරිය පියනම ශ‍්‍රී ලංකාවේ මෑත කාලීන ප‍්‍රගතිශිලී යතිවරයින් අතර හිමිකර ගන්නේ ගෞරවනීය ස්ථානයකි.

ආරථික විද්‍යාඥයකු ලෙස වෘත්තීය පුහුණුවකින් පසු එතුමා 1953 දී පූජ්‍යත්වයට ඇතුල් විය. විකල්ප විශ්ව විද්‍යාලයක් සහ විශේෂයෙන්ම ඉංග‍්‍රිසි භාෂා මධ්‍යස්ථානයක් ලෙස කලක් පැවැතුණූ බොරුල්ලේ ඇක්වයිනාස් උසස් පාසැළෙහි අධිපති ධුරය දැරූ එතුමා 1971 දි කොළඹ මරදානේ සමාජ සහ සාමයික කේන්ද්‍රය ගොඩ නැගීමට මූලිකත්වය ගත්තේ ය. 1983 ජූලි වර්ගවාදී කොළාහළ මෙන්ම දෙමළ ජනයාට එරහිව කැරැනු බොහෝ ප්‍රහාරයන්ට එරෙහිව තිසිස බාලසූරිය ද සිය හඩ සහ ක්‍රියාකාරිත්වය එක් කලේ ය.

1971 දි සිරගත කරන ලද අප්‍රේල් කැරලිකරැවන්ගේ මානව හිමිකම් මූලික කොට ගොඩ නැගුනු සිවිල් අයිතිවාසිකම් ආරක්ෂක සංවිධානයේ මූලිකයකු ලෙසද එතුමා කැපවීමෙන් ක්‍රියා කලේ ය.

තිස්ස බාලසූරිය පියනම විමුක්ති දේවධර්මය පිළිබඳ විද්වතකු වූවා පමනක් නොව එය භාවිතයට දැමීම සිය ජීවිතයේ අරමුණ ලෙස පවත්වා ගත්තේ ය. එනයින්ම යුක්තිය, සමාජ සාධාරණත්වය, දුප්පත්කම පිටු දැකීම සහ ප‍්‍රජාත්න්ත‍්‍රවාදී ආණ්ඩුකරණය එතුමාගේ ලෞකික පරමාර්ථයක් අතර මුල් තැන ගත්තේ ය.

1970 ගනන් අග භාගයේ සිට ශ‍්‍රී ලංකාවේ විකල්ප සහ විසංවාදී පිරිස් සඳහා සාකච්ජා මණ්ඩපයක් ලෙස CSR යන නමින් ප‍්‍රසිද්ධියට පත් සමාජ සහ සාමයික කේන්ද්‍රය පරිවර්ථනය කැරුණේ එතුමාගේ බුද්ධිමය සහ ක‍්‍රියාකාරි දායකත්වය යටතේ ය. 1980 ගනන් මුල් කාලයෙහි මෙරට සිදු වූ නව ලිබරල්වාදී ආර්ථික වෙනස්කම් අරභයා විධිමත් විවේචනයක් ගොඩ නැගීමට දායක වූ එක් විද්වතකු වන්නේ ද එතුමා ය.

සමාජ සාධාරනත්වයේ ප‍්‍රමුඛ පෙළ ලේඛකයකු වූ ඔහු විසින් ලියන ලද පොතපත සහ ලිපි ලේඛන අතර ගෝලීයකරණය, නව යටත් විජිතවාදය, පරාධීන ධනවාදය, ව්‍යුහාත්මක ගැලපීම්, විවෘත අර්ථිකය, අන්තර් ජාතික මුල්‍ය පදනම, වර්ග බේදවාදය, වින විප්ලවය, නිදහස් වෙළද කළාප, විදේශ ආයෝජන, ජාතික වාදය, ඌණ සංවර්ධනය, නාගරික දුප්පතුන්, ග‍්‍රාම සංවර්ධනය, විමුක්ති දේව ධර්මය, කිතුනු – බුදුනු සංවාදය, වාර්ගික සබඳතා, සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය, සමාජ සාධාරණත්වය, ළමා ශ‍්‍රමය, කාන්තා විමුක්තිය, විධායක ජනාධිපති ක‍්‍රමය, සංක‍්‍රමනික කම්කරුවෝ යනාදිය ඇතුළත් වෙයි.

ඔහු ජිවිතයේ අවසානය දක්වාම අල්පේච්ච ජිවිතයක් ගත කළේ අපේ බොහෝ ජනප‍්‍රිය යතිවරයිනට ආදර්ශයක් වන පරිදි ය. පරම්පාරවෙන් තමාට හිමි වූ ආඩි අම්බලමෙහි අක්කර 80ක් බැතිමතුන්ට පූජා පැවැත්වීමට පූජා කළ එතුමා සෑම විටම ගමන් කලේ පොදු ප‍්‍රවාහන සේවාවන් මගිනි. ඔහු මෙරට යුක්තිය සහ සාධාරණය මෙන්ම සියළු ලබ්දින් අතර අනොන්‍ය අවබෝධය ඇති කිරීම උදෙසාත් කළ මහඟු සේවය යම් දිනෙක පළ දිනෙක ඔහුගේ නාමය ද ලියැවෙනු නොඅනුමානය.

කැපවීමේ ද බුද්ධියේ ද සංයමයේ ද ක්‍රියාකාරිත්වයේ ද සංකළනයක් වැනි එවැනි මිනිසුන් බිහිවන්නේ කලාතුරකිනි. එවැනි මිනිසුන්ගේ අභාවය පිරවිය නොහැකි හිඩසක් ඇති කරයි. එනමුත් එවැනි මිනිසකුගේ දසුන සිතෙහි මවා ගැනීම පවා ප‍්‍රිය උපදවන සුළු ය. දිරිමත් කරවන සුළු ය. මනස සංසුන් කරයි.

සුභ ගමන් ප‍්‍රිය පියතුමනි,

සුනන්ද දේශප‍්‍රිය

ජිනීවා.
2013 ජනවාරි 17දින.