සිංහල, Colombo, Democracy, Governance, IDPs and refugees, Peace and reconciliation

ජර්මනියේ ‛‛කොටි හිතවාදී’’ රැස්වීම

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
පසුගිය සති අන්තයේ දී ජර්මනියේ ස්ටුට්ග්‍රාට් නගරයේ බෑඩ් බෝල් ආයතනයේ දී පවත්වන ලද විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ජාලයේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේ යම් යම් ජනමාධ්‍ය විසින් හදුන්වන ලද්දේ කොටි හිතවාදී අන්තර් ජාතික සමුළුවක් ලෙස ය. එක් සති අන්ත සිංහල පුවත් පතක් සිය ශීර්ෂ පාඨයේ මෙසේ සදහන් කලේ ය: ‛‛දේශද්‍රෝ්හී සමුළුවක් පැවැත්වීමට ශ්‍රී ලංකිකයෝ පිරිසක් සැරසෙති ”. තවත් සති අන්ත පුවත්පතක් මෙම සමුළුවට ආරාධනා ලැබු තිබූ ශ්‍රී ලංකාවේ වාසය කරන අය කොටි ඒජන්තවරුන් ලෙස හදුන්වන ලදී. ඔව්හු බියපත්ව සමුළුවට පැමිණීමෙන් මඟ හැරියහ.

මෙම ශ්‍රී ලංකික එකතුව සමඟ දිගු කළක් වැඩ කර ඇති පුද්ගලයකු වශයෙන් සහ 2007 සහ 2009 වසරයන්හි එම සමුළුවට සහභාගි වූ අයකු වශයෙන් මෙම ලේබල් ගැසීමේ භයානක කම පිළිබඳව ලිවීමට කල්පනා කළෙමි. විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ජාලයේ බ්ලොග් අඩවියට පිවිසෙන ඕනෑම අයෙකුට ඔවුන්ගේ අරමුණු සහ අතීත ක්‍රිියාකාරිත්වය සොයා ගැනීමට පුළුවන. එහි සදහන් කුමන හෝ ලිපියක් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රචාරයක් ලෙස හැදීන්වීමට හැක්කේ දේශපාලන නොදරුවකුට පමණි.

පසුගිය 01දා සිට 03වනදා දක්වා ජර්මනියේ ස්ටුට්ග්‍රාට් හි මුළු දුන් විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ජාලයේ වාර්ෂික සමුළුවට ස්ටුට්ග්‍රාට් නුවර සිටින ජර්මානු ජාතික ශ්‍රී ලංකා කොන්සුලේට්වරයා ද සහභාගි විය. එමෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳ උනන්දුවක් දක්වන අන්තර් ජාතික සංවිධාන ගණනාවක් ද සහභාගි විය. මෙම එකතුව සමහර විට සිංහල දෙමළ සහ මුස්ලිම් යන ජනවාර්ගික පිරිස් එක්ව කටයුතු කරන විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ එකම මානව හිමිකම් ජාලය විය හැකි ය. එය 1989- 90 යුගයේ ඝාතනයට ලක් වූ සිංහල තරුණ පිරිස්හි මානව හිමිකම් උදෙසා පෙනීසිටි අතර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් සිදුකළ ඝාතනයන් ද හෙළා දැක්කේ ය. එලෙසම එම දෙමළ සන්නද්ධ කණ්ඩායම්හි ඝාතන දේශපාලනය නොපැකිළව හෙළා දකිමින් දෙමළ ජනයාගේ මානව හිමිකම් උදෙසා පෙනි සිටියේ ය. ශ්‍රී ලංකාවේ දේශපාලනයේ වත්මන් ඛේදවාචකයක් නම් අන්තගාමි නොවන මෙවැනි දේශපාලන මූලිකත්වයන් පවා රට බේරා ගැනිමේ යුද්ධයේ නාමයෙන් විනාශ කිරීමට දැරෙන උත්සාහය යි.

මා මේ කරුණු ලියන්නේ අන් කිසිවක් නිසා නොව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පෙනි සිටින මධ්‍යස්ථ සංවිධාන මෙලෙස ලේබල් ගැසිම මගින් අවසානයේදී සිදුවන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ අන්තවාදි බලවේග පමණක් ශක්තිමත් වීම නිසා ය. මෙම ප්‍රහාරයේ එක් ඉලක්කයක් වී ඇති රංජිත් හෙන්නායක (ලොබ්හීලර්) දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් ආරක්ෂා කිරිම සඳහා යුරෝපයෙහි ක්‍රියකාරීවන අයෙකි.

මේ සටහන ලියැවෙන මගේ පරිගණකය තබා ඇති මෙම මේසය සහ මා වාඩිවී සිටින මේ පුටුව වත්මන් ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න සාකච්ජා කිරීම සදහා ජීනිවා හි යොදා ගත් එක් ස්ථානයකි. රංජිත් හෙන්නායකගේ නිවෙස ය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳව ලෝකයා දැනූවත් කිරීමට ජීනීවා හි මානව හිමිකම් කොමිසමට පැමිණි පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට සහාය වු එක් පුද්ගලයක වූයේ මෙම රංජිත් හෙන්නායක ය. 1971 කැරුල්ලේ නායකයකු වූ ඔහු සිංහල බසින් පොත් ගණනාවක් ම ලියා තිබේ. ජීනිවා හි දී මානව හිමිකම් උද්ඝෝෂක මහින්ද රාජපක්ෂ මහතාට සහාය වූ අනෙක් තැනැත්තිය වූ තමාරා ගුණනායගම් අද ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය දරයි. අද කොටි සහායකයකු ලෙස රංජිත් හෙන්නායක හංවඩු ගැසෙන්නේ ඔහු එදා පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාපපක්ෂ සමඟ එක්ව මානව හිමිකම් රැක ගැනීමට කළ අරගලයේ තව දුරටත් යෙදී සිටින නිසා ය. එසේ නොවූයේ නම් සමහර විට ඔහුටත් තානාපති ධුරයක් ලබා ගැනීමට තිබුණි.

විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ ජාලයට එරෙහිව මෙම ලේබල් ගැසීමේ ව්‍යාපාරය දියත් කරනු ලැබ ඇත්තේ අද ඊයේ නොවේ. වසර ගණනාවක සිට ය. ඊට එකම හේතුව නම් ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසදුමක් උදෙසා මෙම එකතුව ස්ථිරසාරව පෙනී සිටීම ය. එල්ටීටීඊ හිතවාදී පිරිස් මෙම එකතුව ඊලාම් අරගලයට සහාය නොදක්වන්නේ යැයි විවේචනයට හසු කළේ ය.

චැනල් 4 වීඩියෝව නිකුත් කළ ජෙ.ඩී.එස් නම් ජනමාධ්‍ය එකතුව (අයි.එන්.එස්.ඩී) විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ජාලයෙහි සංවිධානයේ ලිපිනය තාවකාලිකව භාවිත කිරීම දැන් අලුත් හේතුවක් ලෙස මෙම ලේබල්කරුවන් විසින් යොදා ගැනෙමින් තිබේ. තමන් මෙම වීඩියෝවට කිසිදු සම්බන්ධයක් නැති බව දැනටමත් විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ජාලය ප්‍රකාශ කර ඇති අතර ජේ.ඩී.එස් සංවිධානය ද ප්‍රකාශ කර ඇත්තේ මෙම වීඩියෝව සම්බන්ධයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ජාලයට කිසිදු සම්බන්ධයක් නැති බව යි.

මා පසුගිය සටහනෙහි ද කියා සිටි පරිදි ශ්‍රී ලංකාවෙහි ජාතීන් අතර සාමය සහ සහජීවනය ගොඩ නැගීම පිණිස යුද අපරාධ පිළිබඳ චෝදනා නැගීම කොතරම් පිටුබලයක්වේ ද යන්න විවාදාත්මක කරුණකි. අපට රටක් සහ ජනතාවක් වශයෙන් අවශ්‍ය වන්නේ පසුගිය දශක ගණනාව පුරා සිදුවූ සියළු මානව හිමිකම් කෙළෙසීම් විවෘතව සාකච්ජාවට ගැනීමත් ඊට අවශ්‍ය බැරෑරුම් පිළියම් ක්‍රියාවට යෙදීමත් ය. එය කල් නොදමා සහ විවෘතව කිරීම අත්‍යවශ්‍යය. එහි අරමුණ විය යුත්තේ යුද්ධය හේතු කොට ජන ප්‍රජාවන්හී ඇතිවී තිබෙන දැවැන්ත තුවාල සුවපත් කිරීමත් අනාගතය සඳහා නිශ්චිත මානව හිමිකම් ආරක්ෂණයන් යෙදීමත් ය. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයකින් සහ මෙරට දෙමළ ජනයාට තමන් විසින් තමන් පාලනය කර ගත හැකි දේශපාලන ව්‍යුහයකින් තොරව මෙරට සමාජීය දේශපාලන සංහිදියාවක් ඇති නොවන බව අප තේරුම් ගැනීම වැදගත් ය.

මා නැවත නැවතත් කියා සිට ඇති පරිදි මහින්ද රාජපක්ෂ මහතා අද විපක්ෂයේ සිටියේ නම් අප කියන කරන මානව හිමිකම් කටයුතු සමහරක් ඔහු විසින් ද කරන්නට තිබුණි. ඒ බව තේරුම් ගැනීමට නම් කළ යුත්තේ ඔහුගේ විපාක්ෂික දේශපාලන ක්‍රියාකාරිත්වයට ජ්‍යාමිතික රූප සටහනක් හෝ ප්‍රස්ථාරයක් මගින් වත්මන් අනුමානයන් ලබා දීම ය.

මෙම ලේබල් ගැසීමේ ව්‍යාපාරයන්හි අරමුණ වන්නේ දේශපාලන විසඳුමකට පක්ෂපාත මධ්‍යස්ත බලවේග දුර්වල කර ආණ්ඩුව තුළ සහ අන්තර් ජාතික තලයෙහි අන්තවාදී මතවාදයන් ශක්තිමත් කිරීමයි. එය අද ප්‍රබල ප්‍රවණතාවයකි. එල්ටීටීඊ ය නැතත් යුද්ධ මතවාදය දිගටම පවත්වා ගැනීමත් විවෘත සාකච්ජාවකට ඉඩක් නොතැබීමත් මෙම බලවේගයන්ගේ අරමුණ විය හැකි ය. එය කිසිසේත්ම සාමකාමි නිදහස් ප්‍රජාතන්ත්‍රවාදි ශ්‍රී ලංකාවකට මඟ පෙන්වන්නේ නැත.

සුනන්ද දේශප්‍රිය