සිංහල, Colombo, Democracy, Human Rights, Media

මාධ්‍ය නිදහස වළලා දැමීම, රටේ ආර්ථිකයට කළ මහ විනාශයක් වෙලා – මාධ්‍ය සංවිධාන

යුරෝපා සංගමයේ රටවලට ජී.එස්.පී ප්ලස් බදු සහනය යටතේ ශ්‍රී ලංකාවේ ඇගළුම් ඇතුලු අනිකුත් නිෂ්පාදන යැවීමට තවදුරටත් ඉඩදීම ගැන තීරණය ගැනීමේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මාධ්‍ය නිදහසට පනවා ඇති බාධා ගැනත්, ශ්‍රී ලංකාවේ ජනතාවට තොරතුරු දැනගැනිමට ඇති මූලික අයිතිය අහෝසි කෙරෙන ක්‍රියාමාර්ග ගැනත්, ශ්‍රී ලංකාවේ මාධ්‍යට සහ මාධ්‍යවේදින්ට සිදුවන තර්ජන ගැනත්, මාධ්‍ය නිදහසට බාධා කරන නීති ක්‍රියාත්මක කිරීම ගැනත්, යුරෝපා සංගමය ඒ පිළිබඳ නොවැම්බර් 6 වෙනි දා රැස්වී තීරණය ගන්නා ප්‍රධාන මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති වාර්ථාවෙන් පෙන්වාදී තිබෙන බව මාධ්‍ය සංවිධාන පහක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් බදු සහනය යලි නොලැබී ගියහොත් විශේෂයෙන් ඇගලුම් කර්මාන්තයෙන් දිවි ගෙවන ශ්‍රී ලංකාවේ පවුල් දශලක්ෂ ගණනාවක ජනතාවගේ ආර්ථිකය කඩා වැටීමේ දරුණු ඛේදවාචකයක් සිදුවන බව අවධාරණය කරන එම සංවිධාන තවත් කර්මාන්ත අංශ විශාල ප්‍රමාණයකින් දිවිගෙවන අතිවිශාල ජනතාවකගේ ජීවනෝපාය අහෝසී වී යාමටද මෙය හේතුවක් වන බවත් ඇතිවී තිබෙන තත්ත්වයට ශ්‍රී ලංකා ආණ්ඩුව සෘජුවම වගකිව යුතු බවත් ප්‍රකාශකර සිටී.

මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඇතුලු මාධ්‍යවේදින් මරා දැමීම,මාධ්‍යවේදින් පැහැරගෙන ගොස් පහර දීම, සිරස ආයතනය ඇතුලු මාධ්‍ය ආයතන ගිනිබත් කිරීම සහ මාධ්‍ය ආයතන වලට පහර දී විනාශ කිරීම, පුවත් පත් අතර මගදී පැහැරගෙන ගිනිබත් කිරීම, මේවාට වගකිව යුතු කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සහ නිසි පරීක්ෂණ නොකිරීම, පුවත්පත් කතුවරුන් සහ මාධ්‍යවේදීන්ට දඩගැසිම සහ ඔවුන් හිරේ දැමීමට අදාල නීති ඇතුලත් පුවත් පත් මණ්ඩලය වැනි දරුණු නිති යලි පනගැන්වීම, අත්අඩංගුවේදී පහර දී බියගන්වා ලබාගන්නා කටඋත්තර පවා සාක්ෂි ලෙස පිළිගන්නා ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය මාධ්‍යවේදීන්ට එරෙහිව යෙදවීම, එය යොදාගෙන මාධ්‍යවේදී තිස්සනායගම් සිරගෙට යැවීම සහ තවත් මාධ්‍යවේදින්ට එරෙහිව එම නිතිය යටතේ නඩු දැමීම, ආණ්ඩුවේ ආරවුල්, දූෂණ සහ වංචා හෙළිකරන විට මාධ්‍යයට එරෙහිව රහස් පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ මෙහෙයවීම, ආණුඩුව හා සම්බන්ධ තොරතුරු පළකිරිම තහනම් කෙරෙන නව නියෝග පැනවීම, ආදීය වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකාවේ මාධ්‍ය මර්ධනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග බව එම වාර්ථාවෙන් ජි.එස්.පී ප්ලස් බදු සහනය දීම පිලිබදව තීරණය ගන්නා කම්ටුවට දැන්වා ඇති බවද එම සංවිධාන සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

මෙරට ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වලලා දමමින් සිදුවන මාධ්‍ය නිදහස පගා දැමීමේ ක්‍රියාමාර්ග වලට අමතරව 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොකිරීම ඇතුළු මෙරට යහපාලනයක් සඳහා ගත යුතු ක්‍රියාමාර්ග යටපත් කිරීම සහ රටේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම් රාශියක්ද පිටු 42කින් යුත් එම වාර්ථාවෙන් පෙන්වා දී ඇතිබවද එම නිවේදනයේ දැක්වා තිබේ.
තොරතුරු දැනගැනිමේ මහජන අයිතිය වත්මන් ආණ්ඩුව විසින් උදුරාගැනිම හේතුවෙන් ජී.එස්.පී බදු සහනය නොලැබී මේ රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ හැරීම ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආණ්ඩුව විසින්ම බරපතල තර්ජනයකට පත්කිරීමක් බවත් එබැවින් මාධ්‍ය නිදහස තහවුරු කිරීම ඇතුලු මෙම කාරණා සැපිරීමට නොවැම්බර් 6 වැනිදාට පෙර වහාම ක්‍රියාත්මක වන ලෙස වත්මන් ආණ්ඩුවට බල කරන මෙන් මහජනතාවගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටින බවත් මාධ්‍ය සංවිධාන නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.