සිංහල, Colombo, Democracy, Human Rights

අම්මා

නොදන්නා දුරක අප සිටියාට
මවක වෙමි – නුඹ මෙන්ම අම්මේ
දනිමි මම – කල්පයක මහරු දුක
දරන්නට ඇති නුඹත් අම්මේ

මහත් වූ අසිරියකි
මවක ලැම කිරි පුරන
පෙකෙනිවැල අයිතිය යි අම්මේ
එයට ගරු කර නැගෙන – පරපුරක් සිටින වග
නුඹ වටා – දන්නවද අම්මේ

වාවයිද නුඹේ මුදු හද කෙසේ
සිංහලෙන් අසති උන් අම්මේ
දමා විත් තම පුතුන් – නුඹේ පුතු ගැන සොයන
සිංහලෙන් සිතති උන් අම්මේ

අප අතර දුරක් සැදුයේ කව්ද
මේ අකුරු හැඩතලයි අම්මේ
දන්නවද උන් ලියන – මේ අකුරු හැඩ, අනේ
කියවන්න පුළුවන්ද අම්මේ

සුභද්‍රා ජයසුන්දර
2009 නොවැම්බර්