සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation

යුරෝපයට ගිය ආගමික දූත පිරිස වෙත විවෘත ලිපියක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීමට යුරෝපා සංගමයට පැමිණි ආගමික දුත පිරිස වන පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, පූජ්‍ය මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමි, අතිගරු අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා, සෙඩෙක් ජාතික අධ්‍යක්ෂ ඩේමියන් ප්‍රනාන්දු පියතුමා, පූජ්‍ය මවුලවි නියාස් සහ පූජ්‍ය කුහාන්ද ශර්මා වෙත ය.

යුරෝපා සංගමයෙන් ලබා දෙන වරණිය බදු සහනය ශ්‍රී ලංකාවට දිගටම ලබා දෙන ලෙස ඉල්ලා සිටීම පිණිස ඔබ විසින් යුරෝපයට කළ දූත මෙහෙවර අගය කොට සළකමු. ඒ අන් කිසි හේතුවක් නිසා නොව මෙම සහනය නොලැබී යාමෙන් දුෂ්කරතාවයට පත් විය හැකි ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනයාගේ යහපත අපගේ ද යහපතක් ලෙස අප සළකන නිසා ය. ඔබ මෙම දූත මෙහෙවරෙහි යෙදුනේ ඔබගේ ආගමික කැපවීම නිසා ම විය හැකි ය. නොඑසේව වත්මන් ආණ්ඩුවේ දේශපාලන සහායකයින් පිරිසක් ලෙස නොවේ යැයි දැනට විශ්වාස කරමු. එනමුත් ඒ බව තහවුරු වනු ඇත්තේ මේතාක් ඔබ විසින් මැදිහත් වී නැති ශ්‍රී ලංකා ජනයාගේ මානව අයිතීන් රැක ගැනීමට ඔබ කොතරම් දුරට මැදිහත්වන්නේ ද යන්න අනුව බව මගේ වැටහීම ය.

ඒ කෙසේ වෙතත් ඔබේ දැන ගැනීම පිණිස පහත සඳහන් කරුණු දැක්වීමට කැමැත්තෙමි.

1. වරණිය බදු සහනය (ජීඑස්පී ප්ලස්) රටකට සදාකාලිකව ලැබෙන වරප්‍රසාදයක් නොවේ. යුරෝපා සංගමය එය ලබා දෙන්නේ නිශ්චිත මානව හිමිකම් රාමුවක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන බවට ඇතිවන එකඟතාවක් උඩ ය. මෙම එකඟතාවයන් ශ්‍රී ලංකා රජය විසින් අනුගමනය කරනු ලැබ ඇත්තේදැයි ඔබ විසින් මෙම දූත මෙහෙවරෙහි යෙදෙන්නට පෙර වගකිව යුතු ආගමික නායකයින් වශයෙන් සොයා බලන්නට ඇතැයි සිතමි. කරුණාකර ඔබගේ නිගමනයන් යුරෝපා සංගමය ඉදිරියේ තැබු පරිදි මෙරට මහා ජනයා හමූයේ තබන්නට හැකි ද?

2. මෙම වරණීය බදු සහනය ශ්‍රී ලංකාවට දිගටම ලබා දීම සුදුසුද යන්න පරීක්ෂා කිරීම පිණිස යුරෝපා පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද කොමිසමට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පවා ආණ්ඩුව ඉඩ නොදුන් බව ඔබ දන්නවාද? ඒ එම කොමිසම හමුයේ මෙරට මානව හිමිකම් කෙළෙසීම් හෙළිදරව් වනු වැළැක්වීමට යැයි ඔබ පිළිගන්නවා ද? සැඟවිමට දෙයක් නැත්නම් එවැනි තංහචියක් පැනවූයේ ඇයි?

3. ඉන් අනතුරුව එම කොමිසම විසින් සකස් කරන ලද වාර්තාවට ලංකාණ්ඩුවෙහි ප්‍රතිචාර ඉල්ලා සිටින ලදුව ඒ සඳහා දී තිබූ කාලය ඉකුත් වන තුරුම කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වු බවත් එවැනි ප්‍රතිචාර කිසිවක් ලබා නොදෙන බවත් ලංකාණ්ඩුව යුරෝපා පාර්ලිමේන්තුවට දැන් වූ බව ඔබ දන්නවා ද?

4.මෙකී වරණිය බදු සහනය දීර්ඝ නොකිරීමට ඇති ඉඩ ප්‍රස්ථා ශ්‍රී ලංකා විරෝධී කුමන්ත්‍රණයක් යැයි කෑමොර දෙන ආණ්ඩුව එය ලබා ගැනීමට තිබූ ඉඩ ප්‍රස්ථාවන්ට පා පහර දුන්නේ බදු සහනය ලබා ගැනීමට වඩා මානව හිමිකම් කෙළසන මර්ධනකාරී පාලනයක් පවත්වා ගෙන යාම වැදගත් කොට සැළකූ නිසා විය නොහැකි ද?

5. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කරුණූ ඉදිරිපත් කිරීමේ දී ඔබ විසින් නිර්පාක්ෂික ආගමික නායකයින් ලෙසින් පහත සදහන් කරුනු ආවරණය කරනු ලැබුවේ ද?

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් 2002 වසරේ දී ඒකඡන්දයෙන් සම්මත කරන ලද 17වන සංසෝදනය ක්‍රියාත්මක කිරීම දිගටම පැහැර හැර ඇති වත්මන් ආණ්ඩුව යහ පාලනය සදහා අත්‍යවශ්‍ය වන්නා වූ ස්වාධීන පොලිස්, අධිකරණ, මැතිවරණ සහ රාජ්‍ය සේවා කොම්සම් පත් කිරීම පැහැර ඇති බව,
මෙරට දෙමළ ජනයාට එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදා හැරීම අරමුණු කරගත් 13වන සංසෝධනය ක්‍රියාත්මක කිරීම මඟ හරිමින් මහජන ඡන්දයෙන් තේරී පත් නැගෙනහිර පළාත් සභාව අකර්මන්‍ය කරමින් සිටින බව,
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මුහුණ දී සිටින මර්දනකාරි තත්ත්වය – ජනමාධ්‍යවේදී ඝාතන සහ නිමක් නැති තර්ජන ගර්ජන උදාහරණයක් වශයෙන් සන්ඩේ ලීඩර් කතුවර ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් මාස 10කට සහ නඩුවාර 22කට පසු පොලීසිය තවම කිසිදු පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර නැති බව, ලිපි දෙකක් ලිවීම නිසා නොර්ත් ඊස්ටන් හෙරල්ඩ් කතුවර තිසෙයිනායගම් බරපතල වැඩ සහිත විසි අව්රුදු සිර දඩුවමකට යටත් කල බව, ඝාතනය කරන ලද යාපනයේ ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් පිලිබඳව හෝ වෘත්තිය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ ලේකම් පොද්දල ජයන්ත පැහරගෙන ගොස් පහර දීම පිළබඳ හෝ සුදරෝලි කතුවර විධ්‍යාදරන් පැහැරගෙන ගොස් පහර දීම පිළිබඳ හෝ කිසිදු පරීක්ෂනයක් පැවැත් වී නැති බව,
තමන්ගේ කැමැත්තට පිටින් ලක්ෂ තුනකට ආසන්න දෙමළ ජනතාවක් බලහත්කාරයෙන් වවුනියාවේ කඳවුරු ගත කොට සිටි බව සහ තවමත් දෙලක්ෂයට ආසන්න පිරිසක් එලෙස රදවාගෙන සිටින බව, මෙම ජනයාගේ මුලික මානව අයිතිවාසිකම් සියල්ල කෙළෙසෙමින් ඇති බව,
අපරාධකරුවන් යැයි තමන් විසින් නිගමනය කරන පුද්ගලයින් වෙඩි තබා මරා දැමීම මගින් අපරාධ පාලනය කිරීමේ ඊනියා වැඩ පිළිවෙළක් ශ්‍රී ලංකාවේ පොලීසිය විසින් ක්‍රියාත්මක කරන බව සහ ඉහළම පොලිස් නිලධාරීන් ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බව, මෙලෙස මරා දමනු පුද්ගලයින් පිළිබඳව කිසිඳු පරීක්ෂනයක් නොපැවැත්වෙන බව,
මෑත පැවැති දකුණු පළාත් සභා මැතිවරණයේ දී ආණ්ඩු පක්ෂය විසින් රාජ්‍ය දේපල අනිසි පරිහරණය සහ විරුද්ධ පාක්ෂික පිරිස් වලට එරෙහිව ප්‍රචණ්ඩ බලය යෙදීම ඇතුළු මැතිවරණ දුෂණයන්හි යෙදුනු බව, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හතරක් විසින් මේ බව වාරතා කර ඇති බව,

ගරු ආගමික පූජ්‍යවරුනි,

නෝබල් සම්මානලාභී ඉන්දියානු ශ්‍රාස්ත්‍රඥ අමර්ත්‍යා සෙන් ඉතා පැහැදිලිව පෙන්වා දී ඇති පරිදි ආර්ථික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ මානව නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුවක පැවැත්මයි. ආගමික ශ්‍රාස්තෘවරයන් ද මිනිස් නිදහසෙහි අවශ්‍යතාවය පෙන්වා දී තිබේ. යුරෝපීය සංගමයෙන් ශ්‍රී ලංකාවට ලබා දි ඇති වරණිය බදු සහන දිගටම ලැබිය යුතු බවට අපිදු එකඟ වෙමු. එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනයාට මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහතික කරනු ලැබිම ද අත්‍යවශ්‍ය ය. එම අයිතීන් පාගා ගෙන රට පාලනය කිරීම පිණිස ලැබෙන වරප්‍රසාදයක් බවට මෙම වරණිය බදු සහනය පත් නොවිය යුතු ය. ඔබ විසින් යුරෝපා සංගමයෙන් වරණිය බදු සහනය දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටි පරිද්දෙන්ම කරුණාකර ප්‍රසිද්ධයේ ශ්‍රී ලංකාවේ සෑම ජන කොටසකගේ ම මානව සහ ප්ර්‍‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කරන ලෙස ශ්‍රී ලංකාණ්ඩුවෙන් ඉල්ලා සිටින්න. ලසන්ත වික්‍රමතුංගගේ මිනීමරුවන්, පාර්ලිමේන්තු මංත්‍රී රවිරාජ් ගේ මිනීමරුවන් යනාදීන් අධිකරණය හමුවට පමුණුවන ලෙස ආණඩුවට බල කරන්න. රඳවා සිටින වන්නි ජනයා වහාම සිය ගම් බිම් කරා යවන ලෙස උද්ඝෝෂනය කරන්න.

එසේ නොමැතිව ශ්‍රී ලංකාවෙහි සිදුවන දේශපාලන අකටයුතුකම් ඉදිරියේ ඔබ මුනිවත රකින්නේ නම් ඔබේම අගමානුකූල හෘද සාක්ෂිය විසින් ඔබ ප්‍රශ්න කැරෙනවා ඇත. ඔබ ද දේශපාලන ව්‍යාපෘතියක කොටස්කරුවන් බවට අකමැත්තෙන් හෝ පත් වනවා ඇත. අපේ ප්‍රාර්ථනය එසේ නොවනු දැකීම ය.

සුනන්ද දේශප්‍රිය