සිංහල, Colombo, Democracy, Media

රහස් පොලිසිය ප්‍රවෘත්ති මූලාශ්‍ර රැකගැනීමේ අයිතියට අභියෝග කරයි

නොවැම්බර් 6 වන දින ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙහි පළ කරන ලද ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘවරයාගෙන් කට උත්තරයක් ලබාගැනිමත්, ඒ අනුව ප්‍රවෘත්තියෙහි මූලාශ්‍රය විමසීම සඳහා අධිකරණ අවසරයක් ඉල්ලා අධිකරණය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් පිළිගත් මාධ්‍ය ආචාරධර්ම වලට ඉඳුරාම පටහැනි බවත්, එය මෙරට මාධ්‍ය නිදහසටත්, ප්‍රකාශනයේ නිදහසටත් එල්ලකල බරපතල අභියෝගයක් බවත් මාධ්‍ය සංවිධාන පහක් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.
කිසියම් ප්‍රවෘත්තියක මූලාශ්‍රය හෙළි නොකර තබා ගැනීම ජනමාධ්‍යවේදීන්ගේ සම්මත ප්‍රධාන මූලධර්මයකි. එය මාධ්‍යවේදීන්ගේ වෘත්තියෙහි ජාත්‍යන්තරව පිළිගත් අචාරධර්ම පද්ධතීන් හි පැහැදිලිව දක්වා තිබේ. ශ්‍රී ලංකාවේද වරින් වර නිශ්චය කරගනු ලැබූ සියලු අචාරධර්ම, චර්යාධර්ම පද්ධති සහ ප්‍රඥප්ති ආදියෙහිද එය එලෙසම සඳහන්ව තිබේ. කිසියම් ප්‍රවෘත්තියක් හේතුකොටගෙන කිසියම් පාර්ශවයකට හෝ පුරවැසියකුට අගතියක් සිදුවී ඇත්නම් පළමුව කළ යුත්තේ ප්‍රවෘත්තිය පළ කරන ලද ආයතනය වෙත නිවැරදි කිරීමක් යැවීමය. එහෙත් මෙහිදී එවැන්නක් සිදුවී ඇති බවක් වාර්ථා වී නොමැති අතර සිදුවී ඇත්තේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව මූලාශ්‍රය හෙළි කරන ලෙස ඉල්ලා රහස් පොලීසිය අධිකරණය වෙත යාම බවත් සඳහන් කරන මාධ්‍ය සංවිධාන එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම බලය ඉක්මවා ක්‍රියාකිරීමක් ලෙස ද ප්‍රකාශ කරසිටී.
ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, දෙමළ මාධ්‍ය සංධානය, මුස්ලිම් මාධ්‍ය සංසදය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යන මාධ්‍ය සංවිධාන පහ වැඩිදුරටත් කියා සිටන්නේ මෙවැන්නක් ශ්‍රී ලංකාවේදී සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය වන බවත් මේ මඟින් මෙරට ජනතාව දැනගත යුතු යැයි පුරවැසියන් කල්පනා කරන තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමෙන් වැළැක්වීම සඳහා ඔවුන් බියගැන්වීමේ අභිප්‍රායක්ද ඇති බවත් එය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ ජනතාව වෙත තොරතුරු ලබාදීමට මාධ්‍ය වලට ඇති අයිතියද උල්ලංඝනය කරන්නක් බවත් ප්‍රකාශ කරයි.