සිංහල, Media

මර්වින් සිල්වා – සිරස සහ අපි

ඊයේ රාත්‍රී 9.30 වන විට මා සියලු වැඩ අත්හැර සැදී පැහැදී සිටියේ ට්වෙන්ටි-20 ක්‍රිකට් ලෝක කුසලානයේ ආරම්භක තරඟය නැරඹීමේ දැඩි අදිටනිනි. අවාසනාවකට මෙන් මෙම තරඟ මාලාව විකාශය වන්නේ සිරස නාලිකාවෙනි. මා එය අවාසනාවක් ලෙස සලකන්නේ පන්දු 5 කට සීමා වන පන්දු ඕවරයක් හෝ පන්දු ගණනට වඩා වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක් නැරඹීමට සිදුවන නිසා නොව ක්‍රිකට් තරඟය අතරවාරයේ දී ප්‍රචාරය වන සිරස කොම්පැණියේ දේශපාලන පුරුෂාර්ථයන් දෙස බලා සිටිය නොහැකි බැවිනි. මැච් එක නිසා එකී ගුවන් කාලයේ දී විකාශය වීමට නියමිතව තිබුණු ටෙලි නාට්‍යයක්, දිනකට දෙවරක් වෙනත් වේලාවන්වල දී විකාශය වන බව සඳහන් කරමින් නිතර නිතර ප්‍රචාරය වන නිවේදනය දකිත්දී, එකී නාට්‍යය ප්‍රචාරය නොවීමෙන් ජනතාවට වන පාඩුව කොතෙක්දැයි සිරස ගණන් බලන ආකාරය මට සිතාගත හැකිය.

ඒ හැරුණු කොට ඊයේ මැච් එක අතරවාරයේ දී නියෝජ්‍ය ඇමති මර්වින් සිල්වාගේ තර්ජනාත්මක වදන් අඩංගු රූප රාමු පෙළක් නිතර නිතර ප්‍රචාරය කරමින් සිරස කියා සිටියේ රාත්‍රී 10.45 ට නිව්ස් බලන ලෙසයි. සුවිශේෂී දෙයක් යාවි යැයි සැකයෙන් එකී ප්‍රවෘත්ති විකාශය නැරඹුව ද සාම්ප්‍රදායික මර්වින් – මහාරාජා ගැටුමෙන් පිට දෙයක් මට දකින්නට නොතිබුණි.

මර්වින් සිල්වා තරම් දේශපාලනමය වශයෙන් බාල්දු වූ සහ බංකොලොත් වූ චරිතයක් මාගේ ජීවිත කාලය තුළ දී තවමත් දැක නැත (මගේ වයස අවු. 27කි). මා එසේ පවසන්නේ කිසිදු ඡන්ද පදනමක් හෙවත් ජනතා වරමක් නොමැතිව නියෝජ්‍ය ඇමතිවරයෙක්ව ජනතා බදු මුදලින් නඩත්තු වනවා හැරෙන්නට තම දේශපාලනමය බලය අයුතු ලෙස සිය පුත්‍රයා විටින් විට යොදා ගැනීමද සාධාරණය කරන නිසාය.

ඔහු හම්බන්තොට යූ.ඇන්.පී. මන්ත්‍රීවරයෙකුව සිට යූ.ඇන්.පී. යෙන් ඉවත් වූයේ සජිත් ප්‍රේමදාස හම්බන්තාටින් දේශපාලන ගමන ආරම්භ කළ නිසාය. සජිත්, තම ආසනයෙන් පිට වෙනත් ආසනවල ඡන්ද වැඩ කරන බවට මුලින් ම චෝදනා කළේ මර්වින් සිල්වා ය. 2001 මහමැතිවරණයේ දී රාජපක්‍ෂලාගේ බලකොටුව වන හම්බන්තොට බලය ආසන දෙකකට පමණක් සීමා කිරීමට සජිත්ගේ ඡන්ද ව්‍යාපාරයෙන් හැකිවිය. එපමණක් නොව යූ.ඇන්.පී. යේ වසර 20 ක පමණ කාලයක් හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි ආනන්ද කුලරත්නට දේශපාලනයේ යන එන මං නැති වූයේ සජිත් නිසාය. මෙකී කරුණු සලකා බලන විට මර්වින් සිල්වා ගත්තේ ඉතා දූරදර්ශී තීරණයක් යැයි මට හැඟේ.

සජිත් ප්‍රේමදාස නිසා යූ.ඇන්.පී. යෙන් කැන්සල් වූ මර්වින් සිල්වා ට චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එකතු වීම හැර වෙන විකල්පයක් තිබුණේ නැත. චන්ද්‍රිකා මර්වින් ට මැද කොළඹ ආසනය භාර දුන්නාය. ඒ මැද කොළඹ දිනන්නට නොව චන්ද්‍රිකාටද වෙනත් විකල්පයක් නොතිබුණු බැවිනි. චන්ද්‍රිකාගේ පාලන සමයේ දී ඔහුට දෙනු ලැබූ නියෝජ්‍ය ඇමති තනතුරක් භාර ගැනීමේ දී චන්ද්‍රිකා ජනාධිපතිනියගේ දෙපතුල් නැමදීමට තරම් මර්වින් කීකරු වූයේ තමන් අතරමං නොකළ නිසාය. එබැවින් චන්ද්‍රිකා මැතිනිය විහාර මහා දේවිය ලෙස හැඳින්වීමට තරම් මර්වින් සිල්වා කළගුණ දත්තෙක් විය. එපමණ ද නොව තමන් දුටුගැමුණු පරපුරේ අයෙකු බව අදටත් ඔහු විසින් ම පුන පුනා පවසන්නේ චන්ද්‍රිකා හා ඔහු අතර ඥාතිත්වයක් ගොඩනඟා ගැනීමේ වුවමනාවෙන් විය යුතුව යැයි මට මුල් කාලයේ දී සිතුණි.

2004 මහමැතිවරණයෙන් පසුව මර්වින් සිල්වා ගේ දේශපාලන ගමනට ෆුල්ස්ටොප් එක වැටේවි යැයි බොහෝ දෙනෙක් සිටියහ. මා ද ඒ අතර විය. එවර ඡන්දයෙන් ලිස්ට් එකේ අන්තිම තැන මර්වින් ට ලැබුණි. මට මතක හැටියට ඡන්ද 2000 ක් වත් ගැනීමට මර්වින් ට හැකි වූයේ නැත. කෙසේ වුවද 2004 එක්සත් ජනතා නිදහස් සන්ධාන, ජාතික ලැයිස්තුවෙ හි මර්වින් සිල්වා ගේ බිරියගේ නම ඇතුළත්ව තිබුණි. සන්ධානයෙහි ප්‍රබලම පාර්ශවකරුවා වූ ජවිපෙ ය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ද සහිත ව ආසන 42 ක් දිනා තිබුණි. පසුව ජවිපෙ ය විසින් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලන් දෙකක් පොදු පෙරමුණට පරිත්‍යාග කළේය. ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා මර්වින් සිල්වාගේ බිරිය නම් කරනු ලැබූ අතර පසුව ඇයගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම අසුන මර්වින් සිල්වාට හිමිවිය. මේ සියලල් සිදු වූයේ චන්ද්‍රිකාගේ වුවමනාවටය. ජනතාව ප්‍රතික්‍ෂේප කළ පුද්ගලයෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක්ව අද වන විට පාර්ලිමේන්තුවේ වැජඹෙන්නේ එකී අනුහස නිසාය. කොතරම් සදාචාර සම්පන්නද?

අනෙක් අතට මර්වින් සිල්වා වැනි පුද්ගලයෙකු තම පක්‍ෂය තුළ තබා ගන්නේ කුමන කරුණු කාරණා නිසාද යන්න විමසීම වටී. මේ දිනවල සිරස ප්‍රවෘත්ති විකාශයෙන් මිනිත්තු 10 ක් පමණ වෙන්වන්නේ මර්වින් සිල්වා උදෙසාය. එබැවින් සිරස ඒ කැප කරන්නේ වෙනත් ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමට තිබෙන කාලයයි. මර්වින් සිල්වාගේ ප්‍රකාශ පදනම් කරගත් රූපරාමු නිතර නිතර ප්‍රචාරය කිරීම මගින් දැනට ලංකාවේ තිබෙන දැවෙන ප්‍රශ්නය මෙය යැයි යමෙකු සිතන්නේ නම් ඒ ගැන පුදුම විය යුතු නැත. අනෙක් අතට මර්වින් සිල්වා වැන්නෙකුට එවැනි ගුවන් කාලයක් වෙන් කිරීමට සිරස බංකොලොත් විය යුතුද නැත. මා සැප්තැම්බර් 12 වැනි දින සවස 2.55 සිරස ලයිව් ඇට් 55 ප්‍රවෘත්ති විකාශය නැරඹුවේ, නැදුමාරන්ගේ ශ්‍රී ලංකා ගමන පිළිබඳ අලුත්ම තත්ත්වය දැන ගැනීමටය. එහෙත් ඔවුන් ප්‍රචාරය කළේ මර්වින් සිල්වාගේ පුත්‍රයා අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රවෘත්තියයි. නැදුමාරන්ගේ සිද්ධීය වැනි ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවට බලපාන ප්‍රශ්නයකට වඩා මර්වින් සිල්වාගේ පුත්‍රයාගේ සිදුවීමට ප්‍රමුඛස්ථානයක් දීමට කටයුතු කිරීම ප්‍රේක්‍ෂක අපට කරන අසාධාරණයකි.

සිරස සහ මර්වින් සිල්වා අතර මෙබඳු විරසකයක් ඇතිවීමට හේතුව මර්වින් ගේ පුත් මාලක සිල්වා අතින් චමින්ද සේරසිංහ නම් ගණකාධිකාරීවරයා දැඩි පහර කෑමකට ලක්වීම පමණක් නොවේ. එමෙන්ම චමින්ද සේරසිංහගේ සහෝදරයා වන සුජීව සේරසිංහ කඩුවෙල එජාප සංවිධායක වීම ද නොවේ. වරක් මාලක සිල්වාගේ මෙවැනිම වූ අවනඩුවක් වාර්තා කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගිය සිරස මාධ්‍ය කණ්ඩායම ට මර්වින් සිල්වා බැණ වැදුණේ සිරස හිමිකරුවන් වන මහරාජාවරුන් දැඩි දෝෂදර්ශනයට ලක්කරමිනි. මහරාජලා ගේ ඉන්දියානු සම්භවය ගැන ද මර්වින් දැඩි ලෙස විවේචනය කළේය. එතැන් පටන් මර්වින් සිල්වා හා සිරස අතර විරසකය ආරම්භ විය. මෙහි දී මර්වින් සිල්වා ඇමතිවරයාට වූ අසාධාරණය වෙනුවෙන් වීදී බට මැද කොළඹ ජනතාව කොළඹ බේබෲක් පෙදෙසේ සිරස කාර්යාලය වට කර උද්ඝෝෂණයක නිරත වූහ. උද්ඝෝෂකයින්ගේ හඩ මැඩලීමට සිරස කළේ ලවුඩ් ස්පීකර්වලින් පිරිත් ප්‍රචාරය කිරීමයි. පසුව මෙම උද්ඝෝෂණය සංවිධානය කළේ මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන සමන් අබේගුණරත්න බව සිරස අනාවරණය කළේය. සමන් අබේගුණරත්න අද කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකි.

මර්වින් සිල්වා මාධ්‍ය සමඟ ගැටුමක් ඇති කර ගත් පළමු අවස්ථාව ද මෙය නොවීය. වරක් දිවයින පුවත්පතෙ හි පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධව, දිවයින කාර්යාලය ඇතුළට බලෙන් ගොස් තම බල පුළුවන්කාරකම පෙන්වන්න ද ඔහු කටයුතු කළේය. පෙර සඳහන් කළ පරිදි සිරස හිමිකරුවන්ගේ ඉන්දියානු සම්භවය පිළිබඳව මර්වින් කළ විවේචනය සම්බන්ධයෙන් පසුව ඔහු කණගාටුව පළ කළේය. ඔහු කියා සිටියේ තමන් දැනුවත්ව එසේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවයි. තවද අද වන විට ඇති නවීන තාක්‍ෂණික උපකරණ භාවිත කරමින් තමන් එලෙස වැරදි ප්‍රකාශයක් සිදුකළ බවට ප්‍රවෘත්තියක් නිර්මාණය කරන්නට ඇතැයි යනුවෙන් ප්‍රකාශයක් ද කළේය. මේ සියලු කරුණූ කාරණාවලින් පැහැදිලි වනුයේ ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලද මෙම විද්‍යාර්ථියාගේ මානසික මට්ටමයි.

මර්වින් සිල්වා වැන්නවුන් කරන කියන දෑ ගැන විවේචන තිබිය යුතුය. රටට පිළිලයක්ව ඇති පියවරුන්ගේ දේශපාලන බලය හිතට ගන්නා පුතුන් ගැනද විවේචන තිබිය යුතුය. නමුත් ඒවා මාධ්‍ය ආයතනයක පෞද්ගලික න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක කරවීමට යොදා නොගත යුතුය. රට කරවන ඇත්තන් ද මර්වින් නිසා ස්වයං වින්දනයක් ලබනු ඇත. මක් නිසාද යත් රටේ තිබෙන සියලු ප්‍රශ්න මර්වින් සිල්වා සහ මාලක සිල්වා වැන්නවුන් නිසා ටික කලකට හෝ ජනතාවගෙන් වසන් කළ හැකි බැවිනි. මාධ්‍ය ක්‍රියාත්මක විය යුත්තේ එකී ෆැන්ටසිය ජනතාවට තේරුම් කර දීමට මිස තව දුරටත් මර්වින් ලා පොරවල් කිරීමට නොවේ.

– කල්ප අසංක –