සිංහල, Batticaloa, Democracy, Human Rights

යුධ හමුදාව හා පොලීසිය මඩකළපුවේ නිවැසියන්ගේ තොරතුරු විමසයි

යුධ හමුදාව හා පොලීසිය වෙන වෙනම මඩකළපුව දිස්ත්‍රික්කයේ සෑම නිවසකම තොරතුරු විමසමින් පෝරමයක් බෙදාහැර ඇති බව විකල්ප වෙත වාර්ථාවේ. මෙහිදී එක් පෝරමයක් යුධ හමුදා භටයන් විසින්ම නිවාස වලටම පැමිණ ලබාදී ඇත. එහිදී ඔවුන් පවසා ඇත්තේ පෝරමය පුරවා ලබාදීම අනිවාර්ය බවත් එය ඡන්දයට කලින් ඔවුන්ම පැමිණ බලා ගන්නා බවත්ය. පොලිසිය පෝරමය ලබාදී ඇත්තේ ග්‍රාමසේවකයන් හරහාය. එහිදී ග්‍රාමසේවකවරුන් සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන්ගේ සහාය ඇතිව නිවාස වලට පැමිණ පෝරමය පුරවා ගන්නා බවත් වාර්තාවේ.
අප මේ පිළිබඳව මඩකළපුව පොලිස් මහජන සම්බන්ධතා කාර්යාලයෙන් විමසූ විට ඔවුන් පැවසූවේ පොලිසිය විසින් තොරතුරු එක්රැස් කරන්නේ හදිසි නීති රෙගුලාසි යටතේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ 23 පෝරමය යටතේ බවයි. එහිදී එම ක්‍රියාවලිය ග්‍රාමසේවකවරුන් හරහා සිදුකරනු ලබන බවත් සියලු ග්‍රාමසේවක වසම් සඳහා තොරතුරු පත්‍රිකා ඇතුලත් පොතක් සෑදීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් පැවසූවා. මෙම ක්‍රියාවලිය මඩකළපු දිස්ත්‍රික්කයට පමණක් අදාල නොවන්නක් බවත් එය සමස්ත රටේම සිදුකරන්නක් බවත් පැවසූ අදාල නිළධාරියා මේ ක්‍රියාවලිය සඳහා අදාල පලාත් වල සිවිල් ආරක්ෂක කමිටු වල සහාය ලබාගන්නා බවත් ප්‍රකාශකර සිටියේය.
අප මේ පිළිබඳව මඩකළපුව ආරක්ෂක සේනා මුලස්ථානය ඇමතීමට උත්සහා කළද ඔවුන් ව සම්බන්ධ කරගැනීමට නොහැකි වුනි.