සිංහල, Colombo, Democracy, Governance, Media

ජනාධිපතිවරණ අභියෝග (07) – සිවිල් සමාජය, රාජපක්ෂ සහ ෆොන්සේකා

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
තරුණ සිවිල් ක්‍රියාකාරිකයකු අන්තර් ජාල වැට් හමුවක දී අද උදෑසන මෙසේ කීවේ ය. ”අපි කට්ටියක් ඊයේ ජනාධිපතිවරණය ගැන කලා මාධ්‍ය ක්ෂේත්‍රයේ තුන් දෙනෙක් එක්ක සාකච්ජාවක් කරා, දන්නවද අන්තිම නිගමනය: ඔක්කොම හොරු”

එම නිගමනය ප්‍රායෝගික නොවන පරමාදර්ශවාදී එකක් බව මම කීවෙමි. දේශපාලනය යනු කළ හැකි දේ පිළිබඳ කලාව ය යන කියමන මතක් කළ මා කීවේ දේශපාලන වෙනස්කම් ඇති කිරීමට නම් අප ඇසිය යුතු ප්‍රශ්නය වත්මන් සංදර්භය තුළ අපේ භූමිකාව කුමක් විය යුතුද යන්න බවයි. අප යනුවෙන් මා අදහස් කළේ අප වැනි පක්ෂ දේශපාලනය සමඟ ඍජු සම්බන්ධයක් නැති සිවිල් සමාජීය පිරිස් ය.

සිවිල් සමාජය යන්නෙන් පොදු වශයෙන් අදහස් කැරෙන්නේ රජයෙන් ස්වාධීන ස්වේච්ඡා ක්‍රියාකාරිත්වයක් ද සහිත පුරවැසි මූලිකත්වයන් ය. එයට පොදු වශයෙන් නිදහස් ජනමාධ්‍ය ද උසස් අධ්‍යාපන ආයතන, රජයේ නොවන සංවිධාන යනාදිය ද සමාජ සහ ආගමික කණ්ඩායම් ද ඇතුළත් වෙයි. නූතන සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිවිල් සමාජය ලෙස සැළකීමට නම් නීතියට ගරු කිරීම, පුද්ගල සහ සාමුහික අයිතීන්ට සහ ඔව්න්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කිරීම ද ඇතුළත් විය යුතු බව යි. සිවිල් නොහොත් ශිෂ්ඨ යන්නෙන් අදහස් වන්නේ අන්‍යයා ඉවසීම මෙන්ම බහුත්වවාදය සහ විවිධත්වය පිළිගැනීම යි.

අප දන්නා පරිදි ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයින් දෙදෙනා ම මේවන විට වෘත්තික පිරිස්, වෘත්තීය සමිති, ස්ත්‍රී කණ්ඩායම් යනාදී විවිධ සමාජ කණ්ඩායම් හමුවී ඔව්න් සමඟ සංවාදයන්ට එළඹීමට උත්සාහ දරා තිබේ. බොහෝ සෙයින්ම එළෙස හමු වූ සංවිධාන දේශපාලන මතවාදයක් සහ දේශපාලන පක්ෂ ලැදියාවක් ඇති ඒවා ය.

නමුත් ස්වකීය ප්‍රධාන දේශපාලන ලැදියාව මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් බවට පත් කරගත් සිවිල් සමාජීය පිරිස් සමඟ රාජපක්ෂ හෝ ෆොන්සේකා මේ තාක් කිසිදු සංවාදකට එළඹ නැත. මෙහිදී මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යනුවෙන් හුදෙක් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව සමාජ, සංස්කෘතික සහ ආර්ථික අයිතිවාසිකම් අදහස් කරන බව සඳහන් කළ යුතු ය. මෙම තත්ත්වයට අඩුම වශයෙන් හේතු දෙකක් තිබිය හැක.

1. ශ්‍රී ලංකාවේ දේශපාලනයට බලපෑමක් කළ හැකි එවැනි සිවිල් සමාජ ජාලයක් පෙනෙන්නට නැති වීම, හුදෙක් විදේශ ආධාර රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයක් ලෙස පමණක් ඒවා විද්‍යාමාන වීම

2. පක්ෂ දේශපාලනයට ඍජුව ම සම්බන්ධ නැති ශ්‍රාස්ත්‍රඥයින්, කලාකරුවන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, ජනමාධ්‍යවේදීන් සහ ඔව්න්ගේ සංවිධාන නූතන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ඉටු කරන වැදගත් භූමිකාව පිළිබඳ පිළිගැනීමක් සහ අවබෝධයක් මෙම අපේක්ෂකයින් දෙදෙනාට ම නැති වීම

මේ තාක් දුරට සිවිල් සමාජය අතරින් ජනාධිපතිවරණයට ස්වකීයම වූ මැදිහත්වීමක් කිරීමට ධෛර්යය සහ හැකියාව පෙන්වා ඇත්තේ පසුගිය කාලය පුරා රාජපක්ෂ ආණ්ඩුවේ මර්දනකාරී පියවරයන් සමඟ දේශිය මෙන්ම අන්තර් ජාතික වශයෙන් සටන්වැදුණු මාධ්‍ය නිදහසේ සංවිධාන ජාලය පමණි. 2006 -2009 කාලය පුරා ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය මත මුදා හැරුණූ පෙර නොවී විරූ මර්දනය නොතකා ස්වකීය අනන්‍යතාවය සහ ඉල්ලීම් ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ සටහන් කිරීමට එය සමත්ව සිටින්නේ එම කාලය තුළ දීම මාධ්‍ය ව්‍යාපාර අතර ගොඩනැගුණූ ප්‍රතිපත්තිම ය සමගිය පාදක කොට ගෙන ය. 2008 අවසානයේ සහ 2009 ජනවාරියේ මතු වූ අවාසනාවන්ත තත්ත්වය නොවී නම් මාධ්‍ය සංවිධාන එකතුව සිවිල් සමාජීය නායකත්ව කාර්යභාරයක් ඉටුකිරීම කරා පෙරට ගමන් කිරීමට හොඳටම ඉඩ තිබුණි. අපේ සමගිය සහ නායකත්වය විනාශ කිරීම රාජපක්ෂ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය බවට පත් වූයේ ඒ නිසා ය.

1971 කැරැල්ලට සම්බන්ධ වූත් ඉන් පසුව විවිධ සිවිල් ක්‍රියාකාරිත්වයන් හි නිරතවූවා වූත් පිරිසක් එක්ව පිහිටුවා ගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මංඩපය තවත් එවැනි මැදිහත්වීමක් සහිත සිවිල් ක්‍රියාකාරිත්වයකි. එහි කැදවුම්කරු කේලි සේනානායක කියා සිටින්නේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී හුස්මක් ලබාගැනීම සඳහා අනිවාර්යයෙන්ම ජනාධිපති රාජපක්‍ෂ පරාජය කළ යුතු බැවින් මේ රටේ සිටින මානව ක්‍රියාකාරිකයින් පැරැණි ජවිපෙ සාමාජිකයින්, සියලුම සමාජ ක්‍රියාකාරිකයින් සහ ජනතාවටත් ඒ සඳහා ආරාධනා කරන බවය. අප එකඟවූවත් නැතත් තමන් දරන මතය වෙනුවෙන් දේශපාලන මැදිහත්වීමක් කිරීමට එම සිවිල් කණ්ඩායම දරන උත්සාහය පැසසිය යුතු ය. මන්ද යත් සිවිල් සමාජයට සිය අරමුණූ මුදුන් පමුණුවා ගැනීම සඳහා දේශපාලන මැදිහත්වීම් කිරීමට සිදුවන නිසා ය. ස්වකීය ස්වාධීනත්වය පවත්වා ගනිමින් සිය දේශපාලන මැදිහත්වීම කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මංඩපය සමත් වේ නම් ඒ විසින් සාධනීය අත්දැකීමක් සිවිල් සමාජයට ලැබෙනවා ඇත.

1994 මාධ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා, 2000 ව්‍යවස්ථා කෙටුම්පතෙහි මානව හිමිකම් පරිච්ඡෙදය, පරිවාස ආණ්ඩු සමයෙහි 17වන ව්‍යවස්ථා සංසෝධනය, 2004 තොරතුරු නිදහසේ පනත, යනාදිය සිවිල් සමාජය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ යහ පාලන පිළිවෙත් අරභයා තීරණාත්මක දායකත්වයන් සැපයූ අවස්ථාවන් ය. දේශපාලන සුපිරිසිදුවාදීන්ගේ විවේචන නොසළකා දේශපාලන බලය සමඟ ගනුදෙනු කිරීමට හැකියාවක් නැතොත් සිවිල් සමාජයට සමාජ වෙනසකට දායකවීමට අවස්ථාව ලැබෙන්නේ නැත.

එනමුත් අද අපට පෙනෙන්නේ රටපුරා විසිර සිටින විවිධාකාර ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සහ සමාජ සාධාරණත්වය මුල් කරගත් රාජ්‍ය නොවන සංවිධාන ඇතුළත් සිවිල් සමාජ සංවිධාන මෙම ජනාධිපතිවරණය තුළ කිසිදු භමිකාවක් අල්ලා ගැනීමට නොහැකිව සිටින අන්දම යි. කොළඹ ප්‍රභූ සිවිල් සමාජ නායකත්වය සිය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹින් බැහැර බිම් මට්ටමේ සිවිල් සමාජ සංවිධාන සමඟ එක් වූ නමුත් ඒවායෙහි සමාජ දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩ නැගීමට උනන්දු වුයේ නැත. එවැනි සාමූහික ප්‍රවේශයක් ද නිර්ප්‍රභූ නායකත්වයක් ද තිබූ ප්‍රජාතන්ත්‍ර අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය (එම්.ඩී.ඩී.ආර්.) සහ ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සඳහා ව්‍යාපාරය (මර්ජ්) අද අක්‍රීය ය. පසුගිය කාලය පුරා රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයට විශම සහ දුෂ්ඨ ප්‍රහාරය වැළැක් ම එල්ල කෙරුණ ද ඊට මුහුණ දීමට ඒකාබද්ධ ව්‍යායාමයක් ගොඩ නොනැගුනි. ජනාධිපතිවරණය හෝ ඉන්පසු ඇතිවන තත්ත්වය තුළ ස්වකීය දේශපාලන භූමිකාව කුමක්දැයි සාකච්ඡාවක් හෝ මෙම ක්ෂේත්‍රයෙහි දක්නට අද නැත.

එමෙන්ම සිවිල් සමාජය සමඟ කටයුතු කිරීමේ කෙටි කාලීන හෝ සම්ප්‍රධායක් පෙන් වූ මෑත කාලීන දේශපාලන නායකයින් වනුයේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ අගමැති රනිල් වික්‍රමසිංහ පමණක් බව ද අපි දනිමු. ප්‍රතිපත්ති සමීක්ෂන කණ්ඩායම නමින් එකතුවක් කැඳවූ ජනාධිපතිනි කුමාරතුංග සිය ධූරයේ මුල් වසර දෙක තුළ එම පිරිස සමඟ සංවාදයක යෙදුණා ය. ජනමාධ්‍ය නිදහස උදෙසා සිවිල් ක්‍රියාකාරීන් ද ඇතුළත් කමිටු හතරක් ඇය විසින් අමාත්‍ය මංඩල තීරණයක් මත පිහිටුවන ලදී. එම කමිටු වාර්තා ක්‍රියාත්මක කරවා ගැනීමට මාධ්‍ය සමාජය උනන්දු නොවු අතර ඇය ඒවා හමස් පෙට්ටියට දැමුවා ය . අනතුරුව එළඹුන කාලයෙහි ඇය සිවිල් සමාජය සමඟ සංවාදය වෙනුවට තම දේශපාලනය තුළට එකී පුද්ගලයින් උරා ගැනීමේ අන්ත්‍රර් ග්‍රහණයේ පිළිවෙතකට මාරු වූවා ය.

අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධූරයේ මුල වසර තුළ ජනමාධ්‍ය නිදහස සඳහා මාධ්‍ය ප්‍රජාව සමඟ එවැනි ම සංවාදයක යෙදුණී. එනමුත් සාම ක්‍රියාවලිය අරභයා එවැනි සංවාදයක් පවත්වා ගැනීමට ඔහු උනන්දුවක් පෙන්වූයේ නැත. විපක්ෂයේ සිටිය දී සිවිල් සමාජ සංවිධාන පිහිට පැතූ රාජපක්ෂ ජනාධිපති ධූරය ලද වහාම සිවිල් සමාජ දේශපාලනයෙහි මාරාන්තික විරුද්ධවාදියකු බවට පත් විය. දැන් අප හමුවෙහි ඇත්තේ රාජපක්ෂ සහ ෆොන්සේකා යන දෙදෙනාගෙන් එක් අයකු ශ්‍රී ලංකාවේ මීලඟ ජනාධිපති බවට පත්වීමේ යථාර්තය යි. කුමාරතුංගට හෝ වික්‍රමසිංහට මෙන් නොව මේ දෙදෙනාට ම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුව සිවිල් සමාජයට සවන් දීමේ හෝ එවැනි පිරිස් සමඟ කටයුතු කිරීමේ අත් දැකීමක් නැත.

බිම් මට්ටමේ රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රය ද ඇතුළත් ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ ජාලයන්ට සිය සමාජ භූමිකාවෙහි මූලික වටිනාකම් අවම වශයෙන් ලියැවිල්ලක් බවට පෙරළීමට නොහැකි වී තිබීම විසින් මෙම තත්ත්වය තවදුරටත් නරක් කරයි. සංවිධානයවීමේ පුරවැසි අයිතිය සහ එවැනි සංවිධාන ජාලයන් හරහා දේශපාලන බලය සමඟ සංවාදයක යෙදීමේ සහ තමන්ට සවන් දෙනු ලැබීමේ අයිතිය වෙනුවෙන් හෝ දැනෙන දේශපාලන මැදිහත් වීමක් කිරීම ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය ජනාධිපතිවරණය තුළ මුහුණ දෙන මූලික අභියෝගය යි.

අද අප ජීවත් වන්නේ හුදෙක් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පමණක්ම බලපවත්වන ලෝකයක නොවේ. වත්මන් ආණ්ඩුකරණය සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ද සිය අරමුණක් සේ සළකයි. පුරවැසි සහභාගිත්වය ලබා ගැනීම ඒ සඳහා අවශ්‍ය ය. මැතිවරණයෙන් බලයට පත් නොවූ බැවින් සිවිල් සමාජ පුද්ගලයිනට රාජ්‍ය පාලනයට මැදිහත්වීමට අයිතියක් නැත යන අදහස යල් පැන ගිය රාජ්‍ය කේන්ද්‍රීය එකකි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සිවිල් සමාජීය ක්‍රියාකාරිත්වය සළකන්නේ රාජ්‍යයේ ඒකාධිකාරී බලය තුලනය සහ සංවරණය කරන වැදගත් සාධකයක් ලෙස ය. ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය මෙම ජනාධිපතිවරණ සටන තුළ සිය අනන්‍යතා ඉල්ලීම් සටහන් කළ යුත්තේ කෙටියෙන් කීවොත් අන්න ඒ නිසා ය.

සුනන්ද දේශප්‍රිය