සිංහල, Colombo, Democracy, Peace and reconciliation

සාමකාමී නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කරන්නැයි නිරීක්ෂණ සංවිධාන ඉල්ලයි

ජනවාරි 26 ට යෙදී ඇති ජනාධිපතිවරණය සාමකාමී, නිදහස් සහ සාධාරණ අයුරින් පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව අද (24 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මාධ්‍ය සංවිධාන එකමුතුව ප්‍රකාශ කෙළේය. නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය(PAFFRAL)ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය(TCI) මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය(CMEV) නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා වූ ජනතා ව්‍යාපාරය(CAFE) සහ මාධ්‍ය සංවිධාන එකතුව සහභාගී වූ මේ මාධ්‍ය හමුව විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ නීතීඥ ජේ.සී. වැලිඅමුණ මහතා ප්‍රකාශ කළේ මැතිවරණය සාමකාමී නිදහස් සහ සාධාරණ අයුරින් පැවැත්වීම සඳහා සියළු පාර්ශ්වයන් එක්ව කටයුතු කළ යුතුව ඇති බවය.
‛මීට කලින් තිබුණ හැම මැතිවරණයකටම වඩා මේ මැතිවරණය නිදහස් හා සාධාරණ අයුරින් පවත්වන්න ට මැතිවරණ කොමසාරිස්තුමා සිය උපරීමයෙන් උත්සාහ කරලා තියනවා. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශය ට පත්කිරීමේ දී පවා වෙනත් පාර්ශ්වයක ට කිසියම් බලපෑමක් කරන්නට බැරි වෙන විදිහට නව තාක්ෂණික ක්‍රමවේදයන් මගින් සියළුම මාධ්‍යයන් ට එකවර ප්‍රතිඵල නිකුත් කරන ක්‍රමවේදයක් එතුමා හදුන්වා දී තියනවා. ඒ සම්බන්ධයෙන් නිරීක්ෂකයන් වශයෙයන් අපිට සෑහීමකට පත්විය හැකියි. රජයේ නිලධාරින්ගෙනුත් අප ඉල්ලා සිටින්නේ තමන්ගේ හෘද සාක්ෂියට සහ නීතියට අනුව කටයුතු කරන ලෙසයි. එහෙම කටයුතු කිරීම නිසා යම් ගැටළුවක් ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය සහ සමාජමය ආරක්ෂාව ලබාදෙන්නට අප සූදානම්’
යැයි ද වැලිඅමුණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය හමුව අමතමින් ඡන්ද දායකයන් විශේෂයෙන් අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක් පෙන්වා දුන්නේය.
මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අවසන් අදියරට පැමිණ ඇති බැවින් තවමත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණ ඡන්දදායකයෙක් වේ නම් 25 වන සදුදා දිනයේ තමන්ගේ ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් ඒ ගැන සොයා බලන ලෙසත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඇතත් නැතත් ඡන්ද නාම ලේඛනයේ නම් ඇති අයට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි බවත් හෙතෙම අවධාරණය කෙළේය. එබැවින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණ අයෙකුට වුව ද මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගන්නා හැදුනුම් පතක් රැගෙන ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති බැවින් උදෙන්ම ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට පියවර ගන්නා ලෙස ද හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
‛පෞද්ගලික සේවයේ නියුතු සෑම කෙනෙකුටම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවම වශයෙන් පැය හතරක වැටුප් සහිත නිවාඩුවක් හිමියි.යම් හාම්පුතෙක් එය ලබාදීම පැහැර හැරියොත් ඊට එරෙහිව නඩු පැවරිය හැකියි. ඡන්දය පාවිච්චි කරන ආකාරය ගැනත් යම් යම් අයට අපැහැදිලිතා තියනවා. මැතිවරණ කොමසාරිස්වරයා මීට සුළු මොහොතකට කලින් අප සමග පැවැති සාකච්ඡාවෙදි ප්‍රකාශ කළා ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නට බලාපොරොත්තු වෙන බව. තමන් කැමැති අපේක්ෂකයාගේ නම ඉදිරියේ ඇති කොටුවේ කතිරය සළකුණු කිරීමෙන් හෝ අංක 1 සළකුණු කිරීමෙන් යන දෙයාකාරයෙන් එක් ආකාරයකට ඡන්දය ප්‍රකාශ කළ හැකියි.’ යි ද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ නීතීඥ එස්.ජී. පුංචිහේවා, මාධ්‍ය සංවිධාන එකමුතුවේ චූලවංශ සිරිලාල් යන මහත්වරු ද මාධ්‍ය හමුව අමතා අදහස් පළකෙළේය. .