සිංහල, Colombo, Democracy, Human Rights, Media

පශ්චාත් මැතිවරණ මාධ්‍ය මර්දනය නතර කරන ලෙස ශ්‍රී ලංකාණ්ඩුවට බල කරන්න.

ජනාධිපති මැතිවරණය සමයෙහි වඩාත් උග්‍ර අතට හැරුණු මාධ්‍ය සහ මාධ්‍යවේදී මර්දනය දැන් එළඹ ඇති පශ්චාත් මැතිවරණ සමයෙහි තවදුරටත් දරුණූ අතට හැරෙමින් තිබීම තම මාධ්‍ය සංවිධානයන්හි මහත් කණස්සල්ලට හේතු වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍ය සංවිධාන එකමුතුව ප්‍රකාශකරයි. මෙම තත්ත්වය දිනෙන් දින වඩ වඩා මර්දනකාරී ස්වරූපයක් ගනිමින් ඇති බවත් ඒ පිළිබඳව දැඩි අවධානය යොමුකරන තම මාධ්‍ය සංවිධාන මෙකී සියළු මර්දනකාරී පියවරයන් නොපැකිළ හෙළා දකීන බවත් සඳහන් කරයි. එමෙන්ම තමන් මෙම ප්‍රහාරයන්ගේ ගොදුරු බවට පත්වන ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් වෙත කොන්දේසි විරහිතව සහයෝගය පළ කර සිටින බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනු ලබයි.

‛‛2010 ජනවාරි 24 වෙනිදා රාත්‍රියේ අතුරුදහන් වූ ලංකා ඊනිව්ස් ආයතනයේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා පිළිබඳව මේ වනතුරුත් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කළද තවමත් කිසිදු ප්‍රගතියක් නෙමැති බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

විපාක්ෂික පුවත් සහ මතවාදයන්ට අවස්ථාව සැළසූ ලංකා ඊ නිවිස් වෙඩ් අඩවියට පිවිසීමට නොහැකි වන පරිදි මැතිවරණ දිනයෙහි රාජ්‍ය පාලිත ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය එම අඩවිය වාරණයට ලක් කළ බවත් එම වාරණයට එරෙහිව එහි ප්‍රධාන කර්තෘවරයා විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති වෙත කරන ලද නියෝගයක් අනුව මැතිවරණ දිනයේ පමණක් එම වාරණය ඉවත් කරන ලද නමුත් මැතිවරණ දිනයට පසු දින මැතිවරණ කොමසාරිස්වරයා අවසාන ප්‍රතිපලය ප්‍රකාශ කිරිමෙන් පසු නැවත ලංකා ඊනිව්ස් වෙබ් අඩවියට කිසිවකුටත් පිවිසිය නොහැකි වන පරිදි ප්‍රබල අවහිරයන් ක්‍රියාත්මක කර තිබේන බවත් එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.

එසේම 2010 ජනවාරි 28 උදෑසන ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවෙහි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වන රවී අබේවික්‍රම මහතාට සභාපතිවරයාගේ කාමරයේ දී ආයතනයේ නියෝජ්‍ය ප්‍රවාහන කළමණාකරුවන ජී.ඩී.සෝමපාල යන අය විසින් පහරදී ඇති බවත් ඉන් පසුව රූපවාහිනි සංස්ථාවේ සභාපති ආචාර්ය ආරියරත්න ඇතුගල සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ යන මහත්වරුන් එම ආයතනයේ වැඩසටහන් නිෂ්පාදකවරුන් වන කාංචන මාරසිංහ, හර්බට් කුමාර අලගියවන්න සහ ගාමිණී පුෂ්පකුමාර යන මහත්වරුන් වෙත තර්ජනය කොට අසභ්‍ය වචනයෙන් බැනවැදී ඇති බවත් මෙම ජනමාධ්‍යවේදීන් වෙත මෙලෙස ප්‍රහාරයන් සහ තර්ජනයන් එල්ල වී ඇත්තේ ජනාධිපතිවරණ සමයේ රූපවාහිනී සංස්ථාව තුළ මැතිවරණ කොමසාරිස්වරයාගේ නිර්දේශ අනුව සමබර මාධ්‍ය භාවිතයක් වෙනුවෙන් පැවැති උද්ඝෝෂනයන්හි මූලිකත්වය ගැනීමට පළිගැනීමක් වශයෙන් බවත් එම නිවේදනය මඟින් පෙන්වා දෙනවා.

එසේම ‛‛ලංකා’’ පුවත් පත ගිනි තබන බවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම දුරකථනයට ඇමතුමක් ලබා දෙමින් තර්ජනය කළ බව 2010 ජනවාරි 28 වන දින ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ලද පුවත් පත් සාකච්ඡාවකදී පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා ප්‍රකාශ කළ බවත් ඉන් පසු එම පුවත කිසිදු රූපවාහිනී නාලිකාවකින් විකාශනය නොවන බවට නොනිල වාරණයක් පණවන ලද බවද දැන ගන්නට තිබේන බව එම නිවේදනය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙම සිදුවීම් විසින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය මර්දනය පශ්චාත් මැතිවරණ සමයෙහි උත්සන්න වෙමින් ඇති බව පැහැදිලිව පෙන්නුම් කරන බවත් ජනාධිපතිවරණය පිළිබද විවෘත සාකච්ඡාවක් ඇතිවීම මෙම මර්දනකාරී වාතාවරණය විසින් වළක්වනු ලබන බවත් එහි විපාකය වන්නේ මහා ජනයාගේ තොරතුරු දැන ගැනීමේ නිදහස උල්ලංඝනය වීමත් දැනුවත් තීරණයන් ගැනීමට ඔව්න්ට ඇති අවස්තාව අහිමි වීමත් බවත් ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වීමට නියමිත මහා මැතිවරණ සමයෙහි මෙරට මහා ජනයාගේ තොරතුරු දැන ගැනීමේ නිදහස තහවුරු කිරීමේ අවශ්‍යතාවය තම සංවිධාන මඟින් අවධාරණය කරන බවත් කියා සිටී.
මෙම වාතාවරණය යටතෙහි ජනතාවගේ තොරතුරු දැනගැනීමේ මෙන්ම ප්‍රකාශනයේ නිදහසෙහි ප්‍රකාශණය වන මාධ්‍ය නිදහස රැක ගැනීම උදෙසා මෙම මර්දනකාරි පියවරයන්ට විරෝධය පළකරන ලෙසත් පශ්චාත් මැතිවරණ සමයෙහි ප්‍රජාතන්ත්‍රවාදී, නිදහස් වාතාවරණයක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ එහි බලධාරීන්ට බලපෑම් කරන ලෙසත් ශ්‍රී ලංකාවෙහි සියළුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගෙන් ද ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩලයන්ගෙන් ද එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් පිළිබඳ එමෙන්ම මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන සියලූම අන්තර් ජාතික සංවිධානයන්ගෙන් ද තමන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටන බවත් ඔවුන් තම නිවේදනය මඟින් කියා සිටී.