Poems

වඩු කුරුළු කැදැල්ල

1.red-full-moon-wallpaper-dark-night-photo-hd

මගේ කවුළුව කුඩා

ඔබේ ලෝකෙට වඩා

එන්න එළියට කඩා

ඉන්න එමි වෙර වඩා

–

වඩු කුරුළු කැදැල්ලකි

කිනිත්තක එල්ලෙන

කණමැදිරි පහනකි

කුඩා එළියක් ගෙනෙන

–

හඳක් පායන රැයක

ලොවෙහි හැඩ අනන්තෙට

දකින්නට ඉගිල ඈතට

මනින්නට මට කියා දී නැත

–

සුළං පහරට බියව

තෙමෙන මුර කුටියකි

තටු බැන්ද කූඩුවකි

කතන්දර කියා දී

–

නැඟෙන හඬ වරෙක අවටින්

බිඳෙන රළ සැක අරන් ඇවිදින්

කුදු ගැසී හැකිලෙමින් සිටිමින්

මගේ ලෝකය ඔබේ ලෝකෙන්

–

දෑස පිස දා බලා

දිවා රෑ ඉඟි කළා

නැණස අවදිව ගියා

ඉගිල්ලෙන්නට කියා

–

නිදහසක් මට අවැසිය

මගේ කවුළුව බිඳ හැර

ඉගිල යන්නට

ගිහින් එන්නට

ඉසව් මංපෙත් සොයාගන්නට

udayaඋදය ආර්. තෙන්නකෝන්| Udaya R. Thennakoon