සිංහල, Colombo, Democracy

ඡන්දයේ හිලව්වට පිං දෙන දේශපාලක හාමුදුරුවරු

ජාතියේ විජයග්‍රහනය උදෙසා ඡන්දය දුන් සැමට පිං – ජාතික හෙළ උරුමය
ජාතික හෙළ උරුමය විසින් කොළඹ නගරයේ තැන තැන එල්ලා තිබූ බැනර් වල සඳහන් ඉහත වැකිය දැකීමෙන් බෞද්ධයෙක් ලෙස මට දැනුන ලැජ්ජාව කියන්නට බැරිතරම්ය. බෞද්ධයෙක් ලෙස මා අසා තිබුනේ පිං ලැබෙන්නේ දානමාන දීමෙන් බවය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක් තුළ පුරවැසියෙකුට හිමිවන පරම අයිතියට පිංහිලව් වන බව දැනගත්තේ මෙම බැනරය තුළිනි.
සිහල උරුමය හරහා කරලියට ආ චිවරධාරීන් මෙරට දේශපාලනය තුළ පසුගිය වසර 5 ක පමණ සිට කළ කී දෑ මෙරට පුරවැසියන් සියලු දෙනාම හොදින් දනිති. පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ලැබුන බෙන්ස් රථයත් විකුණූ උන්වහන්සේලා යුද්ධයෙන් මිනිසුන් මියයනවිට එයට සාදුකාර දුන්නේ එයට සම්බන්ධවුන්ට බුදුබව පතමිනි. එහි නායක හිමියන් වත්මන් ජනාධිපතිවරයාව තමන් දැන සිටි බවකීමට ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකදී අමූලික බොරු දෙසාබෑවේය.
දේශපාලනයට බට උන්වහන්සේලාට බුදු දහම අමතක වුනේය. එය දේශපාලනයට අවශ්‍යය. එහෙත් දේශපාලනයට පැමිණීමටත් එය පවත්වාගෙන යාමටත් උන්වහන්සේලා ගොනාට අන්දවන්නේ මෙරට බෞද්ධයන්වය. එහි ප්‍රථිපලය ලෙස පන්සලේ බුදුගෙයතුළ සාමකාමීව වැඩහුන් බුදුන්වහන්සේව පාරවල් වලට ඇද දැමුනි. අවසන සෑම ත්‍රීවිල් නැවතුමක මෙන්ම හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිමතැන්පත් කලේ බෞද්ධත්වය විදහා පානු වස්ය. එයට සාදුකාර දෙමින් අන්‍ය ආගමික ස්ථාන විනාශ කිරීම සඳහා තමන් විසින් ගොනාට ඇන්දවු ජනයාව මෙහෙයවුවෙත් උන්වහන්සේලාමය. සොල්දාදුවන්ට පිරිත්නූල් බැඳීමට යුධපිටියට ගිය මෙම බෞද්ධ චීවරධාරීන් යුද්ධය නැවැත්වීමට හෝ මියයන අහිංසක දෙමළ වැසියන් වෙනුවෙන් පිරිත්නූල් බැඳීමට ඉදිරිපත් නූනි.
අද එදා තමන් විසින්ම වීරයෙකු බවට පත්කළ හමුදා ජෙනරාල්වරයාව දුෂ්ඨයෙකු කර ඔහුට බොරු චෝදනා එල්ල කරන විට මුන් වහන්සේලා නිහඬය. ඒ තමන්ට වරදාන දෙන ආණ්ඩුව ආරක්ෂා කිරීමටය. බෞද්ධ දර්ශනයේ එන සත්‍ය වෙනුවට ජාතිය ආදේශ කර ඇති උන්වහන්සේලා තමන්ගේ සියලු පව් එයට අදේශකර ශූන්‍ය කරගෙන ඇත. ඒහෛත් බෞද්ධයන් ගොනාට අන්දවමින් ඡන්දයට පිං හිලව් කර ඇත. අහෝ අපේ රට….
රම්පෙ