යුද්ධය නිමවී අවුරුදු 20ක් ගත වී ඇත. නමුත් තවමත් යුද්ධය පවතීයයි යන ප‍්‍රබන්ධයට රැවටී එය විශ්වාස කරමින්, ලොවෙන් සැඟවී යටි බිම් ගත අඳුරු ගුහාවක හිඳගෙන යුද්ධයට අවශ්‍ය ආයුධ සපයන ඊනියා දේශපේ‍්‍රමී ජනතාවකි. එකී දේශපේ‍්‍රමීන් විසින් රට වෙනුවෙන් සපයන ආයුධ වෙළෙඳාම් කරගත් කපටියෙක් රටේ ජනප‍්‍රිය දේශපාලන නායකයෙකු බවට පත්වේ. මේ කතාව කියවන ඔබ කලබලයට පත්වනු ඇත. මේ තව අවුරුදු කිහිපයකින් ලංකාවේ තත්වය නොව නොව චිත‍්‍රපට කථාවකි. එය වැඩිදුර බැලීමට අවශ්‍ය නම් එමිර් කුස්තුරිකාගේ ‘අන්ඩර්ග‍්‍රවුන්ඞ්’ චිත‍්‍රපටය නරඹන්න.

ජන සමාජයක් බාහිර හෝ අභ්‍යන්තර සතුරෙකු හේතුවෙන් තම පැවැත්ම තර්ජනයට ලක්ව ඇතැයි සාමූහිකව විශ්වාස කරන විට එම සමාජය තුළින් ස්වාධිපත්‍යයිකයෙකු පැන නගියි. ජර්මානු නීතිවේදී කාර්ල් ෂ්මිට් විසින් අර්ථ දක්වා ඇති ආකාරයට ස්වාධිපත්‍යයිකයා යනු නීතිය සම්පූර්ණයෙන්ම හෝ නීතියේ යම් කොටසක් අත් හිටුවීමට බලය ඇති තැනැත්තාය. ලංකාවේ වාර්ගික යුද්ධයේ අවසන් භාගයේදී වන්නි කේන්ද්‍රීය දෙමළ ජාතික විමුක්ති ව්‍යාපාරය හෙවත් එල් ටී ටී ඊ සංවිධානය විසින් ඉදිරිපත් කළ අභියෝගයට මුහුණ දීමට කොළඹ කේන්ද්‍රීය සිංහල ආධිපත්‍යය සහිත ජන සමාජයට ස්වාධිපත්‍යයිකයෙකු අවශ්‍ය විය. එකී ස්වාධිපත්‍යයිකයා විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය මෙන්ම මූලික අයිතිවාසිකම්ද අත් හිටුවා යුද්ධය ඉදිරියට ගෙනගිය අතර සමාජයේ බුද්ධිමතුන් ඇතුළු ජනමත සම්පාදකයන්ද, පීඩිත පන්තිය නියෝජනය කරනවා යැයි ප‍්‍රකාශ කළ ඊනියා නව සහ පැරැුණි වමේ බලවේගද ස්වාධිපත්‍යයිකයා විසින් එසේ නීතිය අත් හිටුවා අතිකරණ බලයක් භාවිතා කිරීම ඉවසා වදාළා පමණක් නොව එයට ආශීර්වාද කිරීමද කළහ. යුද්ධය නිමා කිරීම සඳහා තමා වෙත පුද කරනු ලැබූ මේ අතිකරණ බලය යොදාගෙන යුද්ධය අවසන් කළ පාලකයා ඉන්පසු සිරිසඟබෝ රජතුමා මෙන් හිස දන්දෙනු ඇතැයි එසේ සහය දුන් අය බලාපොරොත්තු වූවා විය හැකි නමුදු, යුද්ධ ජයග‍්‍රහණයේ ගෞරවය තම ගිණුමට බැරකරගත් පාලකයා කළේ, ලොවට පිටුපා පොළොව යට අඳුරේ සිටින ජනතාවට තවමත් යුද්ධය පවතින බව හෙවත් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් ඇති බව පවසමින් දිගටම බලය පවත්වා ගෙන යාමය. යුද්ධය අවසන්ව වසර පහක් ගත වන මේ මොහොතේ අප දකින්නේ එම යථාර්ථය සහ එයින් ඇස් ගිණි කණ වැටී අන්ද මන්ද වී සිටින සිවිල් සමාජයකි.

ස්වාධිපත්‍යයිකයෙකු බවට පත්වූ හෙවත් තමා කෙරෙහි පැණවුණු සියළු සීමා, සංවරණ සහ තුලනයන් සමාජය විසින්ම ඉවත්කොට දෙන ලද පාලකයා සියළු දේ තමා කැමැති අකාරයට සිදු කිරීමේ බාධාවක් නැති බව අත්දැකීමෙන් දනී. මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ආධිපත්‍යය ආදී සංකල්ප මෙන්ම පාර්ලිමේන්තුව, අධිකරණය, මානව හිමිකම් කොමිසම, ජනමාධ්‍ය, බුද්ධාගම, කතෝලික සභාව, නීතිඥ සංගමය පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතනද හුදු ප‍්‍රබන්ධ බවත් ඔහු දනී. හෙතෙම සිතන්නේ තමා නීතිය අත් හිටුවා යුද්ධය කරන මොහොතේ එම ආයතන නිහඬ වූවානම්, යුද්ධයේ ප‍්‍රතිඵලයක් ලෙස උදාවී ඇති වර්තමාන යුගයේදීද තමාට අවශ්‍ය පරිදි සියල්ල සිදුකළ හැකි බවයි. පැය ගණනක් ඇතුළත ඒකා-අධිපති දහ අට වන සංශෝධය සම්මත කරගැනීම සහ දෝෂාභියෝගයක් ඔස්සේ තම අගවිනිසුරුවරිය ඉවත් කිරීම ආදිය ඒ සඳහා නිදසුන් වේ.

ඒ නිසා සාමන්‍ය ලෝකය පිළිගන්නා මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ආධිපත්‍ය වැනි සංකල්ප ඔහුට වලංගු නොවනවා පමණක් නොව ජාතිවාදයට සහ ආගම්වාදයට පවා ඔහු බය නොවේ. හෙළ උරුමයේ, ජාතික නිදහස් පෙරමුණේ පමණක් නොව ආරක්ෂක අමාත්‍යංශයේම අනුග‍්‍රහය ලැබූ ඊනියා බොදු බල සේනාවේ තර්ජනයටත් බිය නොවී සංශෝධන රහිතව උතුරු පළාත් සභා ඡන්දය පැවත්වීමත්, විමල්ට සහ චම්පිකට බම්බු ගසා ගන්නා ලෙස කියා කැසිනෝ වලට අදාල ගැසට් රෙගුලාසි පාර්ලිමේන්තුව මගින් සම්මත කරගැනීමත් එයට උදාහරණ වේ.

පරිකල්පිත තුන්වන ලෝක යුද්දයක් අවසානයේ බිහිවන පාලන ක‍්‍රමයක් ගැන චිත‍්‍රපටයක් වන ඉක්වාලිබ්රයම්(Equilibrium) හි ‘ජාතියේ පියා’ විසින් පනවා ඇති නීති රීති අනුව සියළු හැගීම් දැනීම් නීති විරොධී වන අතර කලාව, සාහිත්‍ය, වර්ණ, පොත්පත්, සුරතල් සතුන් ආදිය තහනම් ද්‍රවය වේ. හැගීම් නැති කිරීමට දිනපතා උදේට බෙහෙත් වර්ගයක් ලබාදේ, සෑම පුරවැසියෙක්ම එම බෙහෙත එන්නත් කර ගැනීම අනිවාර්යවේ. දරුවන්ට කුඩා කාලයේ සිටම සටන් කලාව උගන්වයි. රූපවාහිනීයේ පෙන්වන්නේ එක්කෝ ජාතියේ පියාගේ කතා නැත්නම් ඔහු ගැන ප‍්‍රවෘත්ති පමණි. චිත‍්‍රපටය අවසාන භාගයේදී හෙළි වන්නේ ඇත්තටම කාලයකට පෙර ජාතියේ පියා මිය ගොස් ඇති බවත් ඔහු සිටින බව තාක්ෂණය අධාරයෙන් පෙන්වමින් ජාතියේ පියාගේ නාමයෙන් පාලනය ගෙන ගොස් ඇති බවකි.

නලින්ද සිල්වා, ගුණදාස අමරසේකර පමණක් නොව දයාන් ජයතිලක, විකටර් අයිවන් සිට කුමාර් රූපසිංහ දක්වා බොහෝ සිවිල් චින්තකයින් කල්පනා කලේ එල්ටීටීඊ සංවිධානය යුධමය වශයෙන් පරාජය කළ පසු ලංකාවේ බොහෝ ගැටළු නිම වන බවයි. එහෙත් අද ඔවුන්ගේම ලිපි වලින් වැටහෙන්නේ තත්වය තිබුනාටත් වඩා නරක බවයි. යුද්ධයේ නාමයෙන් උසාවිය, පොලිසීය, ජනමාධ්‍ය පමණක් නොව මානව හිමිකම් කොමිෂම පවා දුර්වල කලවිට එසෙත් නැති නම් රාජ්‍ය යාන්ත‍්‍රණයම ජාතිවාදී සහ හමුදාකරණය කළ පසු නැවත් ලේසියෙන් හොද තත්වයක් රටේ ඇති නොවන බව තේරුම් ගැනීමට ඥාන ශක්තියක් මේ අයට නොතිබුණා යැයි සිතිය නොහැක. එසේ නම් මොවුන්ට මෙහෙය වුණේ සෑම් කන්දප්පාට අනුව සොනියා ගාන්ධිට එල්ටීටීඊය අවසන් කිරීමේ පෞද්ගලික උවමනාවක් තිබුනා මෙන් එල්ටීටීඊය ඉවත් කිරීමේ හුදු ජාතිවාදී උවමණාවකින්ය. යුද්ධය අවසන් වුනේ එල්ටිටීය පමණක් නොව මේ අයගේ වලංගුභාවයද අවසන් කරගෙන බව මොවුන් තවමත් නොදනියි. ඒ නිසා පත්තර පිටු පිරෙන්නට ආණ්ඩුවට මේ අය දෙන උපදෙස් පාලකයා විසින් තඹ සතේකට මායිම් නොකරයි. ඒ නිසා වෙනදා පත්තර පිටුවක් පිරෙන්නට ලියූ සමහරුන්ට දැන් පත්තර පිටු දෙකක්ම පුරා එකම දේ ලියන්නට සිදුවී ඇත. එම නිසා යුද්ධයට පෙර යුද්දය වෙනුවෙන් ආණ්ඩුවට බලපෑම් කළ හැකි ආකාරයේ ශක්තිමත් මතවාදයක් මේ අය විසින් බිහිකළ අයුරින් යුද්ධයෙන් පසු අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ හො ප‍්‍රතිසන්ධානය වෙනුවෙන් ආණ්ඩුවට බලපෑම් කළ හැකි ශක්තිමත් මතවාදයක් බිහිකිරීමට මොවුන්ට නොහැකි විය.

යුද්ධයෙන් වසර පහක් ගිය පසුවත් ජාතිවාදයට යටත් නොවන සිවිල් සහ දේශපාන බලවේගයක් දකුණේ බිහි කර ගැනීම අවධාරණය කරනු පිනිස මේ සටහන තබත්දී ඉහත පූර්විකාව අත්‍යවශ්‍ය වන්නේ තවමත් බොහෝ දෙනෙකු සිදුව ඇති දේ සම්බන්ධයෙන් වගකීම මහින්ද රාජපක්ෂට හෝ ඔහුගේ පවුලට හෙවත් රාජපක්ෂ සමාගමට ඌණනය කර, රාජපක්ෂ පවුලට මේ බලය ලබා දුන්නේ හමුදාවෙන් නොව ජනතා විමුක්ති පෙරමුණ, ඊනියා සිවිල් බුද්ධිමතුන් ඇතුළු සිවිල් මතවාදයකින් බව අමතකර කර දමන බැවිණි.

උතුරේ දී අතුරුදහන් වූ හෝ මිය ගිය තම ඥාතීන් සිහිිකිරීමට ඉඩ නොදීමේ සිට, තවමත් සිදුවන අතුරුදහන් වීම්, හමුදාකරණය, දේපල පැහැර ගැනීම්, ශිෂ්‍ය මර්ධනය ආදිය දකුණේ සමාජයේ කිසිදු හිරිකිතයකින් තොරව සාධාරණීකරනය කළ හැකිව තිබෙන්නේ පාලකයා විසින් දකුණේ කි‍්‍රයාත්මක කරන ඊනියා-මර්දනයක අනුහසින් නොව ජාතිවාදය ඔස්සේ පාලකයා පවත්වාගෙන යන් මතවාදී ආධිපත්‍යය නිසාය. වෙනත් වචනයකින් කිව්වොත් පාලකයා විසින් දකුණ පාලනය කරන්නේ බලහත්කාරය යොදාගෙන නොව ආධිපත්‍යය යොදා ගනිමිනි.

දකුණේ සමාජය තුළ පතුරුවා ඇති ජාතිවාදය නිසා ආණ්ඩුවට පමණක් නොව දකුණේ සිවිල් සමාජයට පවා විවෘත මනසකින් උතුරේ දෙමළ ජනතාව දෙස බලා ඔවුනගේ අවශ්‍යතාවය හදුනාගැනීමට නොහැකි වී තිබේ. 2005 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ දිනවීමට උතුරෙන් දායකත්වය ලැබුණේ මන්ද යන්න තවමත් දකුණේ සිටින මහින්ද රාජපක්ෂ විරෝධීන්ට තේරුම් ගත නොහැක්කේ යම් සේද එලෙසම උතුරේ දේශපාලන හැසිරීම තවමත් දකුණේ ආණ්ඩු විරෝධීන්ට නොතේරේ.

මේය තවදුරටත් තේරුම් ගැනීම සදහා පසුගිය දා උතුරු ප‍්‍රදේශයේ සිවිල් සමාජ සාමාජිකයන් පිරිසක් සහ උතුරේ සංචාරයක යෙදුණු දකුණේ සිවිල් සමාජ ක‍්‍රියාධරයන් පිරිසක් අතර ඇතිවූ සාකච්ඡුාවක දී දකුණේ සිවිල් ක‍්‍රියාධරයන් ඇසූ ප‍්‍රශ්නවලට ලැබුණු පිළිතුරු කිහිපයක් මෙසේ සදහන් කළ හැක.

ඉන්දියානු දේශපාලයේ වෙනස් වීම් උතුරට බලපාන්නේ කෙසේද?

සමාන්‍ය මිනිස්සු විදිහට අපි හොදටම දන්නවා ඉන්දියාව අපට කිසිම දෙයක් ලබා දෙන්නේ නැහැ කියලා ඒත් දෙමළ දේශපාලඥයෝ තාමත් ඉන්දියාව විශ්වාස කරනවා. දේශපාලන විසදුමක් වෙනුවෙන් අපි ඉන්දියාව පාවිච්චි කරන්න ඕන නමුත් සිද්ද වෙන්නේ අපේ දේශපාලඥයන්ව ඉන්දියාව විසින් තමන්ගේ දේශපාලනය වෙනුවෙන් පාවිච්චි කරගන්න එක විතරයි.
පහුගිය කාලයේ විදේශගත දෙමළ සංවිධාන කිහිපයක් ආණ්ඩුව විසින් තහනම් කිරීම උතුරට බලපාන්නේ කෙසේද ?
අපි දන්න සමහර දෙමළ දේශපාලන බලවේග තමන්ගේ තීන්දු තීරණ ගත්තේ මේ විදේශගත සංවිධාන දෙස බලාගෙන. ඔවුන්ව පාලනය වුනේ මේ සමහර සංවිධානවල මුදල් වලින්. ඒ නිසා සාමන්‍ය දෙමළ සමාජයේ ඉන්න අපිව ඔවුන්ට අදාල වුණේ නැහැ. හැබැයි මේ තහනම නිසා ඔවුන්ට දැන් සිද්ධ වෙලා තියෙනව දෙමළ සමාජට දෙසට හැරෙන්න සහ අපිත් එක්ක වැඩකරන්න. ඒ නිසා ආණ්ඩුව මොන අරමුණින් කළත් මේ නිසා ඇතිවන ප‍්‍රතිපලයට අපි කැමැතියි.

දකුනේ සමාජයේ මතයක් තියෙනවා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනි කියලා ?

අපි දකින්නේ උතුරේ ඉන්න ආණ්ඩුකාරවරයා විධායක ජනාධිපතිටත් වඩා බලවත් කෙනෙක් ලෙසයි. අඩුම තරමේ විධායක ජනාධිපතිගේ සීමාව ආණ්ඩු ක‍්‍රමව්‍යවස්තාවේ හරි තියෙනවා නමුත් මේ ආණ්ඩුකාරවරයන් විසින් උතුරෙදි ක‍්‍රිාත්මක කරන අසීමත බලයේ සීමාව කොහේවත් ලියලා නැහැ. ඔවුන් හිතුන හිතුන දේ කරනවා. අපිට වැඩි හානියක් සිද්ධවෙන්නේ මේ ආණ්ඩුකාරවරයාගේ අසීමිත බලයෙන්. මේ වෙලාවේ අපේ ප‍්‍රධාන ඉල්ලීම මේ හමදා ආණ්ඩුකාරවරු අයින් කරලා සිවිල් ආණ්ඩුකාරවරු පත්කරන ලෙසයි.

මේ පිළිතුරු සාමාන්‍යයෙන් දකුණේ සිවිල් සමාජ ක‍්‍රියාධරයෙක් හෝ ආණ්ඩු විරෝධියෙක් එකවර අපෙක්ෂා කරන පිළිතුරු නොවේ. දකුණේ ආණ්ඩු විරෝධියෙක් උතුරේ ආණ්ඩුවිරෝධියෙක් ගැන සිතන්නේ දෙදෙනාම ඉන්නනේ එකම ආණ්ඩු එළවීමේ දේශපාලන ව්‍යාපෘතියක කියලයි. එහෙත් උතුරේ දේශපාලය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වෙනස් කිරීම වැනි සරළ ක‍්‍රියාවලියකට ඌණනය කළ නොහැක. දකුණේ අය තවමත් ඉගෙන ගෙන නැති දේශපාලන පාඩම් බොහෝමයක් පසුගිය වසර තිහ හතලිය තුළ උතුර ඉගෙනගෙන තිබේ. ඒ නිසාම උතුරේ සිටින සිවිල් වැසියෙකුට දකුණේ ආණ්ඩුව ගැන වගේම ආණ්ඩු විරෝධීන් ගැනද තමන්ගේම වූ විග‍්‍රහයක් තිබේ. මේ නිසා උතුරේ දේශපාලය ගැන ඔළුවෙන් හදාගත්ත චිත‍්‍රයක් මත සැලසුම් කෙරුණ දකුණේ දේශපාලන ව්‍යාපෘති බොහෝ ගනනක් ඉදිරියේදී අසාර්ථක වීමට නියමිතය.

උතුරේ වැසියන් ආන්ඩුවේ මානුෂික මෙහෙයුම විශ්වාස කරන්නේ නැති ආකාරයටම දකුණේ සිටින ප‍්‍රගතිශීලීන් පැමිණ ඔවුන්ට නිදහස උදාකර දේවි යැයිද විස්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඔවුන් කියාසිටින්නේ අපේ දේශපාලන සටන අපි කරගන්නම් ඒකට අපට ඉඩ දෙන්න කියාය. ඒ නිසා ඔවුන් අපෙන් ඉල්ලා සිටින්නේ අපේ අන්ත-ජාතීවාදීන්ව අපි පාලනය කරගන්නම් හැබැයි ඔබට පුළුවන්ද දකුණේ ඔබලාගේ අන්තවාදීන් පාලය කරගන්න, අපි අපේ අයිතිවාසිකම් සටන අරන් යන්නම්, දකුණේ ඔය ගොල්ලට පුළුවන්ද ඔයගොල්ලගේ අයිතිවාසිකම් සටන ජයග‍්‍රහණය කරල පෙන්වන්න. අපිට මේ ගමන යන්න වෙන්නේ සිංහල සමාජයත් එක්ක කියන එක අපි දෙමළ සමාජයේ තහවුරු කරන්නම් ඒත් ඔයගොල්ලන්ට පුළුවන්ද දකුණේ සමාජයට නිදහස ලැබෙන්නනේ උතුරට නිදහස ලැබුනොත් විතරයි කියලා දකුණේ තහවුරු කරන්න, කියාය.

මේ ආකාරයට උතුරේ දෙමළ සමාජය යම් මධ්‍ය ලක්ෂයක් කරා එමින් පවතින බව කතාවෙන් පමණක් නො ක‍්‍රියාවෙන්ද තහවුරු කර ඇති බව උතුරේ මහ අමැතිවරයා ලෙස විග්නේෂ්වරන් පත්කරගැනීමෙන් පෙනි යයි. එහෙත් දකුණේ සමාජය මධ්‍ය ලක්ෂයක් කරා එන බව පෙන්වා දීමට අපට ඇති උදාහරණ මොනවාද ? ආණ්ඩුව ඒ සදහා උදාහරණ ලබා දෙන්නේ නැති බව පැහැදිලිය. එහෙත් සිවිල් සමාජය ලෙස අපට එය සහතික කළ හැකිද? ඔවුන් විග්නේෂ්වරන් කෙනෙක් නිර්මාණය කර ගනිත්දී අප නිර්මාණය කර ඇත්තේ ඥානසාර කෙනෙකි.

…පසුගියදා දකුණෙන් ආපු ජනාධිපති නීතිඥයෙක් ඒ වගේම අපි හොදින් දන්න හදුනන ප‍්‍රබල සිවිල් සමාජ ක‍්‍රියාධරයෙක් තමන්ගේ කතාවෙදි කිව්වේ ජනාධිපතිවරණයකට එයාල ඉදිරිපත් කරන පොදු අපෙක්ෂකයාට ජනාධිපතිවරණයට කලින් ජාතික ප‍්‍රශ්නය ගැන සිය ස්ථාවරය ප‍්‍රසිද්ධියේ කියන්න බැහැ මොකද එහෙම කිව්වොත් දකුණේ දෙශපාලන බලවේග වල සහය ලබා ගන්න බැරි වෙනවා කියලා. ඒක අහලා අපි ෂොක් වුණා… මේ එම සාකච්චාවේදීම තවත් දෙමළ අයෙකු දැක්වූ අදහසකි.

දකුණේ සිවිල් බුද්ධිමතුන් තවමත් කල්පනා කරන්නේ සිංහල ජාතිවාදය යථාර්ථයක් ලෙස මිස වෙනස් කළ හැකි දෙයක් ලෙස නොවේ. ඒ නිසා ඉතිහාසයේ සැමදා සිදුවුණා මෙන් සිංහල ජාතිවාදී සහය ලබාගෙන පොදු අපෙක්ෂකයෙක් දමා ආණ්ඩු පෙරළන්ට සිතයි. නමුත් එය උතුරේ දෙමළ වැසියෙකු කම්පනයට පත්කරන අදහසකි. ඒ නිසා උතුරෙන් දකුණේ සිවිල් සමාජය දෙන අභියෝගය විශාලය. ඔවුන් කියා සිටින්නේ ආණ්ඩුව පෙරලීමට කියා උතුරේ අයිතිවාසිකම් වලට බිය, ජාතිවාදීන්ගේ පාලනයට යටත් ආණ්ඩුවක් දකුණේ බිහි කිරීම වෙනුවට ජාතිවාදයට යට නොවන දේශපාලන ව්‍යාපාරයක් දකුණේ තහවුරු කරගන්නා ලෙසය.

එහෙත් සිවිල් සමාජය මේ පිලිබදව කොතෙක් සවිඥානිකද? සිවිල් සමාජයේ එක් පිරිසක් වැඩ කරන්නේ ආණ්ඩුවත් සමග තමන්ගේ සම්බන්ධතා ඇති බැවින් තම වැඩ වලට ආණ්ඩුව බාධා කරන්නේ නැති බව ඔප්පු කිරීමට ආණඩුවටත් වඩා ආණ්ඩුවාදී වීමෙන්ය. අනෙක් පිරිස මේ ආණ්ඩුව සමග වැඩ කිරීමට ඇති අකමැත්ත නිසා මේ ආණ්ඩුව නොවන වෙන ඕනෑම ආණ්ඩුවක් හදා ගැනීම වෙනුවෙන් වැඩ කරයි. නමුත් මේ දෙපාර්ශවය නිසාම අනෙකාගේ අයිතිවාසිකම් පිළිගැනීම සම්බන්ධයෙන් අංශක 360 අනිත් පැත්ත ගසා සිටින සිංහල-බෞද්ධ බහුතරය දශමයකින් වත් වෙනස් නොවේ. ඒ වෙනුවට අද දකුණේ සිංහල සමාජය දෙමළ පමණක් නොව මුස්ලිම්ද ඉවසිය නොහැකි තත්වයට ගමන්කර තිබේ. එපමණක් නොව විකල්ප දේ්ශපාලනමත දරන්නන්, සමලිංගිකයන්, ස්ත‍්‍රීන්, ආදී ඕනෑම කෙනෙකු වෙත මේ නොඉවසීම දිගු විය හැක. ඡන්දය අපෙක්ෂාවෙන් වැඩ කරන දේශපලන පක්ෂ එක්තරා දුරක් යනතෙක් ජනතාව වෙනස් කිරීමට උත්සාහ දරා ජනතාව වෙනස් වෙන්නේ නැතිනම් ජනතාවට අනුව පක්ෂය වෙනස් කරගැනිම අපට තෙරුම් ගත හැක. නමුත් සිවිල් සමාජ සංවිධානද ජනතාව වෙනස් කිරීම වෙනුවට ජනතාවට අනුව තමන් වෙනස් වීමේ ක‍්‍රමයකට මාරුවිය යුතුද ? සිවිල් සමාජයේ ෙඓතිහාසික කාර්්‍යභාරය වන්නේම රාජ්‍යයේ මතවාදයන් විසින් හසුරවන ජනතාවට විකල්ප මතවාදයන් සැපයීමයි. මානව හිමිකම් වලින් ලෝකයේ රාජ්‍යයන්ට මෙතෙක් ගැලවීමට නොහැකි වී ඇත්තේ සිවිල් සමාජය මේ සටන අත්නොහැර සිටින නිසාය. නමුත් යුද්ධයේ තීරණාත්මක අවධියේ ලංකාවේ සිවිල් සමාජය මේ කාර්්‍යභාරය අතහැර දැමූ අතර එමගින් සිවිල් සමාජයේ විශ්වාසනීය භාවයට බලවත් හානියක් විය එසේ අහිමිවූ විශ්වාසනීය භාවය නැවත අත් පත් කරගැනීමට නම් සිවිල් සමාජය දැරිය යුතු බලවත් පරිශ‍්‍රමය තවම දක්වන්නේ නැත. ඒ නිසා උතුරෙන් අපට ඇසෙන්නේ ශ්‍රෙක් චිත‍්‍රපට මාලාවේ අවසන් චිත‍්‍රපටයේදී තම ආදරය ඉල්ලා එන ශ්‍රෙක් අමතා ෆියෝනා කුමරිය කියූ කථාවයි. ‘මට ඔබ අවශ්‍යම වූ මොහොතේ ඔබ සිටියේ කොහේද?’ ඉන්පසු ඔවුන් එයට මෙසේද එකතු කරනු ඇත. ඔබලා යළිත් කරමින් ඉන්නේ එයම නොවේද?

ලිපියේ ආරම්භයේ සදහන් කළ ඹබාැරටරදමබා චිත‍්‍රපටයේ සිදුවන්නේ යුද්ධයෙන් පසුව පාලකයන් විසින් පිරිසක් වංචාවෙන් අන්ඩර්ග‍්‍රවුන්ඞ් කර ඔවුන්ගෙන් වැඩ ගැනීමයි. එහෙත් අපේ සිවිල් සමාජය යුද්ධයෙන් පසුවත් සවකැමැත්තෙන්ම අන්ඩර්ග‍්‍රවුන්ඞ් වී පාලකයන්ට අවශ්‍ය දේවල් කරමින් සිටියි. සිංහල ජාතිවාදය පරාජය කරන පොදු අපෙක්ෂකයෙකු වෙනුවට ජාතිවාදීන් සමග ඞීල් දමාගන්නා පොදු අපෙක්ෂකයෙකුට කැමති වෙන ලෙස ලැජ්ජා නැති ඉල්ලීමක් උතුරේ දෙමළ වැසියන්ගෙන් ඉල්ලන්නේ ඒ නිසාය.

ආණ්ඩුව විසින් පත්කළ උගත් පාඩම් සහ ප‍්‍රතිසංධාන කොමිෂමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙස, ජීනිවා යෝජනාවලට ගරු කරන ලෙස, දහ තුන් වන සංශෝධනය නිවරදිව ක‍්‍රියාත්මක කරන ලෙස සිවිල් සමාජය විසින් ආණ්ඩුවට බල පෑම් කිරිමට කලින් තමන් විසින්ම ජාතිවාදය පොෂණය කිරීම නැවැත්විය යුතුය.

ප‍්‍රබෝධ චින්තක රත්නායක | prabodha chinthaka Rathnayake

##

Cover Image 800

යුද්ධයෙන් වසර 5කට පසු, විකල්ප වෙබ් අඩවියේ විශේෂ සංස්කරණය තුළ පළවන, ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ ලංකාවේ දේශපාලන සහ සමාජ පරිසරය පිළිබදව ආදාල ලේඛක, ලේඛිකාවන්ගේ විග්‍රහයන් ද ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ විශේෂ සංස්කරණය පිළිබදව විකල්ප වෙබ් අඩවියේ සංස්කාරකවරයාගේ සටහනට ද පිවිසෙන්න.