සිංහල, Colombo, Democracy, Life quips, Peace and reconciliation, Poems

වෙල්ලෛ රෝජා පූ හෙවත් මගේ සිංහල පෙම්වතිය

සුදු රෝස මල ඔබද
ගෙන්දගම් පොලවක
මල් පෝච්චියක කුස ජනිත වුණ

සිංහල මලක අසිරිය
දැනේ මට පෙත්තෙන් පෙත්ත
පිනි විසුළ

ළමා සාරියකි ඔබ
රැලි නැගුණ

මකරන්ද නඟනතර
නටුව මත කටු මවමි

කටු නැතුව
මේ කටුක ලොව
කොහොම දිනන්නද

රෝස මල
මම ඔබට සොෆී යැයි අමතමි

හිසෙහි වන නට්සිවාදී වැස්ම ගලවමි
ජර්මානු සුවඳකින් සරසමි
සුදු රෝස පත්‍රිකාවක
ජීවිතය තවරමි

ගිලටීනයට හැකිය
සිඳලන්න
මල
නටුවෙන්

ආත්මය ?

මියුනික් සරසවිය
අවසන් නොවූ කවිය
ලියන්නට ඔව් ඔබට පිළිවන්ද
අවකාශයේ සැරිසරන

සුදු රෝස ආත්මය

සිප වැළඳ
එසේ නම්
භෞතිකවාදයේ හැව අතැර
සබත ගැන සපථ කර
මට හැකිය ඔබ සමඟ
මඩු පල්ලි යන්නට

ඉදින් සුදු රෝස මල මම ඔබට
සොෆී යැයි අමතමි

දෙමළ කඳුළක තෙත
දැනෙනවානම් නෙතඟට
දෙමළ අකුරක හැඩය
දැනෙනවානම් ඇඟලි තුඩකට
එන්න තම්බපන්නිය මත
එ ඇඟලි තුඩගින් ලියන්නට
මියුනික්හි අවසන් නොකළ
ජීවිතයෙ නිබන්ධය

සටහන

සුදු රෝස පත්‍රිකාල වූ කලී අවිහිංසාවාදී වූත්, නාට්සි විරෝධී වූත් ව්‍යාපාරයකි. ජර්මනියේ මියුනිච් සරසවියෙහි ජර්මන් ජාතික දර්ශනය පිළිබඳ මහාචාර්යවරයකු සහ එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයත්නයක් වූ මෙම ව්‍යාපාරය නාට්සි මර්ධන යන්ත්‍රය විසින් සාහසික ලෙස සහමුලින්ම විනාශ කරන ලදී.

මියුනිච් සරසවියේ ශිෂ්‍යාවක වූ සොෆී මග්දලේනා ෂොල් එහි ප්‍රබල ක්‍රියාකාරිණියක වූ අතර 1943 පෙබරවාරි 22 දා රාජ්‍ය ද්‍රෝහී චෝදනා යටතේ ඇය ගිලටීනගත කොට ඝාතනය කරන ලදී.

මංජුල වෙඩිවර්ධන