සිංහල, Colombo, Democracy, Governance, Media

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මගින් සංවර්ධනය වූ මූලික අයිතිවාසිකම්

නීතිඥ ජගත් ලියන ආරච්චි

හදිසි නීති තත්ත්වයක් යටතේ වුවද ප්‍රකාශයට ඇති අයිතිය ආරක්‍ෂා වේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට හදිසි නීතිය පැනවීමට හා හදිසි අවස්ථා නියෝග පැනවීමේ බලය ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව හදිසි අවස්ථා නියෝග රටේ පවතින වෙනත් නීති (ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැර) අභිබවා ක්‍රියාත්මක විය හැකිය. එමෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් පරිච්ඡේදයට අනුව එහි 15 වන වගන්තියේ සීමාවන් යටතේ ‛අදහස් පල කිරිම ඇතුලු ප්‍රකාශනයේ නිදහස’ ද රටේ ආරක්‍ෂාව පිළිබඳව කලින් කලට සකස් කරනු ලබන හදිසි අවස්ථා නියෝගවලට යටත්ව භුක්ති විඳිය යුතු බව දක්වා ඇත.
නමුත් හදිසි අවස්ථා යටතේ අදහස් පළ කිරිමට ඇති මෙම සීමාවන්ද රජයට ඇති අයිතිය අසීමිතව භාවිතා කළ නොහැකි බව පෙන්වා දෙන ප්‍රගතිශීලී නඩු තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අමරසිංහ මැතිතුමා විසින් වර්ෂ 2000 ජූනි 19 දින ලබා දෙන ලදි. ඒ ලීඩර් පබ්ලිකේෂන් (පුද්ගලික) සමාගම එදිරිව ආරිය රූබසිංහ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ, නිසි බලධාරී හා වෙනත් අය :ීක්‍:ත්‍ඍ*362/2000) නමැති නඩුවේ තීන්දුව ලබා දෙමිනි.
නඩුවේ පසුබිම

වර්ෂ 2000 මැයි මස 3 වන දින නිකුත් කළ අංක 1130/18 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය හරහා ජනාධිපතිතුමා විසින් 2000 අංක 1 දරණ (විවිධ විධිවිධාන හා බලතල) නියෝග පනවන ලදි. එහි 14 වන නියෝගය මගින් ‛‛ප්‍රකාශන පාලනය’’ පිළිබඳව විධිවිධාන
පනවා තිබුණි. පසුව 2000 මැයි මස 10 වන දින මෙම විධිවිධාන සංශෝධනය කරමින් ‛‛ජාතික ආරක්‍ෂාව හා මහජන සාමය ආරක්‍ෂා කරගැනීම’’ ආදිය සඳහා වන කරුණු ප්‍රකාශයට පත් කිරීමට පෙර නිසි බලධාරියෙක් වෙත ඉදිරිපත් කළ යුතු බවට ප්‍රතිපාදන සැලසිනි.
මේ අතරතුර වර්ෂ 2000 මැයි මස 6 වන දින අංක 1130/23 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරයා වූ ආරිය රූබසිංහ මහතාව ඉහත කී හදිසි නීති රෙගුලාසි 14(1) හි කාර්යය සඳහා (ප්‍රකාශ පාලනය) නිසි බලධාරියා ලෙස පත් කෙරිණි.
වර්ෂ 2000 මැයි 8 වන දින ආරිය රූබසිංහ මහතා නිසි බලධරයා ලෙස ක්‍රියාකරමින් සන්ඩේ ලීඩර් කර්තෘ වෙත ලිපියක් යවමින් හදිසි අවස්ථා රෙගුලාසි 14(1) වගන්තිය පිළිබඳව අවධාරණය කරමින් එකී පුවත්පතේ පළ කළ සමහර පුවත් පළ කිරීමට පෙර තමාගේ පූර්ව
අවසරය ලබා ගත යුතු බව දන්වා සිටින ලදි. එයට පිළිතුරු සපයමින් 2000 මැයි 7 වන දින සන්ඩේ ලීඩර් කර්තෘවරයා ආරිය රූබසිංහ
මහතා වෙත දන්වා ඇත්තේ තමන් හදිසි අවස්ථා නියෝග 14(1) හි සඳහන් කරුණුවලට අනුකූලව කටයුතු කරන බවයි. නමුත් නිසි බලධාරී ධූරය ගැසට් කළ පමණින් තමන් නිසි බලධාරයාට අවනත නොවන බවත්ය. පසුව 2000 මැයි 19 වන දින ආරිය රූබසිංහ මහතා සන්ඩේ ලීඩර් කතුවරයා වෙත තවත් අවවාද ලිපියක් යැවිනි. පසුව 2000 මැයි 21 වන දින සන්ඩේ ලීඩර් පුවත්පතේ සඳහන් වූ ලිපියක් මගින් ආරක්‍ෂක
හමුදා මෙහෙයුම් පිළිබඳ කරුණු අනාවරණය කිරීම මගින් ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ගේ චිත්ත ධෛර්යයට බලපාන කරුණු ඉදිරිපත් වී ඇති බවත්, එම ලිපිය තමාගේ පූර්ව අනුමැතියකින් තොරව පළ කිරීම මගින් හදිසි අවස්ථා රෙගුලාසි 14(1) උල්ලංඝනය වී ඇති
බැවින් මාස 6 ක කාලයක් සන්ඩේ ලිඩර් පුවත්පත මුද්‍රණය කිරීම, පළ කිරීම, බෙදා හැරීම සම්පූර්ණයෙන් තහනම් කරමින් ආරිය රූබසිංහ මහතා විසින් 2000 මැයි 22 වන දින නියෝගයක් නිකුත් කරන ලදි. මෙයට අමතරව මෙම පුවත්පත මුද්‍රණය නොවීම සහතික
කිරීම සඳහා රත්මලානේ පිහිටි එම මුද්‍රණාලය සම්පූර්ණයෙන්ම පොලිස්පතිවරයාගේ භාරයට පත් කරන ලෙසද නියෝග කර තිබේ.
පෙත්සම්කරුගේ නඩුව නිසි බලධාරියාගේ ඉහත ක්‍රියාකලාපය නිසා තමන් වෙත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) (වෙනස්කමකට භාජනය නොවීමේ අයිතිය) 14(1)(අ) (භාෂණයේ නිදහස හා ප්‍රකාශනයේ ඇතුලු අදහස් පළ කිරීමේ අයිතිය) හා 14(1)(උ) (නීත්‍යානුකූල වෘත්තියක, ව්‍යාපාරයක නියුක්ත වීමේ නිදහස) යන ව්‍යවස්ථා මගින් සලසා ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බැවින් නිසි බලධාරියාගේ නියෝගය ඉවත් කරන ලෙසත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය සඳහා වන්දි පිරිනමන ලෙස ඉල්ලමින් 2000 මැයි 31 වන දින ලීඩර්
පබ්ලිකේෂන්හි කතුවරයා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කෙරිණි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අමරසිංහ, විනිසුරු ධීරරත්න හා විනිසුරු ස්මයිල් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම විභාග වූ අතර විනිසුරු මඩුල්ල වෙනුවෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ අමරසිංහ විනිසුරුතුමන් විසිනි. අමරසිංහ විනිසුරුතුමන් මුලිකව ප්‍රකාශ කරන ලද්දේ හදිසි නීති රෙගුලාසි 14 යටතේ කටයුතු කිරීම සඳහා නිසි බලධරයෙකු පත් කිරීම මහජන ආරක්‍ෂක පනතේ 6 වන
වගන්තියට අනුකූල නොවන බවයි. එසේම එම පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද්දක් වුවත් එය ප්‍රශ්න කිරීම ආණ්ඩු
ක්‍රම ව්‍යවස්ථාවේ 35 වන ව්‍යවස්ථාවේ සඳහන් ජනාධිපති විනිර්මුක්තිය බාධාවක් නොවන බව බව සඳහන් කළ විනිසුරුවරයා එයට හේතුව මෙම නඩුවේදි තීන්දුවක් දෙනු ලබන්නේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකමක් හෝ අශක්නුක්තතාවයකට එරෙහිව නොව ආරිය රූබසිංහ මහතාගේ නියෝගයකට එරෙහිව වීම බවයි. ඒ අනුව ආරිය රූබසිංහ මහතාගේ තනතුර බලරහිත වන බැවින් ඔහුගේ නියෝගද බල රහිත වන බැව් විනිසුරු තුමන් ප්‍රකාශ කරන ලදි. එමෙන්ම 5 වන වගඋත්තරකාර පොලිස්පතිවරයාට නියෝග කරන ලද්දේ පෙත්සම්තකරුගේ
මුද්‍රණාලයේ භුක්තිය ඔහුට භාර ලදෙ ලෙසයි. එයට අමතරව රුපියල් ලක්‍ෂයක මුදලක් ගාස්තු ලෙස පෙත්සම්කරුට ගෙවන ලෙසට රජයට නියම කෙරිණි. නිසි බලධරයා පත් කිරීම බල රහිත කෙරිණි. හදිසි නීති මගින් මූලික අයිතිවාසිකම් සීමා කිරීමට ඇති ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන
භාවිතා කිරීමේදී හදිසි නීති ලේබලය යොදාගනිමින් ඕනෑම නීතියක් පැනවීමට හැකියාවක් නොමැති බවට පෙන්වාදෙන නඩු තීන්දුවක් ලෙස මෙම තීන්දුව ශ්‍රී ලාංකික නඩු තීන්දු ඉතිහාසයට එකතුවේ.