Image Credit: lankaviews

කාටදැයි කියන්නේ

යළි එපා කිය කිය

කියන්නේ කාටද

ඒක මළ ජූලිය

|

සහෝදර හිත් ඇති සිංහල

මිනිස්කම් බෙදාගත් ජාතිය

අත වනා කට පුරා

කෑ ගසා කියන්නේ කාටද

|

හිටු කියනකො හිටින

නට කියනකොට නටන

මිහිහෙකුගෙ හදවතට කොකා ගස්සන

කැති පොරෝ මන්න ගෙන

ජාතීයට පන පොවන

මිනිසතුන්ටද කියන්නේ

|

සිංහල බෞද්ධ වියගසෙහි බැඳ ඇති

ඇස් නැති

කන් නැති

හිත් නැති

ඒ අපූරු පූර්වජයාටද

ආණ්ඩුවටද රජයට ද

එහිම නිදන් වූ

මර්ධන මෙවලමටද

කියන්නේ කෑ ගසා

යළි එපා යළි එපා කිය කියමින්

|

මුනින් හැරවූ කළයකි

මර්ධනය හිංසනය

තර්ජනය ඝාතනය

නීතිගත කොළඹ ආණ්ඩුව

උන්නැහේලටදැයි කියන්නේ

ජූලියක් තව එපා

|

එහෙම නැතිනම්

බැට කෑව උන්ටමද

අපි මේ කියන්නේ

ජූලියක් යළි එපා

|

ආදරයක් ඇති හිත්

අතලොස්සක්

දුක වේදනාවේ කොටසක්

බෙදා ගන්නට

හරි හමන් බසක් නැති

අවිශ්වාසයම දළු ලන

සතර දිග ලංකා දීපයම

මේ පිටුවහල් ලෝකයම

ජූලියක් එපා යැයි

කාට කියන්න ද

|

අපි අපිට කියන්නෙමු

හදවතේ පුංචි සතුටක

කළ යුතු එකම දෙය වත්

අවසාන අරගලය නොවුවත්

කවුළුවක් ඇරගන්න

අතීතේ දොර වහගන්න

ලෝකයේ ලස්සන දකින්නට

පුංචිම පුංචි පණිවිඩයක

මිනිස්කම ලියන්නට

|

යලි එපා කියමින් අපිටම කියා ගත්තත්

අපි නොවන ඔවුන්ටයි

මේ කියන්නේ ජූලියේ මතකය

|

උදය ආර්. තෙන්නකෝන්