සිංහල, Colombo, Features

විල්පත්තුව ජතික වනෝද්‍යානය උතුරු සංවර්ධනයට බිලි දෙයි..

වර්තමානයේ සිදුවන ක්‍රියාකාරකම් දෙස විශ්ලේෂණාත්මකව බැලීමේ දී පෙනී යන්නේ රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගත් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනයේ නාමයෙන් කෙලෙසන බවකි. සංවර්ධනය යන්න හරි හැටි වටහා නොගත් රජය, වනාන්තර එළි කිරීම සංවර්ධනය සේ දකිමින් උතුරු හා නැගෙනහිර වනාන්තර සියල්ල පියවරෙන් පියවර කෙලෙසමින් සිටිති. මෙය දරුණු ඛේදවාචකයකි. ඒකාබද්ධ සැළසුමකින් තොරව එක් එක් රාජ්‍ය ආයතන තමන්ගේ හිතුමනාපයට උතුරු හා නැගෙනහිර සංවර්ධනය යැයි කියාගන්නා ඊනියා ක්‍රියාමාර්ග ගනිමින් සිටිති. මෙහි අවසාන ප්‍රතිඵලය මනුෂ්‍ය වාසයට නුසුදුසු පරිසරයක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ගොඩනැඟීමට දැයි දැනට සිදුවන ක්‍රියාකාරකම් දෙස බැලූ විට පෙනී යයි.

රුදුරු කොටි ත්‍රස්තවාදීන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පාලනය කළ සමයෙහි සිවිල් නීති රීති සහ පරිසර නීති රීති සියල්ල උල්ලංඝනය කරමින් ගෙන ගිය ඒකාධිපති වියරු පාලනය අද වන විට ද එම ප්‍රදේශවල ක්‍රියාත්මක වේ. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් එම ප්‍රදේශ මුදාගත් පසුව සිවිල් නීතිය ක්‍රියාත්මක වීමට තිබුණ ද අද සිදුවන්නේ ද පෙර පැවති තත්ත්වයම ය. රටේ පවතින නීති රීති සියල්ලම උල්ලංඝනය කරමින් එක් පක්ෂයකට රිසි සේ ඊනියා සංවර්ධනයක් ක්‍රියාත්මක කරමින් සිටිති. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සමහර අංශ ද යොමු වී සිටීම ඉතාම කණගාටුදායක ය. ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගත් දේශයේ සිවිල් පාලනය වෙනුවට තවත් මුහුණුවරක සිවිල් නීති නොතකන ත්‍රස්ත පාලනයක් ක්‍රියාත්මක කිරීම කණගාටුවට කරුණකි.

මෙම අටුවා, ටීකා සියල්ල සඳහන් කළේ පරිසර නීති සියල්ල අභිබවමින් හා තුට්ටුවකට මායිම් නොකරමින් ලංකාවේ පැරණිතම හා විශාලතම ජාතික වනෝද්‍යානය නැතහොත් වන සත්ත්ව අභයස්ථානය විල්පත්තුව ජාතික වනෝද්‍යානය කෙලෙසීම පිළිබඳ ව පූර්විකාවක් සැපයීමට ය.

පුත්තලම හා මන්නාරම අතර සම්බන්ධතාවය ඇති කිරීම සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානය හරහා පමණක් කිලෝමීටර 35 ක දිගින් යුත් දැවැන්ත මාර්ගයක් නාවික හමුදාව විසින් ඉදි කරමින් පවතී. පාළන් තුනකින් සමන්විත මෙම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයේ කලා ඔයෙන් (විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමෙන්) ආරම්භ වන අතර උප්පුආරු (මෝදරගම්ආරු), පූකුලම් ප්‍රදේශය දක්වා (විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම) විහිදේ. කලා ඔයේ සිට කරුවලකුඩා, පොම්පරිප්පු, පෙරිය ඔප්පුවිල්ලු, පෙරිය විල්ලු, සින්න ඔප්පුවිල්ලු, මොල්ලිකුලම, මයිල විල්ලු, කාලි විල්ලු හරහා පූකුලම් දක්වා ජාතික වනෝද්‍යානය තුළ මෙම මාර්ගය ඉදි වේ. මෙම මාර්ගය ඉදිකිරීම සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වනාන්තර හා විල්ලු ඉතා විශාල ප්‍රමාණයක් වැනසීම සිදු කර ඇත. වනෝද්‍යානය තුළ තැනින් තැන වනාන්තර හා විල්ලු පරිසරවල විශාල වලවල් හාරා මාර්ගය සැකසීමට පස් ලබා ගැනීම සිදු කර තිබේ. මෙම වලවල් අලි ඇතුන්ගේ මර උගුල් වීමට අනාගතයේ දී බොහෝ ඉඩ ඇත.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වනාන්තර කොල්ලය මෙතෙකින් නතර වී නොමැත. වර්තමානය වන විට විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වෙරළ තීරය දිගේ මන්නාරමේ සිට පුත්තලම දක්වා අළුතින් තවත් මාර්ගයක් ඉදි කරමින් පවතී. එය ජාතික වනෝද්‍යානය තුළ කරුවලකුඩා වෙරළ තීරයේ සිට මොල්ලිකුලම දක්වා මේ වන විට ඉදි කරමින් පවතී. එහි බොහෝ කොටසක් මේ වන විට සකසා අවසන් කර ඇත. මාර්ගය හා මුහුදු වෙරළ අතර තීරය සංචාරක පුරවරයක් බවට පරිවර්තනය කිරීමට ද සුදානමක් ඇත. ඒ සඳහා සියලු සැළසුම් සකස් කර අවසන් ව ඇත. තව නොබෝ දිනකින් ම හොර රහසේ එම ක්‍රියාමාර්ග ද ආරම්භ වනු ඇත.

වනෝද්‍යානය තුළ පූකුලම් හා මෝදරගංආරු හරහා ඉදි කරන මොල්ලිකුලම් පාලම අතර සීමාවේ කිලෝමීටරයක් පමණ දිගින් යුත් විශාල වනාන්තර ප්‍රදේශයක් කම්බි කණු යොදා වෙන් කර ඇත. ජාතික වනෝද්‍යානයක ඉඩම් මේ ආකාරයෙන් වෙන් කර ගත හැක්කේ කුමන නීතියක් යටතේ ද? මෙම වනාන්තරය රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයින්ගෙන් මුදා ගෙන සිවිල් පාලනයට නතු කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය කළ දැවැන්ත හානියට වඩා වැඩි හානියක් පරිසරයට සිදු කිරීමට දැයි අපට නොවැටහේ.

කිසිඳු සැළසුමකින් හෝ පරිසර හා වනජීවී ආරක්ෂණ උපාය මාර්ගවලින් තොරව ඉතා අවිධිමත් ලෙස මෙම මාර්ගය ඉදිකරමින් පවතී. ඒ සඳහා විල්පත්තුව පාලනය කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කිසිඳු අවසරයක් හෝ විශේෂඥ උපදෙස් හෝ ලබා ගෙන නොමැත. එපමණක් නොව වනජීවී නිලධාරීන්ගෙන් වසං කරමින් ඔවුන්ට වනෝද්‍යානය තුළට ඇතුළු වීමට ඇති අයිතිය පවා නොතකමින් මෙම සංවර්ධන ක්‍රියාකාරකම් සිදු කරමින් තිබේ. අක්‍රමවත් පස් කැපීම් හා මාර්ගයේ පස් පිරවීම් හේතුවෙන් වර්ෂා කාලයේ දී ඒ ආශ්‍රිත ව පිහිටි විල්ලුමය තෙත් බිම් සියල්ල ගොඩ වීමට ලක් විය හැකිය. මෙපමණක් නොව වනෝද්‍යානය දෙකඩ කරමින් ගමන් ගන්නා මෙම මාර්ගය හේතුවෙන් සමස්ත විල්පත්තු වනජීවී වාසස්ථානය සම්පූර්ණයෙන් ම දෙකඩ වීම සිදු වී ඇත. ඉන් සිදුවන ජෛව විවිධත්ව හානිය සුළු පටු නොවේ. 2010 ජනවාරි මස 24 වන දින මෙම මාර්ගය මහජනතාව සඳහා විවෘත වීමත් සමඟ ම මෙම මාර්ගයේ වාහන ගමනා ගමනය ඉතා අධික විය. මෙය ජනාකීර්ණ මාර්ගයක් බවට අද වන විට පත් ව ඇත. මේ හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජීවත්වන සත්ත්ව ප්‍රජාව වනෝද්‍යානයේ කොටස් දෙකකට කොටු වී ඇත. අලි ඇතුන්ගේ වාසස්ථාන ඛණ්ඩනය වී ඇත. කොටින්ගේ ගොදුරු බිම් ඛණ්ඩනය වීම හේතුවෙන් එම සතුන්ගේ ගහන ඝනත්වයට දැඩි බලපෑම් එල්ල විය හැකිය. මාර්ග අනතුරු හේතුවෙන් මිය යන සත්ත්ව ප්‍රජාව අධික වී ඇත. පසුගිය දින කිහිපය තුළ මුවන්, වල් ඌරන් හා වලසුන් වාහනවලට හසුවී මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් හෝ ඒ පිළිබඳව වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට දැනුම් දීමකින් හෝ තොරව වල දමා ඇත. මීට අමතරව කුඩා සත්ත්ව විශේෂ බොහොමයක් ම නිරන්තරයෙන් වාහන අනතුරුවලට ලක් වීමෙන් මිය යමින් සිටිති. මෙවන් තත්ත්වයන් දෙස බැලීමේ දී පෙනී යන්නේ නීති විරෝධී ලෙස කිසිඳු සැළසුමකින් තොරව ඉදිකළ මෙම මාර්ගය විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජෛව ප්‍රජාවගේ පැවැත්මට මරු පහර වී ඇත.

විල්පත්තුව ජාතික වනෝද්‍යානය යනු වනෝද්‍යාන සංකීර්ණයකි. කොටස් පහකින් යුක්ත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පළමු කොටස ප්‍රකාශයට පත් කළේ 1938 පෙබරවාරි 25 වන දා ය. අනුරාධපුරය හා පුත්තලම දිස්ත්‍රික්ක දෙකට අයත් එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර 54953.2 කි. ඉන්පසුව 1967.04.28 වන දින හෙක්ටයාර 7021.4 ක් ද, 1969.08.27 වන දින හෙක්ටයාර 22981.4 ක් ද, 1969.12.05 වන දින හෙක්ටයාර 25252.9 ක් හා 1973.12.07 වන දින හෙක්ටයාර 21484.8 ක් වශයෙන් කොටස් 05 ක් ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර තිබේ. අද වන විට ඊට අයත් සම්පූර්ණ වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 131693.7 කි. මීට අමතරව විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා සම්බන්ධව තවත් වනාන්තර ගණනාවක් සම්බන්ධ වෙමින් විශාල වනජීවී වාසස්ථානයක් ගොඩනැඟී ඇත. එනම් විල්පත්තුව උතුරු අභය භූමිය, තම්බෝව අභය භූමිය හා වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතය වැනි වනාන්තරය. මෙසේ විල්පත්තුව හා ඒ හා සම්බන්ධව ගොඩනැඟී ඇති අනෙක් වනාන්තර පරිසර පද්ධති හේතුවෙන් වනජීවීන් අති බහුතරයකට ලැබුණු රැකවරණය හා කලා ඔය, මෝදරගංආරු වැනි ගංඟාවන්ගේ ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු ආරක්ෂාව මෙම මාර්ගය ඉදි කිරීම සඳහා එළි පෙහෙළි කළ වනාන්තර හා පස් කැපීම හේතුවෙන් අහිමි වී ඇත.

විල්පත්තුව යනු විවිධ පරිසර පද්ධති අති බහුතරයකින් සැදුම්ලත් ජාතික වනෝද්‍යානයකි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැළෑ, ගංඟාශ්‍රිත වනාන්තර, තෙත් විල්ලු තෘණ භූමි, වියළි පතන තෘණ භූමි, පිටාර තැනි, වගුරු බිම්, වැව්, කඩොලාන, ලවණ වගුරු, වැලි කඳු හා වෙරළබඩ පරිසර මෙහි දැක ගත හැකිය. මෙම විවිධ වූ පරිසර පද්ධති වලින් කුල 123 කට අයත් මල් පිපෙන ශාක විශේෂ 623 ක් පමණ වාර්තා වී ඇත. ඉන් විශේෂ 27 ක් ලංකාවට ආවේණික වේ.

සමනළුන්, මත්ස්‍යයින්, උභයජීවීන්, උරගයින්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ හයට අයත් විශේෂ 328 ක් පමණ වාර්තා වන අතර ඉන් විශේෂ 21 ක් ලංකාවට ආවේණික වේ.

එපමණක් නොව විල්පත්තුව යනු වනජීවී වාසස්ථාන හා ගංඟාවන්ගේ ජල පෝෂක ප්‍රදේශයක් පමණක් නොව අති දැවැන්ත පුරාවස්තු සම්භාරයක් සඟවා ගත් අප ජාතියේ ඉතිහාසය ගැබ්ව පවතින ධන නිධානයකි. ඉන්දියාවෙන් පැමිණි විජය රජු ගොඩබට තම්බපණ්ණිය පිහිටා ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ය. විජය රජු සමඟ පැමිණි 700 ක් සේනාවේ බ්‍රාහ්මන වංශික කුමාරවරුන්ගෙන් සමහරෙක් තම ග්‍රාමයන් පිහිටුවා ගත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ය. උරුවේල විසින් පිහිටුවා ගත් උරුවේල ග්‍රාමය පිහිටා ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ය. විජය රජුගේ ආගමනයට පෙර කුවේණිය තුළින් ඉස්මතු වූ ලාංකේය සංස්කෘතියේ අක් මුල් රැදී ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළම ය.

මෙම ජාතික වනෝද්‍යානය තුළ පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ප්‍රදේශ 68 ක් පමණ දැනට හඳුනාගෙන ඇත. ඒ අතර පොසිල් සහිත ප්‍රදේශ, ප්‍රාග් ඓතිහාසික න්‍යෂ්ඨාවශේෂ සහිත භූමි, ඉපැරණි සොහොන් බිම්, මෙසෝලිතික යුගයේ ගල් ආයුධ සහිත ස්ථාන මෙම ජාතික වනෝද්‍යානය තුළ හමුවේ. පොම්පරිප්පු ප්‍රදේශයේ හමුවන මහා ශිලා යුගයේ සොහොන් බිම්වල අඩි 3§ ක් පමණ උස විශාල මැටි වළංවල බහා ලූ මිනී අළු බඳුන් හමු වේ. මේවා මධ්‍ය ශිලා යුගයේ බලංගොඩ මානවයාට වඩා දියුණු මිනිස් ශිෂ්ටාචාරයේ සාධක හමුවන බිම් ය. මේවා ඩෝසර් කර මාර්ග ඉදි කිරීමට ප්‍රථම ඒ පිළිබඳ ව ගැඹුරින් අධ්‍යයනය කිරීම කළ යුතුව තිබුණි. මාර්ග ඉදි කිරීමේ දී මතු වූ මෙවන් සාධක සහිත මැටි වළං මේවායේ වටිනාකම නොදන්නා මාර්ග තනන්නන් විසින් මාර්ගයට යට කර දමා ඇත. මෙම අක්‍රමවත් නීති විරෝධී මාර්ග සංවර්ධනය හා වනෝද්‍යානයේ කැණීම් හේතුවෙන් මෙවන් පුරා වස්තු රැසක් ජාතියට අහිමි වන්නට ඇත. මෙවන් සම්පත් රටට, ජාතියට අහිමි කරමින් සිදු කරන සංවර්ධනයෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න අපට නොවැටහේ.

පරිසර අමාත්‍යතුමන් ද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ඇස් කන් නැත්තවුන් සේ ඒ දෙස සාවදානව බලා සිටිති. මීට විරුද්ධ වන පරිසරවේදීන් ඊනියා පරිසරකාරයින් ලෙස හැඳින්වීමට ඔවුහු මාන බලමින් සිටිති. පරිසරය ගැන හෝ වනජීවීන් ගැන නොදන්නා පිරිසක් වනෝද්‍යාන කළමනාකරණය කරද්දී තමන් යටතේ පාලනය වන ඉතා පැරණිතම හා විශාලතම ජාතික වනෝද්‍යානය වැනසීමට ඉඩ දී වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මුනිවත සුරැකීම පිළිබඳව අප කණගාටු වෙමු.

2009 අංක 22 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 3, 5, 6 යන වගන්ති සියල්ල උල්ලංඝනය කරමින් වනෝද්‍යානය තුළට අනවසරින් ඇතුළු වී මාර්ග ඉදි කිරීම, වනජීවී වාසස්ථාන විනාශ කිරීම, ස්ථිර පාලම් ඉදි කිරීම, ගස් කපා ඉවත් කිරීම, පස් ලබා ගැනීම සඳහා විශාල වලවල් කැණීම, වනාන්තර ඉඩම් මායිම් කණු සිටුවා වෙන් කිරීම යන සියළු ක්‍රියාකාරකම් සිදු කරති. නමුත් ඊට එරෙහිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

සජීව චාමිකර
[email protected]
Sri Lanka Nature Forum

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සිදුවන අනවසර ක්‍රියාකාරකම්..