සිංහල, Colombo, Democracy, Media

ශ්‍රේ්ෂ්ඨාධිකරණ තීරණ මගින් සංවර්ධනය වූ මුලික අයිතිවාසිකම් – 2

නීතිඥ ජගත් ලියන ආරච්චි

සාමාන්‍යයෙන් නීති සාදන්නේ පාර්ලිමේන්තුවයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයද ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවෙන් අර්ථ නිරූපන හරහා නීතියේ නවතම ප්‍රවනතාවයක් ඇති කරයි. ‛නඩු තීන්දු නීති’ ලෙස මේවා හඳුන්වයි. එවැනි නඩු තීන්දු නීති මගින් සංවර්ධනය වූ මුලික අයිතිවාසිකම් ගැන සාකච්ඡා කෙරෙන ලිපි පෙළකි.

ශ්‍රී ලංකාව විවිධ ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන්වලට ඇතුළත්ව සිටියද, එක්සත් ජාතීන්ගේ සංවිධානය විවිධ මානව හිමිකම් හා සම්මුතීන් එළි දක්වා තිබුණද, ශ්‍රී ලංකා භූමිය තුළ බලවත් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති අයිතිවාසිකම් පමණි. ඒ අනුව ජාත්‍යන්තර තලයේ මානව හිමිකම් අතරින් අයිතිවාසිකම් කිහිපයක් ශ්‍රී ලංකාව තුළ වෙසෙන ජනතාව භුක්ති විඳීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නීති පනවා සම්මත කර තිබේ. එකී අයිතිවාසිකම් ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාව තුළ 111 වන පරිච්ඡේදයේ සඳහන් වන අතර අප ඒවාට මුලික අයිතිවාසිකම් යැයි කියමු. මෙම මූලික අයිතිවාසිකම් ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවේ 111 පරිච්ඡෙදය තුළ 10 වන ව්‍යවස්ථාවේ සිට 14 වන ව්‍යවස්ථාව දක්වා ඇතුළත් වන අතර 17 හා 126 ව්‍යවස්ථා මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සහන ලබා ගත හැකි බව දක්වයි.
මේ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 126 වන ව්‍යවස්ථාව භාවිතා කරමින් මූලික අයිතිවාසිකම් නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන විට එම පෙත්සම් විභාගය සඳහා අවසර දීමේදී (Leave to proceed)” අතුරු තහනම් නියෝග ලබා දීමේදී, අවසන් තීන්දුව ප්‍රකාශ කිරීමේදී, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පවතින වචන පිළිබඳව අර්ථ නිරූපන ලබාදීමේ පූර්ණ වගකීම හා බලය මුලික අයිතිවාසිකම් පිළිබඳව ශ්‍රී ලංකාවේ මුල් හා අවසානාත්මක අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරේ. එකී ශ්‍රේෂ්ඨාධිකරණය තම අර්ථ නිරූපන හරහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්
මූලික අයිතිවාසිකම් මහජන හිමිකම් ලෙස සංවර්ධනය කල නඩු තීන්දුවක් පිළිබදව සාකච්ඡා කරමු.

තොරතරු දැනගැනීමේ අයිතිය.

තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රකාශිතව පිළිගෙන නැත. එනිසා තොරතුරු දැනගැනීමේ අයිතිය කඩ වු පුද්ගලයෙකුට බැලූ බැල්මට ශ්‍රී ලංකා ශ්‍රේෂාඨාධිකරණයේ නඩු පවරා සහන ලබා ගැනීමේ හැකියාවක් නැත. නමුත් භාෂණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුලු අදහස් පළ කිරීමේ නිදහස සහ ප්‍රකාශනයේ ඇතුලු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හරහා තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ මෙම අපුරුම නඩු තීන්දුව ලබා දුන්නේ මාස කිහිපයකට පෙර අප අතරින් වියෝ වූ කීර්තිමත් ශ්‍රේෂ්ඨාධිකරණ
විනිසුරුවරයෙකු වූ මාර්ක් ප්‍රනාන්දු විනිසුරුතුමා විසිනි.

නඩුවේ පසුබිම

මෙම නඩුවේ පෙත්සම්කරු වුයේ විමල් ප්‍රනාන්දුය. ඔහු ගුවන් විදුලි ශ්‍රාවකයෙකි. මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවය 1994 ජූනි මාසයේදී අවිධිමත් අධ්‍යාපන වැඩසටහන(NFEP) විකාශනය කිරීම ආරම්භ කරන ලදි. මානව හිමිකම්, වාර්ගිකත්වය, සමාජ විද්‍යාව, නීතිය හා සෞඛ්‍ය ගැටලු, සංස්කෘතිය හා කලාව, දේශපාලනය, එදිනෙදා සිදුවීම්, පරිසරය, ඉතිහාසය, පුරා විද්‍යාව, වැනි පුලුල් විෂයයන් පරාසයක මෙම වැඩ සටහනෙහි මාතෘකා පැතිරිණි. වැඩසටහන සඳහා සෑම දිනකම විෂය පිළිබඳ විශේෂඥයෙකු
සම්පත්දායකයෙකු ලෙස සහභාගී කර ගැණිනි. එමෙන්ම මෙම වැඩසටහනට ශ්‍රාවකයන්ටද දුරකතන මගින් සම්බන්ධ විය හැකිය. මෙම පෙත්සම්කරුද එකී වැඩසටහනෙහි ශ්‍රාවකයෙකු වූ අතර විවිධ වැඩසටහන්වලදි සම්පත්දායකයන්ගෙන් ප්‍රශ්න ඇසූ සහභාගී ශ්‍රාවකයෙකුද විය.
පෙත්සම්කරුට අනුව 1996 පෙබරවාරි මස 6 වන දින පෙරවරු 6.30 ට පමණ පැවැති නොවිධිමත් අධ්‍යාපන වැඩසටහන ‛කම්කරු ප්‍රජාව’ ලෙස නම්කර තිබිණි. මෙම වැඩසටහනෙහි සම්පත්දායක ලෙස සහභාගී වූයේ කර්මාන්ත අමාත්‍ය සී.වී. ගුණරත්න මැතිතුමාය. වැඩසටහන අතරතුරදී කුණ්ඩන්මාල්ස් ලිමිටඩ් නමැති ආයතනයේ සේවකයන් කිහිප දෙනෙක් ප්‍රශ්න යොමු කරමින් එම ආයතනයේ පැවැති වැඩවර්ජනය හා එහිදී බලධාරීන් විසින් සේවකයන්ට ලබා දී තිබු පොරොන්දු පිළිබඳව විමසන ලදි. එහිදී අමාත්‍ය තුමා ප්‍රකාශ කළේ මෙය කම්කරු ප්‍රශ්නයක් බැවින් ඔහුගේ විෂයට නොවැටෙන බවත්, ඒ සඳහා උත්තර දිය යුත්තේ කම්කරු අමාත්‍යවරයා බවත්ය. ඉන්පසුවද එකී සේවකයන් මේ ගැන නැවත
නැවතත් ප්‍රශ්න අසන ලද අතර, කම්කරු අමාත්‍යතුමා මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීම සඳහා සම්බන්ධ කරගන්නා බවටද ඉඟි පළ කෙරිනි. නමුත් හදිසියේ වැඩසටහන අවසන් වූ අතර, ඉන්පසු ඉතිරිකාලය ගීත විකාශය වන බව නිවේදනය කෙරිණි. එම වැඩසටහනේ නිෂ්පාදක වූ ජනප්‍රිය ගුවන් විදුලි ශිල්පි තිලක් ජයරත්න මහතාවද වෙනත් අංශයකට මාරු කර තිබිණි. මෙම නඩුවේදී තිලක් ජයරත්න මහතාගේ සුදුසුකම් පිළිබඳව හෝ හැකියාවන්, අත්දැකීම් පිළිබඳව ප්‍රශ්නයක් මතු නොකරන ලදි.

මූලික අයිතිවාසිකම් පෙත්සම

පෙත්සම්කරු විමල් ප්‍රනාන්දු මහතා මෙම පෙත්සම මගින් කියා සිටියේ මෙම වැඩසටහන ඉතාමත් ස්වාධීන හා උසස් මට්ටමින් පැවැති වැඩසටහනක් බවයි. මෙයට සමානම වැඩසටහන් ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශය කළද ඒවා ස්වාධීන නොවන අතර, මතබේදාත්මක කරුණු පිළිබඳව අවධානය යොමු නොකරයි. එම වැඩසටහන්වල ප්‍රේක්‍ෂක සහභාගීත්වයට ඉඩක් නැත. මේ නිසා මෙම වැඩසටහන ක්‍ෂණිකව නවතා දැමීම මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) මගින් සහතික කර ඇති ‛‛භාෂණයේ නිදහස සහ ප්‍රකාශනයේ නිදහස ඇතුලු අදහස් පළ කිරීමේ නිදහස’’ උල්ලංඝනය වී ඇති බවයි. මෙම අයිතිවාසිකම් උල්ලංඝනය කළ වගඋත්තරකරුවන් ලෙස ඔහු දක්වා සිටියේ ශ්‍රී ලංකා ගුවන් විදුලි
සංස්ථාව, එහි සභාපතිතුමා, අධ්‍යක්‍ෂ ජනරාල් ,නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (වැඩසටහන්) හා නීතිපතිතුමාය.

නඩුවේදී මතු වූ නීතිමය තර්ක

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නිතිඥ ආර්.කේ.ඩබ්. ගුණසේකර මහතාගේ කරුණු දැක්වීමේ සාරය වූයේ භාෂණයේ නිදහස යනු පුද්ගලයෙකුට තම අදහස්, මතය හා තොරතුරු තවත් පුද්ගලයෙකුට දැනුම් දීමට ඇති අයිතියයි. සන්නිවේදනය යනු මෙම අයිතියේ සාරයයි. යම්කිසි සන්නිවේදනයකදි ප්‍රතිග්‍රාහකයකු සිටින බවට පූර්ව නිගමනය කෙරේ මක් නිසාද ප්‍රතිග්‍රාහකයකු නොමැතිව සන්නිවේදනය කළ නොහැකි බැවිණි. මේ නිසා ශ්‍රාවකත්වයට (සවන් දීමට) ඇති අයිතියද, භාෂණයේ නිදහස තුළ ව්‍යංගයෙන් ඇතුලත්ව තිබේ. මේ අනුව නොවිධිමත් අධ්‍යාපන වැඩසටහනෙහි නිත්‍ය ශ්‍රාවකයකු වූ මෙම පෙත්සම්කරුගේ භාෂණයේ අයිතිය එකී වැඩසටහන හදිසියේ නැවැත්වීම නිසා උල්ලංඝනය වී ඇති බවටද ඔහු තර්ක කලේය . වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නිතිඥ කමලසබේසන් මහතා මූලික තර්ක දෙකක් ඉදරිපත් කරන ලදි.පළමුව මෙම වැඩසටහන හදිසියේ නවතා දැමීමට ගත් තීරණය යුක්ති සහගත බව පෙන්වා දීම සඳහා කරුණු 4 ක් ඉදරිපත් කරන ලදි. එසේම එය නැවත ආරම්භ කිරීමේ සූදානමක් නැති බවටද ඔහු පිළිගන්නා ලදි. දෙවනුව ඔහු ප්‍රකාශ කළේ ශ්‍රාවකයෙකුට ඔහුගේ භාෂණයේ නිදහස පිළිබඳව පැමිණිලි කිරීමට අයිතියක් ඇතිමුත් මෙම වැඩසටහන නැවැත්වීමට තීරණය ගෙන ඇත්තේ විකාශනය කරන ආයතනයමය. එබැවින් එවැනි අයිතියක් පෙත්සම්කරුට නැත. එමෙන්ම මෙහි විකාශකයා තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වු බවට
පැමිණිලි කර නැත.

නඩු තීන්දුව

විනිසුරු මඩුල්ල වෙනුවෙන් සිය තීන්දුව ලබා දුන් මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා වගඋත්තරකරුවන් විසින් මෙකී වැඩසටහන හදිසියේ නැවැත්වීමට ගන්නා ලද තීරණය යුක්ති සහගත කිරීමට ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්‍ෂේප කරන ලදි. මෙහිදී ඔහු ප්‍රකාශ කරන ලද්දේ ‛ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාව පටු ලෙස අර්ථ නිරූපණය නොකල යුතුය. එහි ඇතුළත් වනුයේ සියළු ආකාරයේ අදහස් පලකිරීම පමණක් නොවේ. එහි අන් අයගේ අදහස් පල කිරීමේ අයිතියට ඇති සුරක්‍ෂිතභාවයද මුසු වී ඇත. පූර්ණ අර්ථාන්විත අදහස් පල කිරීම සහතික කිරීමේ අවශ්‍යතාවයදඑහි ඇතුළත් වනවා. මේ නිසාම භාෂණයේ අයිතියෙහි තොරතුරු ලබාගැනීමේ අයිතියද, තොරතුරු වාර්තා කිරීමේ අයිතියද ඇතුළත් විය යුතුයි. එසේම එම සම්මුඛ සාකච්ඡා,ප්‍රකාශන, ඡායාරූප ආදියද ඇතුලත් වේ. එසේම එය තොරතුරු ලබා දුන් මුලාශ්‍ර හෙළි කරන ලෙස බලකිරීමෙන් මිදීමේ වරප්‍රසාදය දක්වාද දීර්ඝ වේ. එම වරප්‍රසාදය තොරතුරු දැනගැනීම අර්ථපූර්ණ බවට පත් කරයි.

මේ අනුව ආ.ක්‍ර.ව්‍ය. 14(1) (ආ) ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති පෙත්සම්කරුගේ මූලික අයිතකිවාසිකම් ගුවන් විදුලි සංස්ථාව හා එහි සභාපති වරයා විසින් උල්ලඝනය කර ඇති බව ප්‍රකාශ කළ විනිසුරුතුමා පෙත්සම්කරුට රුපියල් 15,000 ක් වන්දි ලෙසද රුපියල් 50,000 ක් නඩු ගාස්තු ලෙසද ගෙවන ලෙස ගුවන් විදුලි සංස්ථාවට නියෝග කරන ලදි.