සිංහල, Colombo, Human Rights

බැටරි සමඟ සිසිල් බීම

2007 ජූලි 22 වන දින ළමයකු ප්‍රසිද්ධ සමාගමක් විසින් නිෂ්පාදිත සිසිල් බීම බෝතලයක් මිලට ගෙන පානය කරන්නට විය. එහි රසයේ වූ අමුත්තක් නිසා පරීක්‍ෂා කර බැලූ විට බෝතලය තුළ කුඩා පෙන්ටෝච් බැටරියක් තිබී ඇත. ළමයා මෙනිසා රෝගාතුර විය.

මෙම සිද්ධිය දිලික්ත නීතියට අදාළ ඉංග්‍රීසි නඩු විභාගයක් වන ඩොනිගු ස්ටීවන්සන් නඩුව සිහිපත් කරයි මෙම නඩුවේදී අධිකරණය විසින,් මුද්‍රා තබන ලද භාණ්ඩ සම්බන්ධවන අවස්ථා වලදී එම භාණ්ඩ මගින් පාරිභෝගිකයාට හානියක් නොකිරීමේ අවධානීය යුතුකමක් නිෂ්පාදකයා කෙරෙහි පවතින බව තීරණය විය.

මෙම නඩුවේ සිද්ධිමය කරුණු පහත පරිදියි. ඩොනිගු ස්ටීවන්සන් හිදී පැමිණිලිකාරිය තවත් පුද්ගලයෙකු සමග අවන්හලට ගොස් ජින්ජර් බියර් බෝතලයක් මිළදී ගෙන ඇත. එම බෝතලය කඩා ඉන් කොටසක් වීදුරුවකට දමා පානය කිරීමෙන් පසු ඉතිරි කොටස වීදුරුවට දැමීමේදී ඒ තුළ නරක්වූ මළ ගොළු බෙල්ලෙක් සිට ඇත. මෙය දැකීමෙන් පැමිණිලිකාරිය කම්පනයට හා දරුණු උදරාබාධයකට ලක්වී ඇත.

මෙහිදී නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර ගිවිසුම් සම්බන්ධතාවක් තිබුණ ද දිලික්තමය වශයෙන් නිෂ්පාදකයා වගකිව යුතු බව තීරණය විය. පාරිභෝගිකයා වෙත නිෂ්පාදකයාට අවධානීය යුතුකමක් ඇත.

ළමයකු බැටරියක් අන්තර්ගත සිසිල් බීම පානය කිරීම නිසා රෝගාතුර වූ සිද්ධිය පුවත්පත් වල වාර්තා විය. ළමයාගේ පියා සිවිල් නඩුකරයක් පවරා වන්දි ඉල්ලා ඇති බව ද මාධ්‍ය මගින් අනාවරණය කෙරිණිී. ශ්‍රී ලංකාවේදී පාරිභෝගිකයෙකුට පාරිභෝගික ආරක්‍ෂක අධිකාරියට ද තමනට සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකී මෙවන් අවස්ථා වලදී පාරිභෝගික ආරක්‍ෂක අධිකාරිය අනලස්ව අපක්‍ෂපාතීව සහ බලපෑම් වලට නතු නොවී කටයුතු කළ යුතුය.

පාරිභෝගික ආරක්‍ෂාව සම්බන්ධ ශ්‍රී ලංකාවේ නෛතික ප්‍රතිපාදන සලකා බැලීමේදී 1980 අංක 26 දරන ආහාර පනත ද වැදගත් වේ. එහි 2 (1) වගන්තිය පහත පරිදිය. යම් ආහාරයක් තුළ හෝ මත එම ආහාරය සෞඛ්‍යයට හානිකර බවට පත් කරන යම් ස්වභාවික හෝ එක් කළ අනර්ථදායක ද්‍රව්‍යයක් ඇත් ද එවැනි ආහාරයක් නිශ්පාදනය කිරීම ආනයනය කිරීම විකිණීම හෝ බෙදා හැරීම කිසිම තැනැත්තෙකු විසින් නොකළ යුතුය. මෙම පනතේ 18 (1) වගන්තිය මගින් පනත උල්ලංඝනය වන අවස්ථා වලදී හිමිවන දඩුවම් දක්වා ඇත.

අප රටේ උත්තරීතර නීතිය වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයිී. එහි මූලික අයිතිවාසිකම් 03 වන පරිච්ඡේදයේ දක්වා ඇත. නමුත් අවාසනාවකට ආහාර සඳහා ඇති අයිතිය සහ සෞඛ්‍යයට ඇති අයිතිය මූලික අයිතිවාසිකම් ලෙස පිළිගෙන නොමැත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඪෂ වන පරිච්ඡේදය රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ යුතුකම් නම් වේ.

වන පරිච්ඡේදයේ 27 (2) ඇ වගන්තිය මගින් ප්‍රමාණවත් ආහාරපාන සියලු පුරවැසියන්ට අත්කර දීමට රජය ඇප කැප වී ඇත්තේය යනුවෙන් සඳහන්ය. 27 (9) වගන්තිය සමාජ සුරක්‍ෂිත බාවය හා සුබසාධනය ඇති කිරීමට රජය වගබලා ගත යුත්තේය යනුවෙන් සඳහන් කරයි. එහෙත් ඪෂ වන පරිච්ඡේදයේ දක්වා ඇති යුතුකම් රජය කඩ කරන අවස්ථාවක ඒවා කිසිදු අධිකරණයකින් ප්‍රශ්න කළ නොහැක.

ආහාර සඳහා ඇති අයිතිය සහ සෞඛ්‍යයට ඇති අයිතිය මූලික අයිතිවාසිකම් ලෙස පිළිගන්නා ලෙස රාජ්‍ය පාර්ශවයට බලපෑම් කිරීමේ නියම කාලය දැන් උදාවී ඇත. ඉහත සිද්ධියේදී සිසිල් බීම නිශ්පාදන ආයතනයට එරෙහිව පැවරූ නඩුව ළමයාගේ පියා විසින් බලපෑම් වලට හසු නොවී අවසාන තීන්දුවක් දක්වා පවත්වාගෙන යාම ඔහු ඔහුගේ දරුවාගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමක් පමණක් නොව සියලු පාරිභෝගිකයින්ගේ ආරක්‍ෂාව සහතික කිරීමක්ද වේ.

හර්ෂි චිත්‍රාංගි පෙරේරා