iMAGE: scalabriniane.org

මාර්තු මාසේ 22 දා අපේක්ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබන දරුවන්ගේ සිත් සතුටු කළ දවසක්. ඒ, ඊට පෙර දින කිහිපයක් තිස්සේ ප‍්‍රතිකාරවල අමාරුකම් මැද ටික ටික අඳින ලද චිත‍්‍රවලින් අලංකාර චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් රෝහල් පරිශ‍්‍රයේදී පැවැත්වීමයි. නේවාසිකව ප‍්‍රතිකාර ලබන දරුවන්ගේ මව්වරුන් විසින් අඳින ලද චිත‍්‍ර කිහිපයක් ද ප‍්‍රදර්ශනයට එකතු වී තිබූ අතර මුලූ චිත‍්‍ර ප‍්‍රමාණය 150ක් පමණ විය.

ප‍්‍රදර්ශනය 22 දා උදේ 9.30ට පමණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බුද්ධික කුරුකුලසූරියගේ ප‍්‍රධානත්වයෙන් සිදු වූ අතර, වෛද්‍යවරුන්/වරියන්, හෙද හෙදියන් ඇතුලූ රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහ ආරාධිතයන් ද සහභාගී වී සිටියහ.

සාමාන්‍ය චිත‍්‍ර ප‍්‍රදර්ශනයකදී මෙන් චිත‍්‍ර අඳින ලද සිත්තරුන් දැකීම පැමිණි සිටිය අයගේ අපේක්ෂාව වුවද, අපේක්ෂාවේ ප‍්‍රතිකාර ලබන ඒ දරුවන් සියලූ දෙනාට එකවර සහභාගී වන්නටවත්, සමහරුන්ට එම දවස ඇතුළත තම චිත‍්‍ර ප‍්‍රදර්ශනය දකින්නට එන්නටවත් අවස්ථාවක් නොලැබීම ගැන සංවේදීව හිතන්නට හැකි වූයේ එදින එය නරඹන්නට පැමිණි අයට සහ වාර්තා කරන්නට පැමිණි මාධ්‍යවේදීන්ට පමණි.

ඔවුන් පිළිකා ප‍්‍රතිකාර ලබමින් සිටින දරුවන් ය. සමහර තෙරපි ප‍්‍රතිකාර ලබා ගන්නා දරුවන්ට පැය ගණන් ඒ සඳහා ගත කරන්නට සිදු වෙයි. ඒ නිසා ප‍්‍රතිකාරවලට නියමිත වෙලාවට පෙර සහ එදින ප‍්‍රතිකාර අවසන් වූ දරුවන්ට පමණක් තමන්ගේ චිත‍්‍ර, බෝඞ්වල තබා ප‍්‍රදර්ශනය කරන හැටි දැකීමේ සතුට විඳින්නට හැකි විය. සමහරුන්ට ඒ සඳහා අවස්ථාව නොලැබිණ.

ස්වේච්ජාවෙන්  පිළිකා රෝගීන් කරන වැඩවලට දායක වන කෙනෙකු වශයෙන් මෙම චිත‍්‍ර ප‍්‍රදර්ශනය පැවැත්වූ දිනය මෙන්ම ඊට පෙර දිනය ද ඒ සඳහා වෙන් කළ මගේ සිත පරීක්ෂාකාරී වූයේ තමන්ගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයට තබා තියෙන හැටි දකින්නට එන දරුවන් ගැනය. තමන්ගේ චිත‍්‍රය තබා ඇති බෝඞ් එක සොයා ගත් පසු ඒ දෙස සතුටින් හා ජයග‍්‍රාහී දෑසින් බලා සිටින ඔවුන්ගේ හැඟීම් කියවීමට හැකි වන්නේ එය දුටු කෙනෙකුටය. ඇසෙන් පමණක් නොව සිතින් දුටු කෙනෙකුටය. හදවතින් දුටු කෙනෙකුටය. දරුවන් තම චිත‍්‍රය අසල සිට පින්තූර ගන්නට ඉතා ආසාවෙන් සිටගත් ආකාරය දකින කෙනෙකුට බෙහෙත්වලින් ඔවුන්ගේ ශරීරයට ඇති කර තිබෙන අමාරුකම් අමතක කරන්නට හැකි වූ ආකාරය නිරීක්ෂණය කරන්නට පුලූවන. මුහුණෙන් ඒ සතුට පෙනුණත් හිස කෙස් රහිත ඒ දරුවන්ගේ ජායාරූප ප‍්‍රසිද්ධ කිරීමෙන් වැළකීම අපගේ වගකීමකි. එහෙයින් විෂබීජ වැළැක්වීමට මුහුණු ආවරණයක් පැළඳ සිටි දරුවන්ගේ ජායාරූපයක් දැකීමෙන් පමණක් ඔබට ඒ හැඟීම ලබා ගත නොහැකි වනු ඇත.

ශාරීරක අපහසුතා ඉතා ප‍්‍රබල පිළිකා ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පැමිණි දරුවන්ගේ මුහුණේ මතු වූ සතුට හා ජයග‍්‍රාහී බැල්ම හදවතින් දුටු බැවින් මෙම චිත‍්‍ර ඇඳීම හා ප‍්‍රදර්ශනයේ වැදගත්කම ගැන සටහනක් තබන්නට අපව පොළඹවනු ලැබිණ. අපේක්ෂා රෝහලේ මනෝ වෛද්‍යවරුන් සම්බන්ධ උපදේශන අංශය හා සම්බන්ධ වෙමින් මෙම කටයුත්තට දායක වී තිබුණේ ප‍්‍රකට චිත‍්‍ර කලා ආචාරයවරයෙකු වූ චාල්ස් දයානන්ද මහතා සභාපතිත්වය දරන චිත‍්‍ර කලා වෘත්තිකයන්ගේ සංගමය විසිනි. හිතවතුන්ගේ අනුග‍්‍රාහකත්වය ලබා ගෙන මෙවැනි සද්කාර්යයන්වලට දායක වන චිත‍්‍රකලා වෘත්තියකයන්ගේ සංගමය පිළිකා රෝගවලින් පෙළෙන දරුවන්ට චිත‍්‍ර ඇඳීම අඛණ්ඩව කරගෙන යෑමට සහාය වීමට ද කැමැත්තෙන් සිටී.

මනෝ සායනික විෂයයක් වශයෙන් සැලකෙන චිත‍්‍ර කලාව පිළිකා රෝගී දරුවකුට වැදගත් වන්නේ කෙසේද? මෙම වැඩ සටහනට දායක වූ චිත‍්‍රකලා වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති චාල්ස් දයානන්ද ඒ ගැන අදහස් දක්වන්නේ මෙලෙසයි.

චාල්ස් දයානන්ද – සභාපති, චිත‍්‍රකලා වෘත්තිකයන්ගේ සංගමය

‘‘චිත‍්‍ර ඇඳීමේදී විද්‍යාත්මක කි‍්‍රයාවලියක් සිදු වෙනවා. ඇඳීමෙන් ළමයා සතුටක් ලබනවා. එයින් මොළයේ පී‍්‍රතිමත් කි‍්‍රයාකාරිත්වයක් ඇති වෙනවා. මොළය පී‍්‍රතිමත් වන විට හදවත හොඳින් කි‍්‍රයාත්මක වෙලා ලේ ගමනාගමනය යහපත් වෙනවා. පිළිකා ප‍්‍රතිකාර ඖෂධ ලබා දෙන්නේ ලේ නහර හරහා. ලේ ගමනාගමනය යහපත් වුණාම පිළිකා ඖෂධ ශරීරගත වීමට පහසුවක්.
චිත‍්‍ර කියන්නේ පාට නැත්නම් වර්ණ එක්ක සම්බන්ධ වැඩක්. හිරු එළිය නැත්නම් දේදුන්නේ වර්ණ 7ක් ගැන කතා කරනවා. එයින් එකක් ඉන්ඩිගෝ. අනෙක් පාට 6 වර්ණාවලි දෙකකට බෙදනවා. නිල් වර්ණ මාලාව (දම්, කොළ, නිල්* සහ රතු වර්ණ මාලාව (කහ, තැඹිලි, රතු* වශයෙන්. ඒ එක් එක් වර්ණයකට ශක්ති තරංග ඇතුළත්. පාට එක්ක චිත‍්‍රයක් අඳින විට ඇස හරහා ඒ වර්ණ ශක්ති තරංග මොළයට ලැබෙනවා. මොළයේ පිටියුටරි ග‍්‍රන්ථිය හරහා නිකුක් කරනවා ප‍්‍රබෝධක හෝමෝන. මනස එනම් මොළයේ නියුරෝ ට‍්‍රාන්ස්මීටර් හරහා නිකුත් කරනවා ප‍්‍රබෝධක රසායනිකයක්. එයින් මනසේ සිදු වෙනවා කාර්යයන් දෙකක්. ප‍්‍රීතිය, සතුට, වින්දනය, තෘප්තිය සහිත මානසික කි‍්‍රයාවලියක් ඇති වෙනවා එක පැත්තකින්. අනෙක් පැත්තෙන් ධෛර්ය, ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය සහ අධිෂ්ධානය යන ශක්තීන් ඇති වෙනවා. චිත‍්‍රයක් අවසන් වන විට සියලූ වර්ණ, ප‍්‍රබෝධකයන් ලෙස කි‍්‍රයාත්මක වෙලා ජයග‍්‍රාහී හැඟීමක් දරුවා තුළ ඇති වෙනවා. මට පුලූවන් කියන හැඟීම ඇතිවීම ලොකු ශක්තියක්. ළමයි මේක දන්නේ නැහැ. වැඩිහිටියන් දන්නෙත් නැහැ. නමුත් නිරන්තරයෙන් පාට එක්ක වැඩ කරමින් චිත‍්‍ර ඇඳීමෙන් මනෝ සායනික කි‍්‍රයාවලියක් සිදු වෙනවා. මනස ශක්තිමත් වෙනවා. රෝග සුව කරන්න ඒක හොඳ බලපෑමක්. පිළිකා ශෛල විනාශ කරන්න වර්ණවලින් ඇති බලපෑම ගැන තවත් පර්යේෂණ සිදු වෙලා තියෙනවා. රතු වර්ණය මස් පිඩු කි‍්‍රයාකාරිත්වය වැඩි කරන බවට සොයා ගෙන තියෙනවා.’’

අපේක්ෂා රෝහලේ වගේම වෙනත් රෝහල්වලත් පිළිකා ප‍්‍රතිකාර ගන්නා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් පාට සමඟ නිරන්තරයෙන් කටයුතු කරන්නට අවස්ථාව ලැබෙනවානම්, අවස්ථා උදා කර දෙනවානම් එය ඉතා වැදගත් සමාජ සත්කාරයක් බව පැහැදිලිය. අපට සාමාන්‍යයෙන් නිවසක් තීන්ත ගා කල එළි කළ විට පවා හිතට යම්කිසි පී‍්‍රතිමත් හැඟීමක් ඇති වන බවට අත්දැකීම් ඔබටත් ලැබී ඇති. වෙනත් නිර්මාණාත්මක කටයුත්තකට හිත යොමු කළ විට ද ඒ හැඟීම ඇති වේ. ඒ ආකාරයෙන් බලන විට වර්ණාවලියක් එක්ක වැඩ කරන්නට හිත යොමු වීමෙන් ඇති වන මානසික තෘප්තිය අපට වටහා ගත හැකිය. නමුත් පිළිකා ප‍්‍රතිකාර ලබන දරුවන්ට රසායනික ද්‍රව්‍ය අඩංගු තීන්ත වර්ග සමඟ වැඩ කරන්නට වෛද්‍ය අවසර නැත. මෙහි සඳහන් චිත‍්‍ර පැස්ටල්වලට සහ පැන්සල් චිත‍්‍රවලට සීමා වී තිබුණි.

චිත‍්‍ර ප‍්‍රදර්ශනය නැරඹූ රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ බුද්ධික කුරුකුලසූරිය මහතා ප‍්‍රකාශ කළේ තමා එය නැරඹීමෙන් පුදුමයට පත් වූ බවයි. පාසල් ගමනත් නතර වී, අමාරු ප‍්‍රතිකාර ලබමින් සිටින දරුවන්ගේ කුසලතා මෙතරම් ඉහළ මට්ටමක තිබීම හා මානසික ශක්තිය ඔහුගේ පුදුමයට හේතු වී තිබිණ. මෙවැනි සද්කාර්යයක් දිගටම කර ගෙන යා හැකිනම් ඉතා වටිනා බව ඔහුගේ අදහසයි.

ප‍්‍රදර්ශනය නැරඹූ ළමා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තමන්ගෙන් ප‍්‍රතිකාර ලබන දරුවන්ගේ හැකියාවන් ගැන ඉතා සංවේදී වූහ. රෝගී දරුවන්ගේ මෙන්ම සියලූ රෝගීන්ගේ මනෝ සමාජීය අවශ්‍යතා ගැන ඉතාමත් කැපවීමෙන් සොයා බලන්නට වෙහෙසෙන, ඒ සඳහා ස්වේච්ජා කි‍්‍රයාකාරීන්ගේ සහයෝගය ලබා ගන්නට උත්සාහ දරන මනෝ වෛද්‍ය නිහාල් රංජන් විදානගේ සහ වෛද්‍ය එරන්දි පැවසූ ආකාරයට චිත‍්‍ර අඳින ලද සමහර දරුවන් එය කරන ලද්දේ තෙරපි ප‍්‍රතිකාර ලබා දීම සඳහා අතට යොදා ඇති කැනියුලා එකද සමගය. සමහර දරුවන් චිත‍්‍ර කිහිපයක්ම අඳින්නට උනන්දු වී ඇති අතර වෙහෙස වීම ගැන සිතා දැනට ඇති බව කියා ඔවුන් නතර කරන්නට සිදු වී ඇත. මනෝ සායනික උපදේශන අංශයේ අනෙක් වෛද්‍යවරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් මෙවැනි කටයුතු සිදුවේ.

සමාජයක් වශයෙන් අපගේ විශේෂ ස්තුතිය හිමි විය යුතු පිරිසක් ද උපදේශන අංශය හා සම්බන්ධව මෙවැනි කටයුතුවලට දායකත්වය ලබා දෙති. ඒ රෝහලේ රැකියා කරන අය හෝ වෙනත් ප‍්‍රතිලාභ ලබන පිරිසක් නොවේ. පිළිකා රෝගීන් වෙනුවෙන් සහාය වීමට පැමිණෙන ඔවුන්, තමාගේ වියදමෙන් ඇවිත් කාලය, ශ‍්‍රමය කැප කරන පුද්ගලයන්ය. ස්වේච්ජා කි‍්‍රයාකාරීන්ය. තරුණ  දූ දරුවන්ය. මෙම ප‍්‍රදර්ශනය ද සාර්ථක කර ගැනීමට පෙර දිනයේ සිට වෙහෙස වූ ස්වේච්ජා කි‍්‍රයාකාරීන් වූ ඒ තරුණ සිසු සිසුවියන්ට කාගේත් ප‍්‍රණාමය හිමි විය යුතුය.

සටහන සහ ජායාරූප               

 

 

සීතා රංජනී