ලෝක පරිමාණ ආර්ථීක අර්බුදය

කොවිඞ් 19 ගෝලීය වසන්ගතයේ බලපෑම නිසාවෙන් මේ වන විට දෙවන ලෝක යුද්ධයෙන් පසු පළමු වතාවට ලෝක ආර්ථිකය ඇණහිට ඇත. භාණ්ඩ සඳහා වන ඉල්ලුම බිඳ වැටීම, ජාත්‍යන්තර ප‍්‍රවාහනය ඇණ හිටීම මෙන්ම නිෂ්පාදන කර්මාන්තශාලා කි‍්‍රයාත්මක කිරීමට නොහැකිවීම ඇතුලු විවිධ හේතූන් මීට බලපා ඇත. මේ සියල්ල විසින් ප‍්‍රතිඵල කෙරෙන ආර්ථීක අර්බුදය පෙර නොදුටුවිරූ එකක් වනු ඇති බවට දැනටමත් අනාවැකි පහල කෙරෙමින් පවතී.

මෙම ආර්ථීක කඩාවැටීමේ පරිමාණය බොහෝවිට 1930 ගණන්වල ඇතිවූ ගෝලීය ආර්ථීක අවපාතය තරම්ම හෝ ඊට කිට්ටු එකක් වනු ඇති බවට ලෝක වෙළඳ සංවිධානය විසින් දැනටමත් අනතුරු අඟවා ඇත. 1930 ගණන්වල ආර්ථික අර්බුදයේදී 32% කින් ගෝලීය ආර්ථීකය කඩා වැටුනු අතර මෙවර සිතිය හැකි සුභදායීම තත්ත්වයන් තුළ පවා එය 13% ඉක්මවනු ඇත. නමුත් දිනෙන් දින අප වෙත ලැබෙන තොරතුරු අනුව පෙනී යන්නේ එකී සුභදායී අපේක්‍ෂාව පවා දිනෙන් දින අපෙන් ඈතට යන ආකාරයයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව කොවිඞ් 19 හේතුවෙන් 2020 වසර අවසන් වන විට ඩොලර් බිලියන 860 සිට ටි‍්‍රලියන 3.4 දක්වා ලෝක ආදායම පහල යනු ඇත. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ලෝක ශ‍්‍රම බලකායෙන් 4/5 කගේ, එනම් බිලියන 2.7 කගේ රැකියා කෙරෙහි බලපෑම් ඇතිවනු ඇති අතර 2020 වසර් දෙවන කාර්තුවේදී වැඩ කරන පැය ගණනේ අඩුවීම නිසා මිලියන 195 කට පමණ රැකියා කිරීමට නොහැකි වනු ඇත. වසර අවසන් වන විට මිලියන 125 කට වැඩි පිරිසකගේ රැකියා ස්ථිර ලෙස අහිමි වනු ඇත.

මේ රැකියා අහිමිවීම් වලට අමතරව ඌන රැකියා නියුක්තිය මෙන්ම වැටුප් අඩු කිරීම්ද අනිවාර්ය ප‍්‍රතිඵල වනු ඇත. බංගලාදේශය, වියට්නාමය, කාම්බෝජය, ශී‍්‍ර ලංකාව වැනි ඇඟලුම් කර්මාන්ත ක්ෂේත‍්‍රය සිය ආර්ථීකයේ විශාල කොටසක් නියෝජනය කරන රටවල්වලට මේ ගෝලීය කඩාවැටීම් වඩාත් දැනෙනු ඇත්තේ ඒවා ගෝලීය ඉල්ලූම-සැපයුම හා බැඳී පැවතීමත්, අමුද්‍රව්‍ය ලබාගැනිමේ සිට අවසන් වෙළඳපොල දක්වා එකී කර්මාන්ත ගෝලීයව බැඳී පැවතීමත් හේතුවෙනි. මේ අනුව චීනය හැරුනුවිට ලෝකයේ විශාලතම ඇඟලුම් නිෂ්පාදකයා වන බංගලාදේශයේ පමණක් අවම වශයෙන් මිලියනයකට ඇඟලුම් ක්ෂේත‍්‍රයේ රැකියා අහිමිවනු ඇති බවට දැනටමත් ගණන්බලා තිබේ. රැකියා අහිමිවීමට අමතරව නිර්මාණය වන ඌන සේවා නියුක්තිය හා වැටුප් අඩුකිරීම් හේතුකොටගෙන සමස්ථයක් වශයෙන් මිලියන 4.1 ක ජනතාවක් බංගලාදේශය තුළ කුසගින්නට මුහුණ දෙනු ඇතැයි අනුමාන කෙරෙයි. මේ සියලු අනුමානයන් සිදුවෙමින් පවතින්නේ තවමත් වර්ධනය වෙමින් පවත්නා ගෝලීය අර්බුදයක් සම්බන්ධයෙනි. එය කවර පරිමාණයක් දක්වා ගමන් කරනු ඇති ද යන්න තවමත් කිසිවකුට නිශ්චිතව පැවසිය නොහැක.

ශ‍්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත‍්‍රය

මේ තතත්වය තුළ අපේ‍්‍රල් 5 වනදා එනම් මෙරට කොවිඞ් 19 වසංගතය එතරම් වර්ධනය නොවී තිබූ අවස්ථාවක ප‍්‍රකාශයක් කරමින් මෙරට ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය විසින් කියා සිටියේ ඇඟලුම් කර්මාන්තයේ නිරත ශ‍්‍රම බලකායෙන් 30% ක්වත්, තාවකාලිකව සේවය ලබාගැනීමකින් තොරව පවත්වා ගැනීමට සිදුවනු ඇති බවයි. ආයෝජන මණ්ඩලයට අනුව ඇඟලුම් කර්මාන්තය මෙරට ආර්ථීකයේ විශාල කොටසක් නියෝජනය කරයි. ඊට අනුව මෙරට සමස්ථ අපනයනයන්ගෙන් 44% ක්ද, මෙරට නිෂ්පාදන අංශයේ රැකියාවලින් 33% ක්ද සම්පාදනය කරනු ලබන්නේ ඇඟලුම් කර්මාන්තය විසිනි. මෙරට ශ‍්‍රම බලාකයෙන් 15% ක් ආයෝජන ප‍්‍රවර්ධන කලාපවල රැකියාවල නියැලෙති. දැනටමත් මේ කර්මාන්තශාලා අතිබහුතරයක නිෂ්පාදන ඇණහිට ඇත. සේවක වැටුප් නිසි පරිදි ගෙවන ලෙසට රජය විසින් සියලු කර්මාන්තශාලා හිමියන්ට උපදසේ දී ඇති නමුත් එය නිසි පරිදි කි‍්‍රයාත්මක කරනු ලැබ ඇත්තේ සුලු පිරිසකි. සමහර කර්මාන්තශාලා කිසිදු වැටුප් ගෙවීමක් කර නොමැති අතර තවත් සමහරක් මූලික වැටුප පමණක් ගෙවා ඇත. රැකියා අනාරක්‍ෂිතභාවය ඇතුලු තවත් බොහෝ හේතු නිසාවෙන් දීර්ඝ කාළයක් තිස්සේ විවේචනයට ලක්වූ මෑන් පවර් නොඑසේනම් ශ‍්‍රම සැපයුම් සමාගම්වල සේවය කළ සේවකයින් මේ කිසිවකදී අඩුම කරමින් සලකා බැලෙන්නේවත් නැත. රජය විසින් සමෘද්ධිලාභීන්ට හා ස්වයං රැකියා කරගත නොහැකි පිරිස්වලට ගෙවන රු. 5,000 දීමනාවට පවා මේ කිසිවෙක් සුදුසුකම් නොලබති.

බියකරු පෙරනිමිති

මේ අතර සේවකයින්ගේ මූලික වැටුපට වඩා අඩු වැටුපත් ගෙවමින් නැවත නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තුරු සේවකයින් සේවය ලබා නොදී තැබීමටත්, නිෂ්පාදන ආරම්භ කිරීමෙන් පසු එලැඹෙන මාස කිහිපය තුළ වැටුප්, වැඩ තත්ත්වයන්, නිවාඩු දින යනාදිය සංශෝධනයට ලක්කිරීමටත්, සාමාන්‍ය වැඩකරන පැය ගණනට වැඩියෙන් වැඩකරන පැය අතිකාල ලෙස නොව සාමාන්‍ය වැඩකරන පැය ලෙස සලකා ගෙවීම් කිරීමටත් හාම්පුතුන්ගේ සංගමය විසින් කමකරු අමාත්‍යවරයා වෙතින් ඉල්ලීම් කර ඇත්තේ මෙවන් පසුබිමකය. සේවා යෝජකයින් විසින් මීලඟට ඉල්ලීම් ඉදිරිපත් වනු ඇත්තේ අනාගතයේ ඔවුන්ට අවශ්‍ය ලෙස සේවකයින් සේවයෙන් නෙරපීම සඳහා වන නෛතික බාධාවන් (විශේෂයෙන්ම සේවකයින් සේවයින් ඉවත් කිරීමේ විශේෂ විධිවිධාන පනත යනාදිය) ලිහිල් කරගැනීම කෙරෙහිය.

මේ සියල්ල ශී‍්‍ර ලංකාවේ ශ‍්‍රම බලකායෙන් විශාල කොටසකට නුදුරු අනාගතයේදී මුහුණ දීමට සිදුවන, දැනටමත් එහි ඉඟි පලවී ඇති බියකරු යථාර්ථයක පෙරනිමිතිය.
ලෝකයේ සිදුව ඇති සෑම ආර්ථීක අවපාතයකදීම එයට මුහුණ දීමට නිෂ්පාදකයින් විසින් ගනු ලැබ ඇති මුලිකම පියවර වන්නේ ශ‍්‍රමිකයින් සේවයෙන් පිටමං කිරීම හෝ ඔවුන්ගේ වරප‍්‍රසාද හා වැටුප් අඩු කිරීමයි. ඒ නිෂ්පාදන සාධකවලින් වඩාත්ම ඔවුන්ගේ පාලනය යටතේ පවතින්නේ ශ‍්‍රමය වන බැවිනි. නමුත් එමඟින් ඇතිකරනු ප‍්‍රතිවිපාක වට ගණනාවකින් රටක ආර්ථීක හා සමාජීය සැකසුම කෙරෙහි බලපෑම් ඇති කරවයි. එබැවින් මෙවැනි තත්ත්වයක ගනු ලබන පියවර වඩා පුළුල් සිතියමක බහා විශ්ලේෂණය නොකලොත් ඒවායේ අනිටු ප‍්‍රතිවිපාක රටක් දශක ගණනකින් පසුපසට ඇද දැමීමට සමත් වනු ඇත.

ගැටලුව කර්මාන්තශාලාවෙන් ඔබ්බට විහිදුනකි

මේ වන විට සංඛ්‍යාලේඛණවලට අනුව මෙරට තුළ තනි පුද්ගලයෙකුට මාසයක කාළයක් ජීවත්වීම සඳහා අවම වශයෙන් රු. 29,100 ක්ද, තුන් දෙනෙකුගෙන් යුත් පවුලකට රු. 42,900 ක්ද අවශ්‍ය බව පැවසේ. අප හොඳින්ම දන්නා පරිදි ඇඟලුම් ඇතුලු අපනයන සැකසුම් කලාප සේවකයින්ට හිමිවන්නේ මීට අඩු වැටුපකි. ඒ අනුව දැනටමත් මේ සේවකයින් සිය මාසික වියදම් පිරිමසා ගන්නේ බොහෝ අසීරුවෙනි. මේ තත්ත්වය තුළ ඔවුන් සේවයෙන් පහ කිරීම පහසු කරවීම, ඔවුන්ට මූලික පඩියට අඩුවෙන් ගෙවීම (මේ බොහෝ දෙනෙකුගේ වර්තමාන වැටුප සැකසී ඇත්තේ මූලික වැටුපට එකතු කරන ලද තවත් දීමනාද සමඟිනි) හෝ සාමාන්‍ය වැඩ කරන පැයවලට කරන ගෙවීමම කරමින් අතිකාල වැඩ ගැනීම යනාදිය විසින් ඔවුන්ගේ ජීවන තත්ත්වය විශාල ඛේදාන්තයකට ඇද දමනු ඇත. මේ පිරිසෙන් බොහොමයක් දැනටමත් සිටින්නේ දරිද්‍රතා රේඛාවට යාන්තමින් ඉහලිනි. මේ වැඩි පිරිසක් ඉතා සුළු හේතුවකින් නැවත දරිද්‍රතාවය වෙත ඇද වැටිය හැකි තැනැත්තන්ය.
අනෙක් අතට බටහිර රටක රැකියාව අහිමිවීමකට වඩා ශී‍්‍ර ලංකාව වැනි රටවල රැකියා අහිමිවීම බරපතල ප‍්‍රතිවිපාක ඇති කරවයි. එක අතකින් රැකියා විරහිත කාල පරිච්ෙඡ්දය පුරාවට එම රටවල රජයෙන් සැපයෙන සහනාධාර පැකේජයකට ඔවුහු හිමිකම් කියති. එමෙන්ම සාමාන්‍ය තත්ත්වය තුළ බොහෝවිට ඔවුන්ගේ රැකියා දෙකක් අතර කාළය එතරම් දීර්ඝ එකක් නොවේ. නමුත් මෙරට රැකියා අහිමි වන්නන්ට කිසිදු විශේෂ රාජ්‍ය සහනාධාරයක් හිමි නොවනවා පමණක් නොව නැවත රැකියාවක් සොයා ගැනීමට ඔවුන්ට විශාල කාලයක් ගත්වේ. සමහරවිට එය කිසිදිනෙක සිදු නොවනු ඇත. එවන් තත්ත්වයකදී මේ සේවක පිරිස් විරැකියාවට හෝ අනාරක්‍ෂිත රැකියා ද ඇතුලත් ඌන සේවා නියුක්තිය වෙත තල්ලු වේ. සරළවම ගතහොත් අවසන් වශයෙන් සිදුවන්නේ වියදම් කිරීමට අවශ්‍ය මුදල් මේ පිරිස් අත නොමැති තත්ත්වයට පත්වීමයි. එය ඔවුන්ගේ සෞඛ්‍ය, දරුවන්ගේ අධ්‍යාපනය ඇතුලු විශාල කාරණාවන් රැසකට බලපෑම් ඇති කරයි. දරිද්‍රතාවය වර්ධනයවීම යනු රාජ්‍යයේ සුභසාධන වගකීම කෙරෙහි තවත් අතිරේක බරක් එකතුවීමකි. අනෙක් අතට ඔවුන් අතින් මුදල් වියදම් කිරීම අවමවීමෙන් මෙරට මුදල් සංසරණයට ඔවුන් වෙතින් වන දායකත්වය පහත වැටීමෙන් ඒ මත යැපෙන ව්‍යාපාර ස්ථරයක් අර්බුදයට ලක්වේ. මෙමඟින් රටේ සමස්ථ මුදල් සංස්රණ චක‍්‍රය අර්බුදයකට ගමන් කරයි. මේ සියල්ලටම මුහුණ දීමට සිදුවන්නේ දැනටමත් ඉතාමත් පහල ආර්ථීක වර්ධනයකට හිමිකම් කියන (දකුණු ආසියාවේ පහලම අගය) අතිවිශාල විදේශ ණය උගුලක සිරවී සිටින ආර්ථිකයකටය. මෙරට පවතින්නේ රටේ ඇතිවී තිබෙන ව්‍යාවස්ථාමය ගැටලුව (පාර්ලිමේන්තුව විසුරුවා තිබීම) නිසා ලෝක බැංකුවෙන් ලැබෙන ඩොලර් මිලියන 128 ක මුදල පවා ලබාගැනීම අසීරු වී ඇති තත්ත්වයකය (එය ලබාගැනීමට නම් පාර්ලිමේන්තුව විසින් රාජ්‍ය ණය සීමාව ඉහල දැමීමට අනුමැතිය ලබාදිය යුතුය).

මෙබඳු තත්ත්වයක් අයහපත් ලෙස කළමණාකරණය කරගැනීමේ ආසන්නතම පාඩම් එබෝලා වසංගතයට බටහිර අපි‍්‍රකානු රටවල් මුහුණදුන් ආකාරයෙන් ඉගෙනගත හැක. වර්තමානයේ අප මහුණදෙන ගෝලීය වසංගතය තරම් බැරෑරුම් නොවූව ද ඒ අවස්ථාවේ මෙම දුර්වල ආර්ථීකයන් තුළ ඇතිවූ රැකියා අහිමිවීම්, ජීවිකා බිඳවැටීම් නිසා සංවර්ධනය, සාමය වෙන්ම සමාජ ඒකාග‍්‍රතාවද අර්බුදයට යන ලදී. මේ දුබල ආර්ථිකයන් මේ විෂම චක‍්‍රය තුල වට ගණනාවකින් ආපස්සට ඇද දමනු ලැබිනි.

සේවකයා කේන්ද්‍රකොටගත් එලැඹුමක්

සේවකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන සීමාකාරී නෛතික ප‍්‍රතිපාදනයන් නිර්මාණය වන්නේ ඒ ඒ අවස්ථාවල රටේ පැවැති ආර්ථික අර්බුද හේතුවෙන් ඇතිව තිබූ සේවකයින් ඉවත් කිරීමේ ප‍්‍රවණතාවන් ඉදිරියේ සේවකයින් ආරක්‍ෂා කරනු පිණිසය. එබැවින් ආර්ථීක අර්බුදයක් ඉදිරියේ එකී ප‍්‍රතිපාදන ඉවත් කිරීම හෝ ලිහිල් කිරීමට උත්සාහ දැරීම විරුද්ධාභාසයකි. අනෙක් අතට GSP+ අහිමිව තිබූ කාල පරිච්ෙඡ්දය තුල ද කි‍්‍රයාත්මක වූ කර්මාන්තතශාලා එකී සහනය ලැබීමෙන් පසු එහි ප‍්‍රතිලාභය කිසිවිටෙක සේවකයින් වෙත ලබාදීමට කටයුතු කළේ නැත. එවන් තත්ත්වයක තමන්ට වාසිදායක තත්ත්වයන්හිදී කිසිදු ප‍්‍රතිලාභයක් සේවකයින්ට ලබානොදී, තමන්ට අවාසිදායක තත්ත්වයන් නිර්මාණය වූ විට එහි බර සේවකයින් විසින් දැරිය යුතු බවට නඟන තර්ක පිළිගැනීම අසීරුය. නිර්මාණය වෙමින් තිබෙන ආර්ථීක අර්බුදයට මෙරට මුහුණදිය යුතු වන්නේ මේ සියලූ තත්ත්වයන් තුළය. එහිදී ගනු ලබන පියවර අවසාන වශයෙන් මෙරට ආර්ථීකයේ දීර්ඝකාලීන සුභසිද්ධිය කෙරෙහි දිශානත විය යුතුය. එය හුදෙක් මේ මොහොතේ කර්මාන්තකරුවන් මුහුණදෙන ගැටලූවලට දෙන කෙටිකාලීන පිලියමක් නොවිය යුතුය. අත්‍යාවශ්‍යම දෙය වන්නේ ඒ කවර පියවරක වුව කේන්ද්‍රය බවට පත්විය යුත්තේ කම්කරුවා බව අමතක නොකිරීමය.

ඇතිවෙමින් පවත්නා ආර්ථික අර්බුදයට ගනු ලබන පිළියම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ගයි රයිඩර් මෙසේ පැවසීය.

”වර්තමානයේ අප අත්දකින ආකාරයේ අර්බුදයකදී හානිය අවම කරගැනීමත්, නැවත මහජනයාගේ ආත්ම විශ්වාසය ඇති කිරීමත් සඳහා යොදාගත හැකි මෙවලම් දෙකක් ඇත. පළමුවැන්න නම් සේවකයින්, ඔවුන්ගේ සේවා යෝජකයින් හා මේ දෙපිරිසේම නියෝජිතයින් අතර සිදුවන ඵලදායී සමාජ සංවාදයක් ඔස්සේ මෙබඳු අර්බුදයකට මුහුණදීම සඳහා ගනු ලබන පියවර සම්බන්ධයෙන් මහජන විශ්වාසය දිනාගැනීම සහ ඊට මහජන සහය ලබා ගැනීමයි. කල්පවත්නා ලෙස මේ අර්බුදයෙන් ගොඩ ඒමට ගනු ලබන ප‍්‍රතිපත්තිමය ප‍්‍රතිචාරයන්හි පදනම සඳහා ජාත්‍යන්තර කම්කරු ප‍්‍රමිතීන් විසින් විශ්වාසනීය පදනමක් නිර්මාණය කරනු ලබන බව දැනටමත් පරීක්‍ෂාවට ලක්කරනු ලැබ තහවුරුවී ඇති බව පිලිගැනීම දෙවැන්නයි. කි‍්‍රයාවට නංවනු ලබන සෑම පියවරක්ම ගතයුතු වන්නේ මේ අසීරු කාළය තුල ජනතාවට වන හානිය අවම කිරීමේ අරමුණිනි.”

iMage; equitablegrowth

විදුර ප‍්‍රභාත් මුණසිංහ | Vidura Prabath Munasinghe