සිංහල, Eastern Elections, Life quips, Peace and reconciliation

මඩකලපු ඡන්දේ රස කතා

නැගෙනහිර පළාතේ මඩකළපුව නගර සභාව සහා ප්‍රාදේශිය සභා 8ක් සඳහා වූ පළාත් පාලන මැතිවරණයට දින නියම වී තිබේ.එය මාර්තු 10 වැනිඳා පැවැත්වීමට නියමිතය. මේ දිනවල එහි මැතිවරණ උනුසුම ක්‍රමයෙන් නැගෙමින් තිබේ. මැතිවරණයට තරඟ වඳින ප්‍රධාන පාර්ශවයක් වන්නේ ‛‛තමිල් මක්කල් විඩුදලේ පුලිගල්’’ හෙවත්‛ දෙමළ ජනතා විමුක්ති කොටි ’’ (TMVP) සංවිධානයයි. එය එල්ටීටීඊ සංවිධානයෙන් කැඩීගිය කරුණා පාර්ශවයට අයත් එකකි. එය එහි හැඳින්වෙන්නේ ටී.එම්.වී.පී යන කෙටි නමිනි. මේ දිනවල මැතිවරණය සහා එම සංවිධානයේ අපේක්ෂකයින් සම්බන්ධ කතා රැසක් මඩකළපුව ප්‍රදේශයේ ජනතාව අතර තිබේ මේ ඉන් කිහිපයකි.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්වෙද්දී ටී.එම්.වී.පී සංවිධානයට සිවිල් ජනතාව අතර පුළුල් දේශපාලන සංවිධානයක් තිබුණේ නැත. ඒනිසා ඔවුනට මැතිවරණයකට තරග කිරීම සඳහා දේශපාලන සංවිධානයක් හදා ගැනීමට සිදුවිය. ඔවුන් එහිදි මුලින්ම මඩකළපුව නගර සභාව සඳහා පොදු කණ්ඩායමක් ලෙස තරගයට ඉදිරිපත්වීමට ඊ.පී.ආර්.එල්.එෆ්. ඊ.පී.ඩී.පී සහා ප්ලොට් සංවිධාන සමග සාකච්ඡා ආරම්භ කළහ. සාකච්ඡාවල දෙවැනි වටයට ටී.එමි.වී.පී ය ආවේ නැත. ඒ වනවිට ඔවුන් ආණ්ඩුව සමග එක්ව එක්සත් ජනතා නිදහස් සංධානය ලෙස තරඟ කිරීමට සන්ධානයක් හදාගත්හ. එම සන්ධානයයේ ලැයිස්තුවේ ටී.එම්.වී.පී යට බැහැරින් සිටින්නේ එකම එක අපේක්ෂකයෙකු පමණය.ඒ මන්දැයි විමසූ කල ටී.එම්.වී.පී නායකත්වය කීවේ ලැයිස්තුවට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පස් දෙනෙකු ඉල්ලා සිටියත් එවැනි පස්දෙනෙකු දෙන්නට ඔවුන් අසමත් වු බවයි. පස් දෙනෙකු නැතිනම් අඩුතරමේ තුන්දෙනෙකු වත් දෙන්නැයි ඉල්ලා සිටියද නාමයෝජනා භාර දෙන දවස වනවිට ලැබුනේ එක්කෙනෙකු පමණත් බවයි. එක්සත් ජනතා නිදහස් සංධානයේ බුලත්‛ කොළය ලකුණින් තරඟ කළද ඇත්තෙන්ම එම ලැයිස්තුවේ එ.ජ.නි.ස පාක්ෂිකයෙකු සිටින්නේ එක් අයෙක් පමණය.

ටී.එම්.වී.පී ලැයිස්තුවට අපේක්ෂකයන් සොයාගත් හැටි ගැනද කතා තිබේ. කවදා හෝ දවසක ද්‍රවිඩ සන්ධානයෙන් මැතිවරණයටකට තරඟ කළ අය සිටින්නේ නම් ‛‛ ඒකෙන් ඉල්ලන්න පුළුවන් නම් මේකෙන් බැරි ඇයි දැයි ’’ කියා බලහත්කාරයෙන් ලැයිස්තුවට නම දමාගත් අය රැසක් එම ලැයිස්තුවෙන් තරඟ වැද සිටිතැයි මඩකළපුවේ බොහෝ දෙනෙකු කියති.

එත් මදි වු කළ ලැයිස්තුවට නම දමා ඇති එක් අපේක්ෂකයකු ප්‍රදේශයේ බුලත් විට වෙළදාම් කළ අයෙකු බවත් ඔහු දන්නා දේශපාලනයක් නැති බවත් ටී.එම්.වී.පී යට විපක්ෂ වුවෙක් චෝදනා මුඛයෙන් කියති. දේශපාලනය නොදන්නවාට ඒ අපේක්ෂකයාගේ ජීවනෝපාය ඡන්ද ලකුණකට කෙළින්ම සම්බන්ධ නිසා ඔහුට එම ලැයිස්තුවේ අන් හැමට වඩා උරුමයක් ඇතුවාට සැකයක් නැත.
අපේක්ෂයන්ගේ ආරක්ෂාවට පොලිස් නිළධාරීන් දෙදෙනා බැගින් සපයා දී තිබේ. ඒ අනුව අපේක්ෂකයන් යන එන හැම තැනම පොලිස් නිළධාරීන්ටද යන්නට සිදුවී තිබේ. ධීවර කර්මාන්තයේ යෙදෙන අපේක්ෂයකු කළපුවේ මාළු බාද්දී ඒ අසල රැකගෙන සිටින්නට පොලිස් නිළධාරීන් දෙදෙනාට සිදුවු කතාවක්ද මඩකළපු ජනයා කියති.

කසිප්පු පානයට ලොල් වු එක් අපේක්ෂකයෙකු මේ පොලිස් නිළධාරීන් නිසා බලවත් අපහසු තාවයට පත්ව සිටියි. පුරුද්දට හොර පොළක කසිප්පු බීමට යන ඔහු කැටුව එන පොලිස් නිළධාරීන් දෙන්නා නිසා ඔහුට කසිප්පු නොලැබේ. ඒ මදිවාට පොලිස් නිළධාරින් දුටු වහාම කසිප්පු විකුණන්නන් තිප්පොළ අතහැර පළායති. මේ නිසා බලවත් සිත් තැවුලට පත් අපේක්ෂකයා දින තුනක්ම මේ අබග්ගය ඉවසාගෙන සිට බැරිම තැන හතර වරනි දවසේ පොලීසියට ගියේ වස කුප්පියක්ද රැගෙනයි. පොලිසියේ ප්‍රධානියා හමුවු ඔහු ඉල්ලා සිටියේ ආරක්ෂාවට දී තිබෙන රැකවලුන් ඉවත් නොකරන්නේ නම් එය පානය කොට සිය දිවි නසාගන්නා බවය.
මෙවැනි රස කතා රාශියක් මඩකලපුවේ තිබේ. ඡන්දය කිට්ටු වන විට රස කතා මෙන්ම බය හිතෙන කතාද මඩකලපුව පැත්තෙන් අහන්නට ලැබෙනු ඇත.

රවී චන්ද්‍රලාල්