සිංහල, Colombo, Media

ෂාන් වික්‍රමසිංහගේ නව මාධ්‍ය කලාව

පුරවැසි මාධ්‍යකරුවෙකුගේ සටහන්..

සුනන්ද දේශප්‍රිය

ටී.එන්.එල් රූපවාහිනිය පොහොයක් නොවරදවා බණ විකාශනය කරන සංස්කෘතිය ගැන ද, බණ කියන රූපවාහිනී සේවාවකි. දැන් කළක සිට එහි ඇති විශේෂාංගයක් නම් එහි හිමිකරු වන ෂාන් වික්‍රමසිංහ සහ එහි ගුවන් විදුලි සේවාවේ අධ්‍යක්ෂ වන හඩ්සන් සමරසිංහ අතර කැරෙන උදෑසන සංවාදය යි. හිමිකරු විසින්ම වැඩ සටහන් මෙහෙයවන ශ්‍රී ලංකාවේ දෙවන නාලිකාව මෙයයි.

යහපත් ජනමාධ්‍ය ලක්ෂණයක් වන හිමිකාරත්වය සහ ජනමාධ්‍ය භාවිතය අතර තිබිය යුතු ස්වාධීනත්වය මෙවැනි වැඩ සටහන් මගින් සහමුලින්ම නැතිකර දමනු ලැබේ. සංස්කරණ නිදහස පිලිබඳ සංකල්පය ජනමාධ්‍ය නිදහසේ අත්‍යාවශය ලක්ෂණයකි.

තව ද ටී.එන්.එල් රූපවාහිනිය යනු මතවාදි වශයෙන් සිංහළ බෞද්ධ ජාතිකවාදය ද දේශපාලනමය වශයෙන් ෂාන් වික්‍රමසිංහගේ සහෝදරයා වන රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයට ද බර නාලිකාවකි.

මෙම සංවාදයේ බස තුප්පහි ය. වෛර සහගත ය. කිසිදු මාධ්‍ය ආචාර ධර්මයකට නොගැලපේ. මේ පසුගිය දිනෙක මේ මහත්වරුන් දෙදෙනා අතර වූ සංවාදයකි. සංවාදයේ මැය වූයේ වෛශ්‍යාවන් ලෙස හැසිරුනු එල්.ටී.ටී.ඊ සමාජිකාවන් යැයි සැක කරන කාන්තාවන් පිරිසක් අත් අඩංගුවට ගත් බවට පළ වූ පුවතකි.

හඩ්සන් සමරසිංහ – ඔය කාන්තාවො, මං නිකං අතුරු ප්‍රශ්නයක් අහන්නෙ, මං අහන්නෙ ඉතිං ඔය කට්ටිය ලස්සනද?

ෂාන් වික්‍රමසිංහ – ඔය මිනිස්සුන්ට ඉතිං අඩියක් ගැහුවම එච්චර ලස්සන ඕන නෑනෙ

හඩ්සන් සමරසිංහ – පාරෙ යන පඩංගුවක් තිබුනාම ඇතිනෙ

ෂාන් වික්‍රමසිංහ – ඉතිං කොට්ටෙකින් මූන වහ ගත්තාම හරිනෙ

අවලස්සන වෛශ්‍යාවක් සමග ලිංගිකව හැසිරීමට නම් කළ යුත්තේ කොට්ටයකින් මූණ වසා ගැනීම බවට ප්‍රසිද්ධියේ උපදෙස් දෙන්නේ ෂාන් වික්‍රමසිංහ ය.

මෙම වැඩ සටහන තරම් ජනමාධ්‍ය ආචාර ධර්ම කෙළෙසන අන් රූපවාහිනී වැඩ සටහනක් අද ලංකාවේ නැත.

පසුගිය දිනෙක හඩ්සන් සමරසිංහ කීවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යනු එල්ටීටීඊ සංවිධානය සමඟ සම්බන්ධතා ඇති සංවිධානයක් බව යි. ( එය සනාත කල හැකි සාක්ෂි ඉදිරිපත් කිරිමට හඩ්සන් සමරසිංහට හෝ ෂාන් වික්‍රමසිංහට හැකි නම් ඒ පිළිබදව වැඩ සටහනක් සුදානම් කරන්න)

මෙම චෝදනාව සඳහා ඔහු නිමිත්ත කර ගත්තේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ භාණ්ඩාගාරික වෙත ලැබීඇති තර්ජනාත්මක දුර කථන ඇමැතුම් ගණනාවකි. එම දුර කථන ඇමැතුම් මගින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක් නොගෙවුවහොත් ඔහු පැහැර ගෙන යන බවට තර්ජනය කර තිබුණි. මෙම පුවත් නිමිත්ත කර හඩ්සන් සමරසිංහ කලේ ජනමාධ්‍යවේදියකු වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ භාණ්ඩාගාරිකවරයා හෙලා දකින සුළු ප්‍රකාශයකි.

ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක මුරපල්ලාගේ භුමිකාව ඉටු කරන ජනමාධ්‍යක් කල යුත්තේ එවැනි තර්ජනයක් එල්ල වී ඇත්ද නැත්ද කියා විමසීමත් ඒ පිලිබඳ පොලිස් පරීක්ෂන හරියාකාරව සිදුවන්නේ ද නැත් ද යන්න විමසීමත් ය. ඒ වෙනුවට හඩ්සන් සමරසිංහ කළේ සිය ජීවිතයේ ලක්ෂනය වන බොරු ඇද බෑම ය.


මෙම වැඩ සටහන මගින් රටෙහි පුරවැසියන්ට කැරෙන අවලාද නිමක් නැත. හුදු පුවත්පත් වාර්තා සත්‍ය ලෙස සළකා ගනිමින් කරන ලද අවලාද සහ අසංස්කෘතික බස පෙන්වන උදාරණයක් දෙකක් මෙසේ ය:

“කාර්වලින් එන පාහරයො කරන පාහර වැඩ , කාළකන්නි මිනිස්සු”

“මෙන්න මේ වඳුරා තමයි , ජන ජීවිතයට හානියක්”

“මළහත් ඉලව්වේ ඇමැතිවරයෙක් පත් කරේ ඔය කෙහෙල්මල කියන්න ද?”

“කරුණාකර ජීවිත බේරා ගන්න ඕනෑ නම් මේ කාලකන්නි මංත්‍රිවරයා ගැන ප්‍රවේසමෙන් ඉන්න”

“මේ ජඩයෝ එක රුපියලකින්වත් තෙල් මිල අඩු කලේ නැහැ”

“රටේ මාධ්‍යවල හරක් මොනවද කරන්නෙ”

“සංස්කෘතිය පට්ට ගහන මේ කාලකන්නි ගෑනු ටික”

….. කියන හොරා…”