සිංහල, Colombo, Democracy, Media

පුරවැසි ජනමාධ්‍යකරුවකුගේ සටහන් – පිල්ලෙයාන්

සුනන්ද දේශප්‍රිය

රනිල් වික්‍රමසිංහට අනුව පිල්ලෙයාන් තවමත් ත්‍රස්තවාදියෙකි. පසුගිය බදාදා කොළඹ කොටුවේදී දස දෙනෙකුට පමණ මරුකැඳවමින් සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාරයට පිල්ලෙයාන් පක්ෂය සම්බන්ධ බවට. ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ ඇඟවූයේ, මෙම ප්‍රහාරයට පිල්ලෙයාන් සම්බන්ධ නිසා, ආණ්ඩුව එම පරීක්‍ෂණය යටපත් කිරීමට උත්සහා කරන බවයි.
රජයේ ආරක්‍ෂ අංශ යන නිර්නාමික මූලාශ්‍රය ඇතිව ප්‍රවෘත්ති වෙනුවට කතාන්තර ලියන ජනමාධ්‍යකරුවන්ට අනුව එම මරාගෙන මැරෙන බෝම්බකරුගේ ඉලක්කය මහ ඇමැති පිල්ලෙයාන් ය. එම පුවත සති අන්ත පුවත්පත් හි ශීර්ෂ පාඨ බවට පැමිණුනි.
ඉංග්‍රිසි පුවත්පත් හි පළවූ තවත් වාර්තාවකට අනුව මෙම බෝම්බකරු පිල්ලෙයාන් පාර්ශවයට රිංගාගත් එල්.ටී.ටී.ඊ. ඔත්තුකරුවෙකි. බෝම්බය ඇටවූ යතුරුපැදිය කොළඹට ගෙන එන ලද්දේ ද පිල්ලෙයාන් පාර්ශවයේ සහාය ඇතිවය. පිල්ලෙයාන් පක්‍ෂය වන ටී.එම්.වී.පී. ය තුළ මෙයට පෙරද එල්.ටී.ටී.ඊ. ඔත්තුකරුවන් ක්‍රියාත්මක වූ බවට පෙන්වා දෙන මෙම වාර්තාව කියන්නේද මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයේ ඉලක්කය පිල්ලෙයාන් වූ බවයි.
රනිල් වික්‍රමසිංහ මෙන්ම අනෙක් පුවත්පත් වාර්තාද එක් සත්‍ය කරුණක් මත පදනම් වී සිටී. එනම් කොටුව බෝම්බයේ යතුරු පැදිය ද මරාගෙන මැරෙන බෝම්බකරුද පිල්ලෙයාන් පාර්ශවයට සම්බන්දයක් තිබූ බවයි.
එවැනි මරාගෙන මැරෙන බෝම්බකරුවකු එනම් ටී.එම්.වී.පී. ය තුළට රිංගා සිටි බව කියන එල්.ටී.ටී.ඊ. සටන්කරුවකු මහ ඇමැති පිල්ලෙයාන් මරා දැමීමට තෝරාගනු ඇත්තේ අවිශ්වාසදායක කොළඹ පරිසරයක් ද? තව කලක් ටී.එම්.වී.පී. ය තුළ රැඳී සිට වඩා විශ්වාසවන්ත පරිසරයකදී ප්‍රහාරය කළ නොහැකිව තිබුණද? ජනමාධ්‍ය විසින් තමන්ගෙන්ම අසාගත යුතු වූ ප්‍රශ්නය එයයි.
රනිල් වික්‍රමසිංහ අසාගත යුතු ප්‍රශ්නය වූයේ, ටී.එම්.වී.පී. ය, මෙවැනි ප්‍රහාරයක් එල්ල කරන්නේ නම් ඒ සඳහා තම සංවිධානයට අදාළ බව සනාථ වන යතුරු පැදියක් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදා ගනු ඇත්ද යන්නයි. මහ ඇමැති වශයෙන් දිව්රුම් දෙන දවසේදී, පොලීසියට එරෙහිව එවැනි ප්‍රහාරයක් කිරීමට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් නියෝග කරනු ඇත්දැයි යන්න පිළිගැනීමට දූෂ්කරය.
කණගාටුවකට මෙන් මහ ඇමැති පිල්ලෙයාන් වීරයකු කිරීමට තහවුරු නොවූ ශීර්ෂ පාඨ ලියූ පුවත්පත්ද (එම පුවත්පත් සමාගම් හි ඉංග්‍රිසි පුවත්පත්, එවැනි වාර්තාවක් පළ කළේම නැත) මෙම ප්‍රහාරය පිල්ලෙයාන් මත පටවා ලාභ දේශපාලන වාසියක් ගැනීමට උත්සහා කළ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ ද පාඨකයින් සහ පුරවැසියන් තමන් ලියන කියන ඕනෑම බේගලයක් පිළිගන්නේ යැයි සිතා සිටිනවා විය යුතුය. මේ වනාහී මෙරට දේශපාලන සහ ජනමාධ්‍ය දුරාචාරයේ ඛේදවාචකය යි.
ඇත්ත වශයෙන්ම නම් ජනමාධ්‍ය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී විපක්‍ෂයක් විසින් විමසා බැලිය යුතු තීරණාත්මක වැදගත්කමකින් යුතු ප්‍රශ්නයක් ටී.එම්.වී.පී. ය නැගෙනහිර පළාත් සභාවේ බලය අල්ලා ගැනීමෙන් පසු මතුව තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට, තමන්ට සන්නද්ධ හමුදාවක් සිටින බව පිළිගන්නා යුද – දේශපාලන ව්‍යාපාරයක් පළාත් සභාවක බලයට පත්වීමයි. තමන් ආයුධ සන්නද්ධ බවත් උතුරෙහිදී එල්.ටී.ටී.ඊ. ය පරාජය කරන තුරු තමන් ආයුධ අත් නොහරින බවත් මහ ඇමැති පිල්ලෙයාන් බී.බී.සී. ගුවන් විදුලිය හරහා ලොවටම කියා සිටියේය.
ටී.එම්.වී.පී. ය සතුව අඩුම වශයෙන් කඳවුරු දුසිමක් පමණද දහසකට ආසන්න සන්නද්ධ හමුදාවක් ද තිබේ. මේ සන්නද්ධ පිරිස් එල්.ටී.ටී.ඊ. විරෝධී යුද මෙහෙයුම් හිදී යුද හමුදාව සමඟ එක්ව කටයුතු කරති. ඒවායේ කඳවුරු පරීක්‍ෂා කිරීමට වෙනත් කිසිදු ආයතනයකට අවසර ලැබී නැත. පළාත් සභා මැතිවරණයෙන් පසු ටී.එම්.වී.පී. සටන්කරුවකු වාකරේදී සිය ඉනෙහි සඟවාගෙන යමින් සිටි බෝම්බයක් පිපිරී, මිය ගිය බව පුවත්පත් වාර්තා කළේය. කවරකු විසින් කළේ දැයි නිශ්චිත නැති පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා නැගෙනහිර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය වී තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාට අනුව නම් ඉන් එක් ඝාතනයකට ටී.එම්.වී.පී. ය සම්බන්ධය.
ටී.එම්.වී.පී. ය යළි කැළයට යැවීම අප කවරකුටවත් වාසියක් ලබා දෙන්නේ නැත. පිල්ලෙයාන් මෙන්ම ටී.එම්.වී.පී. ය ද ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගෙන ඒම, මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන රටාවෙහි වගකීමකි, අභියෝගයකි.
පිල්ලෙයාන් බලයට පත්කිරීමේ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් නැගෙනහිර ස්ථාපිත කිරීම නම්, දැන් සිටම කළ යුත්තේ ඔහුගේ හමුදාව රජයේ හමුදාවෙහි අනුබණ්ඩයක් බවට පත් කිරීම ය. එමගින් කවරහෝ විනයකට සහ වග වීමකට මෙම සන්නද්ධ පිරිස් ගෙන ඒමය. එසේ සිදු නොවන්නේ නම්, මහ ඇමැති පිල්ලෙයාන් ආණ්ඩුවේ විනයට යටත් නැති සන්නද්ධ හමුදාවක් සිටින එකම සුවිශේෂී මහ ඇමැති බවට පත්වනු ඇත. එවැනි තත්ත්වයකදී නැගෙනහිර ඇතිවනු ඇත්තේ විපක්‍ෂ දේශපාලනයට ඉඩක් නැති ප්‍රජාතන්ත්‍රවාදී නොවන යුද දේශපාලන ඒකාධිපතිත්වයකි.
එල්.ටී.ටී.ඊ. ය පරාජය කිරීම පිණිස ආයුධ සන්නද්ධව සිටීම අත්‍යවශ්‍ය යැයි සිතන්නේ නම් පිල්ලෙයාන් සහ ටී.එම්.වී.පී. ය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එළඹෙන්නේ නැතිව, සමාන්තර හමුදාවක් වශයෙන් සිටිය යුතුව තිබුණි.
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ශක්තිමත් කිරීමට තමන්ට අවශ්‍ය නම් සිය හමුදාව පිල්ලෙයාන් රජයට බාරදිය යුතුය. සමාන්තර සන්නද්ධ හමුදාවක් පවත්වා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් කළ නොහැක. මන්දයත් කටපුංචාගේ බලය මිනීමැරීම වත අතර ප්‍රජාතන්ත්‍රවාදයේ බලය සංවාදය සහ විසංවාදය නිසාය.
පිල්ලෙයාන් මහ ඇමැති සිය ආයුධ අත නොහරින තුරු, දේශපාලන ඝාතන, බෝම්බ ප්‍රහාර, කප්පම් ගැනීම් යනාදිය සම්බන්ධ චෝදනාවන්ගෙන් ටී.එම්.වී.පී. යට ගැලවෙන්නට නොහැක. නැගෙනහිර අද සිදුවන ක්‍රියාවළිය පිළිබඳ අවංක සිතින් සොයා බලන ඕනෑම අයකු, මේ චෝදනා එකවර බැහැර කළ නොහැකි බව පිළිගන්නවා ඇත. බිය ජනක යථාර්තය එයයි.