සිංහල, Democracy, Eastern Elections, Media

පුරවැසිමාධ්‍යකරුවකුගේ සටහන් – ඡන්දයට පෙර ජනමාධ්‍ය

සුනන්ද දේශප්‍රිය

රාජ්‍ය මාධ්‍ය යනු බලයට පත් වන දේශපාලන පක්ෂයට අයත් වන දේපලක් නොවේ. ස්වාධීන සංස්කරණ පිළිවෙතක් ඇතිව පවත්වාගෙන යා යුතු මහජන සේවා ජනමාධ්‍ය ආයතනයන් ය. ඒබව පිළි නොගත් දේශපාලන පක්ෂක් නැති තරම් ය. විශේෂයෙන්ම මැතිවරණ සමයේ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය ස්වාධීන අපක්ෂපාති වාර්තාකරණයක යෙදිය යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ද යළි යළි තහවුරු කරන ලද කාරණයකි.

පසුගිය නැගෙනහිර පලාත්පාලන මැතිවරණ සමයේ රාජ්‍ය මුද්‍රිත මාධ්‍ය හැසිරීම මෙසේ විය:

දිනමිණ
පොදුජන එක්සත් පෙරමුණට වාසිදායක වාර්තාකරණය 100% වන අතර අවාසිදායක වාර්තාකරණය ප්‍රතිශතය 5% කි.
එක්සත් ජාතික පක්ෂයට වාසිදායක වාර්තාකරණක් නොමැති අතර එම පක්‍ෂයට අවාසිසහගත වාර්තාකරණය ප්‍රතිශතය 95%කි.
ජනතා විමුක්ති පෙරමුණට හෝ වෙනත් පක්‍ෂ සහ කණ්ඩායම් සඳහා වාසිදායක හෝ අවාසිදායක නොවන වාර්තාකරණ නොමැත.

ඩේලිනිව්ස්
පොදුජන එක්සත් පෙරමුණට වාසිසහගත පුවත් ප්‍රතිශතය 100%කි. අවාසිදායක වාර්තාකරණ කිසිවක් වාර්තාකර නොමැත.
එක්සත් ජාතික පක්ෂයට වාසිදායක පුවත් කිසිවක් නොමැති අතර අවාසිදායක වාර්තාකරණය 100%කි.
ජනතා විමුක්ති පෙරමුණට හෝ වෙනත් පක්‍ෂ සඳහා වාසිසහගත හෝ නොවන වාර්තාකරණ නොමැත.

තිනකරන්
පොදුජන එක්සත් පෙරමුණට වාසිසහගත පුවත් ප්‍රතිශතය 100%ක් වන අතර අවාසිදායක වාර්තාකරණ නොමැත.
එක්සත් ජාතික පක්ෂයට වාසිදායක පුවත් කිසිවක් නොමැති අතර අවාසි සහගත වාර්තාකරණ ප්‍රතිශතය 100%කි.
ජනතා විමුක්ති පෙරමුණට සහ අනෙකුත් පක්‍ෂ සඳහා වාසිදායක හෝ අවාසිදායක පුවත් කිසිවක් නොමැත.

රජයේ විද්‍යුත් නාලිකාවන්හි එනම් රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා වාර්තාකරණය ද ඒ හා සමාන විය.

මෙම වාර්තාකරණය දෙස හරයාත්මක ලෙස බැලූ විට පෙනෙන්නේ සනාථ කළ නොහැකි අවලාද සහ බොරු ප්‍රචාර ඒ තුළ පිරී ඇති බව යි. මෙම අත්‍යන්තයෙන්ම පක්ෂපාති වාර්තාකරණය තුළ කිසිදු ජනමාධ්‍ය ආචාර ධර්මයක් තිබුනේ නැත.

මෙම තත්ත්වය අපට පෙන්වන්නේ මෙරට නීතියේ පාලනය කොතරම් බිඳවැටී ඇත්ද යන්න ය. මෙලෙස රාජ්‍ය දේපල මැතිවරණ ක්‍රියාදාමය සඳහා අනිසි ලෙස යොදා ගැනීම සිදු වූයේ ඉන්දියාවේ දි නම් මෙම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් සිර ගෙට යැවීමට තරම් ඉදන්දීය මැතිවරණ කොමිසම කටයුතු කරන්නට ඉඩ තිබුණි. අපේ මැතිවරණ කොමසාරිස්වරයාට එක්කෝ නීතියේ දත් නැත. නැත්නම් තිබෙන බලතල පාවිච්චි කල හැකි දේශපාලන පරිසරයක් නැත.

එලඹෙන පළාත්පාලන මැතිවරණ දෙක සම්බන්ධයෙන් ද රාජ්‍ය පාලිත ජනමාධ්‍ය කරනු ඇත්තේ බලයේ සිටින ආණ්ඩුව යළි බලයට පත් කිරිම පිණිස අගතිගාමී සහ ව්‍යාජ කරුනු මත ප්‍රචාරයක් ගෙනයෑම ය. එම තත්ත්වය වෙනස් කිරිමට අවශ්‍ය දේශපාලන හෝ සමාජ බලවේගයක් සිටී ද? අඩුම වශයෙන් අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනිමට වත්?

අපේ මහින්ද

ප්‍රජාතන්ත්‍රවාදි සහ මානව හිමිකම් සහිත ශ්‍රී ලාංකික සමාජයක් සඳහා බලවේගයන්හි මිතුරකු වූ මහින්ද රාජපක්ෂ මහතාගේ වැදගත් කියමනක් පසුගිය සති ඉරුදින පුවත්පතෙහි ලියා තිබුනි. නොදුටු අයගේ දැන ගැනිම පිණිස ඒ කොටස යළි ලියා තබමි.

“එදා අපට චෝදනා කළා කොටින්ට උදව් දෙනවාය කියා…අපි මානව හිමිකම් කොමිටියට ගොස් කිව්වේ රටේ මානව අයිතතීන් සුරකින්න ය කියායි. අපි ආධාර දෙන රටවලින් ඇහුවා – ඇයි බැරි ආධාර දෙන ගමන් බොලාට මේ රටේ මානව අයිතිය පිලිබඳ කොන්දේසියක් පනවන්න- අන්න ඒ ඉල්ලිමයි අපි කලේ . අද ඒ ඉල්ලිම ඉටු කර තිබෙනවා. මම කියනවා මේ ආන්ඩුව මානව අයිතිය නැති කරන්න යනවා නම් ජීනිවා වලට නොවෙයි ලෝකයේ ඕනෑම තැනකට එහෙම නැත්නම් නරකාදියට හෝ ගොස් මේ ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කරන බව. ඒ අයිතින් ලබා ගැනීම සඳහා කියන්න තිබෙන ඕනැම තැනකට යන්න තිබෙන අයිතිය උදුරා ගන්න දෙන්නේ නැහැ.”