සිංහල, Colombo, Democracy

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් – අපි කීකරු ගෘහ සේවකයෝ

සුනන්ද දේශප්‍රිය

දෙසතියකට පෙර ලංකා සංචාරක මණ්ඩලය ඉංග්‍රිසි පුවත්පත්හි දැන්විමක් පල කළේ ය. ඒ වයස්ගත විදේශිකයින් පදිංචිය පිණිස මෙරටට ගෙන්වා ගැනීමට ය. ඒ සඳහා වීසා ලබා ගැනිමට නම් කළ යුත්තේ ඩොලර් 15,000 ක ස්ථිර තැන්පතුවක් මෙරට බැංකුවක තැන්පත් කිරිම ය. මසකට ඩොලර් 1500 ක් මෙරට දී වැය කිරීම ය.

මේ සඳහා අනුබල සේ කරුණු ගණනාවක් එම දැන්වීමේ දක්වා තිබුනි. ඉන් එකක් නම් මෙරට ජීවත්වීමට පැමිනීමෙන් කීකරු දක්ෂ ගෘහ සේවකයින් ලබා ගැනිමට අවස්තාව පෑදෙන බව ය.

ආණ්ඩුව වැටී සිටින විදේශ විනිමය අමාරුකම පෙන්වීමට අටුවා ලිවීම අවශය නැත. ඒ සඳහා දැන් ජාතිය ද විකිණේ.

චන්ද්‍රිකාගේ ඉංග්‍රීසි පන්තිය

චන්ද්‍රීකා බණ්ඩාරනායක ආණ්ඩුවේ කළ එක් හොද දෙයක් වුයේ බමුනු කුළයට සිමා වි තිබූ ඉංග්‍රිසි මාධ්‍ය අධ්‍යාපනය සාමාන්‍ය පාසැල් වලට ද හඳුන්වා දීම යි. සුපිරි නොවූ පාසැළක අධ්‍යපනය ලද මගේ දියණයක ද එම පහසුකම යටතේ හය වසරේ සිට අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රිසි මාධ්‍යයෙනි.

සහමුලින්ම සිංහල කතා කරන ගෙදර පරිසරය තිබූ ඇය මෙන්ම ඇගේ බොහෝ මිතුරු මිතුරියන් ද ඉංග්‍රිසි බසින් සාමන්‍ය පෙළ ලියා උසස් ලෙස සමත් වූහ. ඉංග්‍රිසි බස සබකෝලයක් නැතිව හැසිරවීමට ද ඔව්හු ඉගෙන ගත්හ. ඒ ඇත්ත වශයෙන්ම නම් ප්‍රමාණවත් ගුැවර ගුරුවරියන් ද නොමැති තත්ත්වයන් ද යටතේ ය.

නමුත් කණගාටුවකට මෙන් ඔවුන්ගෙන් සියයට 80ක් පමණම උසස් පෙළ හැදැරීමට තෝරා ගත්තේ සිංහළ මාධ්‍ය යි. ඒ සරසවි වරම් ලැබීම අනෙකා පාගා ඉහලට නැගීම උගන්වන තරමේ මාරක තරඟයක් නිසා ය.

දැන් මේ ආණ්ඩුව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමේ පහසුකම අහෝසිකර තිබේ. ඉංග්‍රිසි මාධ්‍ය පංති කියා දෙයක් නැති වනු ඇත. මේ වසරේ සිට සිංහළ මාධ්‍ය පන්තියේ සිට අවශ්‍යම නම් ඉංග්‍රිසි බසින් විෂයන් දෙකක් පමණක් ඉගෙනීමට අවස්ථාව සැළසේ.

වඩා පහසුකම් ලබා දී දියණු කළ යුතුව තිබූ ආරම්භයක් දැන් අවසාන ය. ඉංග්‍රිසියෙන් ඉගෙනීම දැන් යලිත් පුද්ගලික පාසැල් වලට දරුවන් යැවිය හැකි ඉහළ පංතීන්ට පමණක් අයත් වරප්‍රසාදයක් බවට පත් වෙයි.

අද ශ්‍රී ලංකාවෙහි රැකියා වෙළද පොළ මුහුණ දී සිටින ප්‍රධානතම ප්‍රශ්නයක් වන්නේ ඉංග්‍රිසියෙන් වැඩ කල හැකි පිරිස් නැතිකම ය. තොරතුරු තාක්ෂණය යුගයේ මූලික අවශ්‍යතාවයක් වන්නේ එයයි. ඉන්දියාව, පකිස්තානය, නේපාලය සහ මාලදිවයින යන අපේ සියළු අසල් වැසි රටවල ඉංග්‍රිසි බසින් ඉගෙනීම කළ හැකි පාසැල් සුලබ ය. අප පමණක් අනාගතය වෙනුවට ආපස්සට ගමන් කරමු.

ජානක පෙරේරා සහ නන්ද මල්ලවාරච්චි
රජරට ඡන්දයට එජාපයෙන් හිටපු හමුදා සෙන්පතිවරයකු වන ජානක පෙරේරා. ඊට පිළිතුරු වශයෙන් ආණ්ඩු පක්ෂය සති අන්ත පුවත්පත් වාර්තාවන්ට අනුව උත්සාහ කළේ තවත් හිටපු සෙන්පතිවරයකු වන නන්ද මල්ලමාරච්චි. ඊට අමතරව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු ද පළාත් සභා ජන්දයට නාම යෝජනා ලැයිස්තු වලට ඇතුලත් කිරීමට සළකා බැලෙන බව පුවත්පත්හි සදහන් විය. පසුගිය නැගෙනහිර මැතිවරණයේ දී මඩකළපුවේ එජාප ඡන්දය බාරව සිටියේ හිටපු පොලිස්පතිවරයකු වන චන්ද්‍රා ප්‍රනාන්දු ය.

ශ්‍රී ලංකාවේ යුද හමුදාව දේශපාලනමය පක්ෂපාතීකම් අනුව බෙදී ගිය එකක් බවට කැරෙන චෝදනා මෙ මගින් යම් දුරකට සනාථ වෙයි. ඊටත් වඩා මෙ මගින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවෙහි දේශපාලනය තුලට මිලිටරි පසුබිමකින් යුත් පුද්ගලයින් අවතීර්ණ විමයි. යුද නිලධාරීන් මෙයට පෙර ශ්‍රී ලංකාවෙහි දේශපාලනය තුළ මෙවැනි කාර්‍යයන්ට අත ගසා නැත.

මෙම ප්‍රවනතාවය ඉදිරියට ම ගොස් බෞද්ධ භික්ෂුන්ගේ පක්ෂයක් බිහි වූ පරිදි හිටපු යුද ප්‍රධානීන්ගේ පක්ෂක් බිහිනොවනු ඇතැයි කිව හැක්කේ කාටද? ඊට අවශය වනු ඇත්තේ තවත් චම්පික රණවක කෙනෙකු පමණක්ද?.