සිංහල, Colombo, Gender, Human Rights

“මීනා” කියෙව්වද?

“ආසියාවේ, අප්‍රිකාවේ, ඇමරිකාවේ
ගැහැණියක නැඟී සිටියි නම් තම අයිතිය ඉල්ලා
රාවා රකින විට කිසියම් ස්ත්‍රියකගේ අයිතිය
පැමිණෙන විට දැරියක් රාවා පාසැලකට
ගැහැණුන් නැඟී සිටින ඕනෑම තැනක
මීනා පියමනියි, අප අසළින් ’’

2002 පෙබරවාරි 04 වෙනි දින මීනාගේ පහළොස් වැනි ගුණ සමරුව උදෙසා පකිස්ථානයේ පෙෂාවෝර්හි ශාලාවකට රැස් වූ සිය ගණනක් ස්ත්‍රීන් අතරින් ඉන්දියානු – ඇමරිකානු කිවිඳියක වූ නීෂා මර්චන්ද්‍රානි විසින් එම අවස්ථාව සඳහා ලියන ලද කවියක කොටසකි ඒ.

මා පහුගියදා “මීනා” කියවා අවසන් කළේ එක හුස්මටය. එය ඇෆ්ගන් ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවිපිදු වීරවරියකගේ සත්‍ය කතාවයි. මෙලඩි එමඩයිල්ඩ් ඩාවිස් විසින් රචනා කරන ලද එය සිංහලට පරිවර්ථනය කර තිබුණේ ප්‍රභා මනුරත්න විසිනි. එය වයස් භේදයක් නොතකා සෑම ස්ත්‍රියක් විසින්ම කියවිය යුතු පොතකි.

එපමණක්ද නොවේ. ඇය විසින් ගොඩ නඟන ලද “රාවා” (Revolutionary Association of the Women of Afghanistan)වැනි සංවිධාන ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් අරගල කරන සෑම ගැහැණියකගේම මිනිහෙකුගේම ආලෝකයක් විය යුතුය.
එපමණකුත් නොවේ. හදිසි පණිවිඩයක් ලැබී මීනා තම රියැදුරු සහ ආරක්‍ෂකයෙකු සමඟ කලබලයෙන් ගියේ කිසියම් ස්ත්‍රියක් මුණ ගැසීමටය. එසේ ගිය ඇය යළි ආපසු නොආවාය. මීනා අතුරුදහන් වී හය මසකට පසු පාකිස්ථාන පුවත්පත්වල මීනාගේ ඝාතනය ගැන මෙසේ සඳහන් විය. “ඇෆ්ගනිස්ථානයේ සිට පකිස්ථානය කරා දේශසීමාව හරහා රථයක් පදවාගෙන පැමිණි මිනිසුන් දෙදෙනෙකුව නතර කරන ලදී. ඔවුන්ගේ රථය පරීක්‍ෂා කරනවිට එහි තිබී පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. ඔවුන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනවිට, ඔවුන්ට වධ දෙනවිට, ඔවුන් විසින් පුද්ගලයන් තිදෙනෙකුව ඝාතනය කරන ලද බව පාපොච්චාරණය කරනු ලැබ තිබුණි. ඒ පුද්ගලයන් තිදෙනා නම් රාවා හි අතුරුදහන් වූ පිරිමි ආධාරකරුවන් දෙදෙනා සහ මීනා නමැති තිස් හැවිරිදි කාන්තාවකි.” ඝාතකයින්ගෙන් එක් අයෙකු වූයේ මීනාගේම සංවිධානය වූ “රාවා” හොඳින් හඳුනන එහි සමීපතමයකු වූ අහමඩ් සුල්තාන්ය. දෙවැන්නා, ඔහුගේ ඥාති සොහොයුරෙකි. මෙයින් කියවෙන්නේ මීනාගේ සාහකයින් සිටියේ ඈ සමඟම බවයි. එයද අප මීනාගෙන් උගතයුතු පාඩමකි.
මීනා වරෙක අපේම අත්දැකීම් සිහිපත් කරවයි. අපේ රටේ අසු ගනන් වල ගොවි සංවිධාන ගෙන ගිය විවිධ උද්ඝොෂණ තුළ තරමක් දුරට මීට සමාන අත්දැකීම් වලට අපද මුහුණ දී ඇත. ඒත් වසර 25ක යුද්ධයකට මැදි වී සිටින ශ්‍රී ලංකාවේ සංවිධාන වල අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. මර්ධනය වැඩි වන විට අවදි වීමට වඩා සුපුරුදු නිහඬතාවය ශ්‍රී ලංකාවට ආවේනික වූ දෙයක් දැයි අපට කල්පනා කළ යුතුය. එසේ නැතහොත් එය මර්ධනයේ ජයග්‍රාහී පියවරක්ද?

මැණික්
2008.08.08