සිංහල, Colombo, Media, Peace and reconciliation

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් – කිළිනොච්චිය ගමන සහ තිත්ත ඇත්ත

සුනන්ද දේශප්‍රිය

කොළඹ ආණ්ඩුව සටන දිනන්නට ඉඩ ඇති නමුත් යුද්ධය දිනන්නේ නැතැයි ඉන්දියනු ආරක්ෂ උපදේශක එම්. කේ. නාරායන් ප්‍රකාශ කළ වි එය දෙබරයට ගල් ගැසීමක් බදු විය. යුද්ධයක් දිනා ගැනීමට නම් සටන් සියල්ල දිනා ගත යුතු ය. නාරායන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දෙමළ ජනයා දිනා ගැනිමට අසමත් වි ඇති බැවින් භුමිය දිනා ගැනීමේ සටනින් ජය ගැනීමට ඉඩ ඇති නමුත් අවසන් දේශපාලන සටනින් පරදිනු ඇති බව යි.

ශ්‍රී ලංකාවේ යුද්ධය මෙහෙයවන ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ නාරායන් කී දෙය වරදක් නොවන බවත් දෙමළ ජනයා දිනා ගැනීමට ශ්‍රී ලංකාණ්ඩුව අසමත් වී ඇති නමි එය දුබලතාවයක් බවත් ය. එමෙන්ම ඔහු කීයේ තමන් කිසි දිනෙක එල්ටීටීඊ ය සමඟ සාකච්ජාවන්ට නොඑළබෙන බව ය. ඒ අතරම ඔහු කියා සිටින්නේ මෙම දෙසැම්බරය වන විට කිලිනොච්චිය අල්ලා ගන්නා බවත් ය. කෙහෙලිය රඹුක්වැල්ල කියන්නේ මෙම වසර අග වන විට සිංහ කොඩිය මුලකිව්හි ඔසවන බව ය.

එසේ නමුත් දෙමළ ජනයාට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබා දෙන්නේ කවදාද කියා ආණ්ඩුවේ කිසිම ප්‍රධානියකු කියන්නේ නැත. 13වන ව්‍යවස්තා සංසෝධනය ක්‍රියාවට නගා අඩුම වශයෙන් පළාත් සභා ක්‍රම සාර්ථක ලෙස ක්‍රියත්මක කරන ලෙස ඉල්ලා ඇමැති ඩග්ලස් දේවානන්ද සමඟ එක්වූ තවත් ඇමැතිවරුන් දෙදෙනකු වන රාජිත සේනාරත්න සහ ඩිලාන් පෙරේරා දියත් කළ කතාබහ පවා වඩා බලවත් ඇමැතිවරයකු වන චම්පික රණවක ගේ එක් වාග් ප්‍රහාරයකින් බිම ඇද වැටුනි.

දෙමළ ජනයා දිනා ගැනිමට ලංකාණ්ඩුව අසමත් වී ඇති බව එම්. කේ. නාරායන් කීයේ හරියටම අන්න ඒ නිසා ය. එනම් පිළිගත හැකි දේශපාලන විසදුමක් ඉදිරිපත් කිරීමට ලංකාණ්ඩුවේ ඇති නොහැකියාව යි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දර්ශනය ගැන දෙවසරක අත් දැකීමක් දැන් ඉන්දියාවට තිබේ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානතම උපදේශකයකු වන බෙෘද්ධ භික්ෂුන්ගේ පක්ෂයේ න්‍යයාචාර්යවරයා වන පාරිසරික ඇමැති චම්පික රණවක කිසිම ආකාරයක දේශපාලන විසඳුමකට විරුද්ධය ය. ඔහුට අනුව ඇත්තේ දේශපාලන ප්‍රශ්නයක් නොව පරිපාලන ප්‍රශ්නයක් පමණක් නිසා ය. ජනාධිපති රාජපක්ෂ පසුගිය වසරෙහි එක්සත් ජාතින්ගේ සමුලුවට ගොස් ප්‍රකාශ කළේ ද මෙරට ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බවත් ඇත්තේ හුදු පරිපාලන සහ ආර්ථික ප්‍රශ්නයක් පමණක් බවත් ය.

වම්පික රණවක නියෝජනය කරන හෙළ උරුමය මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ඉදිරිපත් කිරි්මට පත් කරන ලද සර්ව පාක්ෂික සමුළුවෙන් ඉවත් වෙමින් කියා සිටියේ ද මහින්ද චින්තනයට විරුද්ධ පෙඩරල්වාදි යෝජනාවන් සමුළුවට ඉදිරිපත් වී ඇති බැවින් තමන් ඉන් ඉවත් වන බව ය.

චම්පික රණවක ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසදුමක් දිය යුතු බව කියා සිටින අන්තර් ජාතික බලපෑම් ගැන කතා කරමින් මෑත දී මෙසේ කියා සිටියේ ය. “ අද පවා කව්රුන් හෝ අධිරාජ්‍යවාදයට එරෙහිව නැගී සිටියොත් හුදකලා කෙරෙනවා. හොද උදාහරණයක් තමයි සිමිබාබ්වේ ජනාධිපති රොබට මුගාබේ. අව්රුද් 87ක් වෙලත් ඔහු සිය පාට කොන්ද කෙලින් තියා ගෙන ඉනනවා”

මේ වනාහී මහින්ද චින්තනයේ ඇත්ත ප්‍රායෝගික දෝංකාරය යි. මංකොල්ලකාරී මැතිවරණ සහ ඒකාධිපති පාලනයක් මගින් බලය අල්ලා ගෙන සිටින මුගාබේ රාජපක්ෂ ආණ්ඩුවට හොඳ උදාහරණයකි. මහින්ද චින්තනය තුළ බලය බෙදා හැරීමට ඉඩක් නැති අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ බලය ඇත්තේ බලය බෙදා හැරීමට විරුද්ධ බලවේගයන්ට ය. එහි එකම විසදුම උතුර නැගෙනහිර මිලිටරි වශයෙන් අල්ලා ගැනිම සහ සිය හෙංචයියන් ලවා එම පෙදෙස් පාලනය කර විම ය.

උතුර සම්පූර්නයෙන්ම අල්ලා ගැනීමෙන් පසු ද දස වසරක ගරිල්ලා යුද්ධයක් පවතිනු ඇති බවට යුද හමුදාපති සරත් පොන්සේකා කී අනාවැකිය පසු දා විදේශ ලේකම් පාලිත කොහොන විසින් ද රොයිටර් පුවත් සේවය ට තහවුරු කලේ ය. අඩුම වශයෙන් ඉන්දියාව පවා අපේක්ෂා කරන අන්දමේ දේශපාලන විසදුමක් හෝ ක්‍රියාත්මක නොකර දෙමළ ජනයා දිනා නොගෙන දස වසරක ගරිල්ලා යුද්ධයකට මුහුණ දීමට ඇති එකම ක්‍රමය වනු ඇත්තේ රොබට් මුගාබේ යන පාර බවට සැකයක් නැත. අද සබරගමුවෙහි සහ උතුරු මැද පළාතෙහි මුදා හැර ඇති මැතිවරණ දේශපාලන ප්‍රචණ්ඩත්වය පෙන්වන්නේ මුගාබේගෙන් අපූරුවට ඉගෙන ගනිමින් ඉන්නා බව නොවේ ද?

දැනටමත් ස්වධින කොමිෂන් සභා අහෝසිකර හමාරය. උතුරු නැගෙනහිර පාලනය වන්නේ විශ්‍රාම ගිය සහ ක්‍රියාන්විතයේ සිටින හමුදා නිලධාරීන් අතිනි. පොලීසිය සහමුලින්ම දේශපාලනඥයින්ගේ අතකොලුවකි. නීතියේ පාලනයක් රටෙහි නැත. විපක්ෂ දේශපාලන පක්ෂ බෙදා දුර්වල කිරීම නොනැවත සිදුවෙයි. ජනමාධ්‍ය පාලනය සහ මර්ධනය කිසි දිනෙක නොවූ විරූ තරම් ය.

නමුත් ශ්‍රී ලංකාව මුගාබේකරණය කිරීමේ සිහිනය ක්‍රියාවට නැගෙන්නේ සිම්බාබේවේට වඩා වෙනත් සාධක ගනණාවක් ඇතිව ය. එකක් නම් දකුනු ඉන්දියාවයි. අනෙක නම් අභ්‍යන්තර ස්වයං පාලනයක් ඉල්ලා සිටින දෙමළ දේශපාලන සංවිධානයන් ය. අනෙක දකුණේ විපාක්ෂික දේහපාලන පක්ෂ අතර මූලික ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යුහයන් පිළිබඳව වර්ධනය වෙමින් පවත්නා එකඟතාවය යි.

පසුගිය සතියෙහි තමිල්නාඩුවේ පිළිගැනීමක් සහිත පුවත්පතක් වන ආනන්ද වික්ටන් වැදගත් වාර්තාවක් පළ කලේ ය. ඒ වනාහී ජනමත සමීක්ෂකයක ප්‍රතිඵල ය. එල්ටීටීඊ ය භයානක සංවිධානයක් ලෙස හැදින්වුයේ සියයට 14ක් පමණි. සියයට 49ක් එල්ටීටීඊ ය නිවැරදි යැයි කියා සිටියහ.

සමීක්ෂනයට සහභාගි වු සියයට 83ක්ම කියා සිටියේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට මැදිහත් විය යුතු බව ය. ඉන් සියයට 63ක්ම ඉන්දියාව වහාම මැදිහත් විය යුතු බව කියා සිටියහ.

මෙම ප්‍රවණතාවය පෙන්නුම් කරන්නේ දකුණු ඉන්දියාවෙහි මහජනමතයේ තීරණාත්මක වෙනස් වීමකි. කච්චතිව් දූපත යළි ඉන්දියාවට ගත යුතු බවට විපක්ෂ නායිකා ජය ලලිතා අධිකරණයට යෑම මෙන්ම පාලක පක්ෂ නායක කරුණානිධිගේ දේශපාලන ස්ථාවරයන් හි මෑත වෙනස් විම් වලට ද මෙම වර්ධනයන් බල නොපෑවේයැයි කිව නොහැක. එලඹෙන ඉන්දියානු පාර්ලිමේන්තු මැතිවරණය හමුවෙහි ආසන 40කින් යුතු තමිල් නාඩුවේ මෙම දේශපාලන වර්ධනයන් දිශාගත වනු ඇත්තේ ශ්‍රී ලංකාණ්ඩුවට නොව එල්ටීටිඊ යට වාසි සහගත ලෙසිනි.

මේ අතර ශ්‍රී ලංකාණ්ඩුවේ ජීනීවා තානාපති දයාන් ජයතිලකට පිළිතුරක් ලියන ද්‍රවිඩ එක්සත් පෙරමුණෙහි සභාපති ආනන්ද සංගරී මහතා කීවේ පෙඩරල් විසදුමකින් තොරව දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසදුමක් නැති බව ය. සිත් රිදීමට ඉඩ ඇත් මුත් ඇත්ත එය බව ඔහු කීයේ ය.

ඉන්දීය ආරක්ෂ උපදේශක එම්.කේ. නාරායන් කිවේ ද එයම ය. ආණ්ඩුවේ හිත රිදේ්වි, ඒත් අත්ත නමි දෙමළ ජනයා ඔවුන් සමඟ නැහැ කියාය.

යුද්දයෙන් මෝහනය වී සිටින සියල්ලන්ගේ හිත රිදෙන අනෙක් ඇත්ත නම් යුද්ධය යුද්ධයෙන්ම කෙළවර කිරීම කිසි දිනෙක සිදු නොවන දෙයක් බවයි. මන්ද යත් ශ්‍රී ලංකාවේ යුද්ධයේ හේතුව දේශපාලන බැවිනි. සියලුම මෑත කාලින ජාතික සහ අන්තර් ජාතික වර්ධනයන් පෙන්වන්නේ එම තිත්ත ඇත්ත ය.